උපැස් යුවළ අතරින් ඇසේ සුන්දරත්වය මතු කර ගැනීමට උපදෙස් 6ක්

Jan 18, 2016

මිනිස් සිරුරේ වඩාත්ම අවධානය දිනාගත් ඉන්ද්‍රිය ලෙස දෑස් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තා ඇස් කෙරෙහි යොමුවන අවධානය වැඩියි. ඇස මගින් සිදුකරන සන්නිවේදනය හරි ප්‍රබලයි. එවැනි හැඟීම් ප්‍රකාශනයක විශ්වාසයඋපරිමයෙන්ම ගැබ්වී තිබෙනවා. සාමාන්‍යයෙන් එක එල්ලේ දෑස් දෙස බලාගෙන කතා කිරීමේදී බොරු කියන්න අපහසුයි වගේම එවැනි බොරුවක් කරන්නට තැත් කළවිට ඒ බව දෙනෙත් තුලින්මපෙනෙනවා.

අපි ඇස්වලින් සිදුකරන නිහඬ කථනය සන්නිවේදන කාර්යයේදී වඩා ප්‍රබලයි. මේ නිසා ඇස් කතා කරන ඇස් දෙකක් බවට පත්කර ගැනීම සුන්දරත්වයට වගේම අපේ සන්නිවේදන කාර්යයටත් පහසුවක්. නමුත් උපැස් යුවලක් පළඳින කෙනෙක්ට තමන්ගේ ඇස් කෙරෙහි අවධානය දිනාගැනීම පහසුයිද? උපැස් යුවල අතරින් ඇසේ සුන්දරත්වය මතුකරගන්නේ කෙසේද?

Continue Reading Below

උපදෙස්වලට මුල් තැන දෙන්න

සාමාන්‍යයෙන් කණ්නාඩි පළඳින්නේ පෙනීම සම්බන්ධ රෝග නිසා. පෙනීම කියන්නේ ඇසේ ප්‍රධානම උපයෝගීතාවය. අපි ඇස් දෙකෙන් තමයි ලෝකය දකින්නේ. මේ නිසා ඇස් සම්බන්ධ රූපලාවණ්‍ය කටයතු සිදුකිරීමට ප්‍රථම වෛද්‍ය උපදෙස්වලට මූලිකත්වය දීම කළ යුතුයි. ඊට අමතරව උපැස් පළඳින කෙනෙක්ටඇසේ ආකර්ශනය තීව්‍ර කරගැනීම බොහෝ විට ගැටළුවක්. උපැස් යුවල අතරින් වඩාත් හොඳින් ඇස ඉස්මතුවී පෙනෙන්නට සැලැස්වීමට රූපලාවණ්‍යයේ උපක්‍රම තිබෙනවා. එහිදී උපැස් පරිහරණය කරන කෙනෙක් නම් ඇසේ ඉහළසහ පහළ eye line ඇඳීම සුදුසුයි. ඒ වගේම මස්කාරා ගැල්වීමෙන් ද ඇස වඩාත් ආකර්ශනීය කරගන්න පුළුවන්.


ඇස් ආලේපන ක්‍රීම් වර්ගයක් පාවිච්චියට ගන්න

උපැස් පළඳින විටදී ඇස මේකප් කිරීම වඩාත් සැළකිල්ලෙන් කළයුතුයි. බාහිරට ඔබේ ඇස ආකර්ශනය වන්නේ උපැස් ආවරණයක් හරහායි. මේ නිසා උපැස් අතරින් දකින ඇසේ සුන්දරත්වය රැක ගැනීමට අමතර අවධානයක් එක් කළයුතුයි. ඇස මේකප් කිරීමට කලින් ආලේපණයක් (eye cream) ගැල්වීමෙන් ඇසේ මේකප් වඩාත් නැවුම්ව දිගු වේලාවක් පවත්වාගන්න පුළුවන්. මෙය උපැස් පරිහරණය නොකරන කෙනෙකුට පවා සුදුසුයි.


ඇස් වටේ කලු වී ඇත්නම් එය සැඟවීමට සලස්වන්න

උපැස් අතරින් ඔබේ කලු වී ඇති ඇස් වඩාත් හොඳින් මතුවී පෙනෙනවා. මේ නිසා මේකප් කිරීමේදී මෙම අවපැහැය අවම කිරීමට උත්සාහ ගත යුතුයි. ඇස් වටේ කලු වීමට බලපාන හේතු අවබෝධ කරගෙන ඊට නිසි ප්‍රතිකාර කිරීම තමයි ඉක්මනින්ම සිදුවිය යුත්තේ. නමුත් ඇස මේකප් කිරීමේදී ඇස්වටය කලුවී ඇත්නම් එය සැඟවීමෙන් වඩාත් හොඳින් ඇසේ දීප්තිය මතුකරගන්න පුළුවන්.


ඕනවට වඩා මේකප් එපා

උපැස්යුවල පළඳින කෙනෙක් නිරන්තරයෙන්ම සිහියේ තබාගතයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේඇස් තව කෙනෙක් දකින්නේ උපැස් යුවල අතරින් කියන කාරණාව. මේ නිසා අපි ඇසට කරන ආලේපන සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් වෙන්න ඕනේ. වඩාත් තද පැහැයෙන්යුතු ඇස් ආලේපන ගැල්වීමෙන් ඇස අපිරිසිදු ආකාරයකින් බාහිරට දිස්වෙනවා. මේ නිසා තද පැහැයෙන් යුතු ආලේපන භාවිතය සුදුසු නැහැ. අයිෂැඩෝ භාවිතයේදී විශේෂයෙන්ම ලා පැහැයක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි.


ඇහිබැම සකසන්න

ඇහිබැම අක්‍රමවත්ව වැඩී තිබෙන විට මුහුණට අලංකරණයක් ලැබෙන්නේ නැහැ. උපැස් පරිහරණය කරන කෙනෙකුගේ ඇහිබැම පිටතට නිදහසේ නිරාවරණය වනවා. මේ නිසා වඩා ක්‍රමවත්ව ඇහිබැම සකසා ගැනීමවැදගත්.


ජලයට ඔරොත්තු දෙන ආලේපන පාවිච්චි කරන්න

විශේෂයෙන්ම eye lashes භාවිතයේදී සේම මස්කාරා භාවිතයේදී වතුරෙන් හානි නොවන ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන තෝරාගත යුතුයි. එසේ නොවුණ විට උපැස් යුවල අපිරිිසිදු වීමටත් ඉක්මනින් ඇසේ ආලේපන ඉවත් වී අවලස්සන වීමටත් හේතු විය හැකියි. මෙලෙස ඇස් ආලේපන කඳුළු හෝ දහදියට දිය වී ඇති විටෙක වහාම ඇස් සෝදා පිරිසිදු කරගත යුතුයි.

ඇස කියන්නේ ඉතාම වටිනා සහ සංවේදී ඉන්ද්‍රියක්. ඒ වගේම ඇස් අපේ පෙනුම වඩාත් ආකර්ශනීය කරනවා. උපැස් පළඳින කෙනෙකුට පවා ඇසේ ආකර්ශනය ඉහළ නංවාගත හැකි බව දැන් ඔබට පැහැදිලියි. අපි අපේ ඉන්ද්‍රියයන් පිළිබඳව උනන්දුයි නම් ලස්සනවීම ඒ තරම් ගැටළුවක් නෙමෙයි.

Share Now

Related Article