කුරුලෑ සඳහා ගත හැකි ප්‍රතිකාර ක්‍රම 05ක්

Aug 19, 2016

යෞවනයේ රෝගය ලෙසින් හැඳින්වෙන කුරුලෑ හටගැනීම පිලිබඳ මීට පෙර ලිපියකින් අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඒ ‘කුරුලෑ හට ගැනීම පිලිබඳ තරුණ පරපුරට ඇති සුලබ ගැටළු’ යන මාතෘකාව යටතේ. මේ ලිපියෙන් අපි කුරුලෑවලට ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද යන්න ගැන විමසා බලීමකුයි සිදු කරන්නේ. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුරුලෑ වාදයෙන් පීඩා විඳින ඔබට මේ තොරතුරු ඉතාම ප්‍රයෝජනවත් වේවි කියා අප බලාපොරොත්තු වෙනවා.

Continue Reading Below

කුරුලෑ සඳහා නිවසේ දී කළ හැකි ප්‍රතිකාර

කුරුලෑ අවම කර ගැනීමට ශරීරයේ පිරිසිදු බව ඉතා වැදගත්. කුරුලෑ සහිත ප්‍රදේශ හොඳින් සබන් යොදා දිනකට කිහිප වරක් සේදීම, ඒ විගසම පිරිසුදු තුවායකින් පිස දමා සම වියළිව තබා ගැනීම කළ යුතුයි. කේක්, චොක්ලට්, දොදොල්, මස්කට් වැනි පැණි රස හා තෙල් සහිත ආහාර අඩු කොට එළවළු සහ පලතුරු වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත යුතුයි. ඒ වගේ ම වේදනාවක් සහිත කුරුලෑවක් ඇති විට දිනකට දෙවරක් පමණ එය උණු වතුරෙන් තැවීමෙන් වේදනාව සමනය කරගත හැකියි.

විශේෂයෙන් කුරුලෑ පිළිබඳව මානසික අසහනයට පත්වීම ද ඒවා වැඩි වීමට හේතු වන නිසා මේ පිළිබඳව පවුලේ ඥාතීන්, හිතවතුන් නිවැරැදි ආකල්පයකින් කටයුතු කිරීම ඉතා වැදගත්. එවිට අදාළ තැනැත්තා ගේ අසහනකාරී බව මඟහැර කුරුලෑවකින් ඇතිවන කායික කැළල මෙන් ම මානසික කැළල ද මකා දැමිය හැකියි.


කුරුලෑ සඳහා ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම

කුරුලෑ සඳහා ඇතැම් වෛද්‍යවරු දියර, ජෙලි හෝ ක්‍රීම් ලෙස ඔසුසල්වලින් ලබාගත හැකි බෙන්සොයිල් පෙරොක්සයිඩ් නිර්දේශ කරනවා. සියයට 2.5 හා සියයට 5 සාන්ද්‍රණයන් ගෙන් ලබා ගත හැකි එම ඖෂධය දිනපතා නින්දට යාමට පෙර සම මත ආලේප කළ යුතුයි.

ආලේපයට පෙර සබන් ගා මුහුණ හොඳින් පිරිසුදු කර වියළා ගැනීම වැදගත්.

ඒ ඖෂධ සමහර අයට අසාත්මිකතා ඇති කළ හැකියි. එවැනි අය සහ මාස දෙකක් තුළ හොඳ ප්‍රතිඵල නොලැබෙන විට ඖෂධය නතර කළ යුතුයි.


කුරුලෑ සඳහා ප්‍රතිජීවක ඖෂධ

ප්‍රතිජීවක කුරුලෑ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයකි. පෙති හෝ කරල් වශයෙන් හෝ සමෙහි ආලේපයට දිය හෝ ක්‍රීම් වශයෙන් මේවා ලබා ගත හැකියි. සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක් මේ ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්.


කුරුලෑවලට ලබා දෙන හෝමෝන ප්‍රතිකාර

ඔව්. ඊස්ට්‍රඩියෝල් අඩංගු පවුල් සැලසුම් පෙති කුරුලෑ ඇති කාන්තාවන්ට සුදුසුයි. ඩෙක්සමෙතසෝන් නමැති ස්ටීරොයිඩය ද ඉතා සුළු මාත්‍රාවක්, ප්‍රති. ඇන්ඩ්‍රොජන් ඖෂධ සමඟ භාවිත කළ හැකියි. එහෙත් හිතුමතේ මේ ඖෂධ ගැනීම නම් කිසිසේත් ම සුදුසු නොවන බව මතක තබා ගත යුතුයි.

ඊස්ට්‍රඩියෝල් අඩංගු පවුල් සැලසුම් පෙති යොවුන් වියේ ගැහැනු දරුවන්ට සුදුසු ද?

එම ඖෂධ නියම කරන්නේ කුරුලෑ බහුල ලෙස ඇති අයටයි. යොවුන් වියේ ගැහැනු දරුවන් දරුවන් බලාපොරොත්තු නොවන නිසාත්, එම ඖෂධ නිසා ආර්තව චක්‍රයේ වෙනසක් නොවන නිසාත් එම ඖෂධය ගැනීම ගැටලුවක් නොවේ. දරුවන් බලාපොරොත්තු වන හා ගැබිනි මවුවරුන්ට මෙය නුසුදුසුයි. ඒ වගේම වෛද්‍ය උපදෙස් මත පමණක් මෙම පෙති භාවිත කළ යුතුයි.


තදබල ලෙස කුරුලෑ පැතිරුණ අයකුට දෙන ඖෂධ

ඉතා තදබල ලෙස කුරුලෑ ඇති අයට වෛද්‍යවරුන් ‘අයසොට්‍රෙට්නොයින්’ නමැති ඖෂධය නියම කරනවා. දිනපතා පෙති හෝ කරල් 1 බැගින් සති 15 – 20 ක් පමණ කාලයක් ගත යුතු නිසා මේ ඖෂධ මඟින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. ගැබිනි මවුවරුන්ට කිසිසේත් ම මේ ඖෂධය ලබා නොදෙන්නේ ඉපදෙන දරුවන් අංගවිකල වීමට හෝ ගබ්සාවක් ඇතිවීමට ඉඩ ඇති නිසයි.

 

Share Now

Related Article