මුහුණ ලස්සන කරන දේ මිලදී ගන්නා විට සැලකිලිමත් විය යුතු කරුණු.

කාන්තාවෝ ලෙස අපේ ජීවිතේ ගොඩක් කාර්ය බහුලයි. කුඩාකාලේ අධ්‍යාපනය වෙනුවෙන් අසීමිතව වෙහෙසන අපි පස්සේ රැකියාව වෙනුවෙන් , ගෙදර වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, හැමදේම වෙනුවෙන් අසීමිතව වෙහෙසෙනවා. අසීමිතව පීඩනයට ලක් වෙනවා. කාලය සමග අපි දැන් රූපලාවන්‍ය කෙරෙහි දක්වන උනන්දුවත් වැඩි වෙලා. එය ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

නිතිපතා යහපත් ආහාර, ව්‍යායාම සහ නින්ද සමග අපි අපේ ශරීරය අකලට වයසට යාමෙන් රැක ගනිද්දී මුහුණ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මොකද අපි වැරදි විදිහේ නිෂ්පාදන අපේ මුහුණට යොදා ගත්තොත් වයසට යාමට පෙරම අපේ මුහුණේ සම සහ තරුණකම විනාශ වෙනවා. අපි Goodhousekeeping.lk අරපිරිමැස්ම හැම වෙලේම අගය කරනවා වගේමයි වියදම් කළ යුතු නිසි තැන ගුණාත්මක බව වෙනුවෙන් අමතරව ගෙවන්න උනත් ඔබව දිරිමත් කරනවා. මොකද සමහර බාළ දේවල් ඔබට හානි කරන්නේ නැවත කවමදාවත් ඔබේ රූපය යලි ආපසු ගේන්න බැරි වෙන ආකාරයටයි.

මුහුණේ අලේප කරන දේවල් කාණ්ඩ කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය සත්කාර නිෂ්පාදන, මේකප් සහ රූපලාවන්‍ය උපකරණ මේ කාණ්ඩ වලට වැටෙනවා. මේ දේවල් මිලට ගනිද්දී හැමවිටම අද නොවේ අදින් වසර 10 ක් ඉස්සරහ බලන්න ඕනේ. හැම වෙලේම ගුණාත්මක බව මිලට වඩා සලකන්න ඕනේ. නැත්නම් ඔබේ සුන්දර මුහුණ තාවකාලික ලස්සන කිරීම වෙනුවෙන් අකලට වයසට යාවි. ඒ දේවල් මිලට ගනිද්දී පහත සඳහන් කරුණු ගැන නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.

fb-like-beg


1) කල් ඉකුත් වෙන දිනය

ඕනෙම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට ගනිද්දී එහි කල් ඉකුත් වෙන දිනය බලන්න. එය අනිවාර්ය පුරුද්දක් කර ගන්න ඕනේ. මොකද ඇතැම් වෙළඳසල් වල මේ නිෂ්පාදන බොහෝ කාලයක් තිබිලා අපි අතට එද්දිත් කල් ඉකුත් වෙලා. එවිට අදාළ නිෂ්පාදනයෙන් නියමිත ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ විතරක් නෙවෙයි එහි හටගත් අහිතකර සංයෝග මගින් ඔබේ සමට ලොකු හානියක් වෙන්නත් පුළුවන්.

ඒ වගේම නිෂ්පාදනය කළ අලුතම වගේ පාවිච්චි කිරීම් ගොඩක් හොඳයි. කල් ඉකුත් වෙන්න ලං වෙන්න වෙන්න එහි ගුණාත්මක බව අඩු වෙනවා.


2) නිෂ්පාදිත අමු ද්‍රව්‍ය

ඕනෙම රූපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට ගනිද්දී එහි නිෂ්පාදන සංඝටක කියවලා බලන්න ඕනේ. මෙවැනි අහිතකර විෂ නිෂ්පාදන ද්‍රව්‍ය ඇත්නම් මිලට ගන්න එපා. මේ අමුද්‍රව්‍ය ශරීරයේ අභ්‍යන්තරයට පවා හානි කරනවා සුඳු හඳුන්, කස්තුරි කහ, කෝමාරිකා, ඔලිවු තෙල්, වෙනිවැල් ගැට වගේ ශාකමය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත නිෂ්පාදන රසායන නිෂ්පාදන වලට වඩා ගුණයෙන් වැඩි බව කියවෙනවා.


3) ලංකාවේ ඝර්මකලාපීය දේශගුණයට ගැලපෙනවද?

ඕනෑම රූපලාවන්‍ය නිෂ්පාදනයක් ගනිද්දී අපේ රටේ දැඩි උණුසුම් දේශගුණයට ගැලපෙනවද බලන්න. අපි දැක තිබෙනවා ඇතැම් ක්‍රීම් වර්ග සහ මේකප් අලේප කරලා විනාඩි 10 යද්දීම දාඩිය දාල දිය වෙලා මුළු මුහුණම අමුතු ස්වරූපයක් ගන්නවා. ඒ වගේම ඇතැම් නිෂ්පාදන නිසා කුරුලෑ හටගන්නවා. දාඩිය බිබිලි දානවා. මෙවැනි දුෂ්කරතා වලින් මිදෙන්න ඒ වගේම ඔබේ ලස්සන රැක ගන්න නම් රූපලාවන්‍ය නිෂ්පාදන බලද්දී අනිවාර්යෙන්ම ඒවා ගැන අධ්‍යනය කරන්න. අන්තර් ජාලයෙන් කියවන්න. නැතුව වෙළඳ සලේ තිබෙන නිසා මිලට ගන්න එපා.


4) ඔබේ සම කොයි වගේ සමක්ද?

අපිට ඔබේ සම මූලික වර්ග කීපයකට වෙන් කළ හැකියි. ඒ තෙල් සහිත සම, සාමාන්‍ය සම සහ වියලි සම ලෙස. මේ කාණ්ඩ තුනට එකම ජාතියේ රූපලාවන්‍ය සත්කාර වත්, මේකප්වත් ගැලපෙන්නේ නැහැ. තෙල් සහිත සම ඇති ඔබ තෙල් සහිත සමට විශේෂ නිෂ්පාදන මිලට ගත යුතුයි. නැත්නම් කුරුලෑ ඇති වෙනවා. ඒ වගේම වියලි සමක් ඇති ඔබ වෙනම නිෂ්පාදන මිලට ගන්න ඕනේ. ඒ වගේම මේක් අප් කරන්න පෙරත් සම හොඳින් Moisturizer එකක් ගාල තෙත් කරන්න ඕනේ. නැත්නම් නිකන් උඩින් සාමාන්‍ය මේකප් එකක් දැම්මොත් වෙන්නේ ඔබේ සම වයසට යාම ඉක්මන් වෙන එකයි. ඒ නිසා හැම නිෂ්පාදනයක්ම මිලට ගනිද්දී ඔබේ සම එක්ක ගැලපෙනවද කියල අදාළ අලෙවිසැලේ ඉන්න අයගෙන් විමසා දැන ගන්න. නැත්නම් ඔබට අනාගතයේ ගොඩක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.


5) පාවිච්චි කරන හරි ක්‍රමය ගැන දැනුමත්ද?

එක එක වර්ගයේ නිෂ්පාදන භාවිතා කරන ක්‍රම වෙනස් වෙනවා. ඒ ක්‍රම ගැනත් දැනුමත් වෙන්න ඕනේ. උදාහරනෙකට වතුරේ ගාල ස්පොන්ජ් එකකින් පොඟවලා තමයි පෑන් කේක් නමැති ෆවුන්ඩේෂන් එක දාන්නේ. නොදන්නා කෙනෙක් ඒක නිකන් ගෑවට අවශ්‍ය පෙනුම ලැබෙන්නේ නැහැ. ඒ වගේම leave -On කන්ඩිෂනර් ගාල සේදුවට අපේක්ෂිත ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. ශීට් මාස්ක් ( sheet mask) එකක් අදාළ සීරම් එක නොදා නිකන් දැම්මට මුහුනට කිසිම ප්‍රතිපලයක් අත් වෙන්නේ නැහැ. ඒ නිසා අදාළ නිෂ්පාදනය භාවිතා කරන ක්‍රමය ගැන හොඳින් දැණුවත් වීම ගොඩක් වටිනවා.


ඔබේ වයස පෙන්වන ප්‍රධානම ලක්ෂණය වන ඔබේ මුහුණ හොඳින් රැක බලා ගැනීම ඔබේ වගකීමක්. සම්ප්‍රදායිකව ෆේස් වොෂ් හෝ ක්ලේන්සර් එක පමණක් පාවිච්චි කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට මුහුණේ සුන්දරත්වය සැමදා රැකදෙන හොඳ පුරුදු සහ රූපලාවන්‍ය ක්‍රම ගැන වඩාත් දැනුමත් වෙන්න. පවුලේ අනික් අයට සැලකිල්ලක් දක්වන්න නම් ඔබ පළමුව ඔබ කෙරෙහි හොඳ අවධානයක් ඕනේ.

SHARE