ඔබ ස්තූති කරන්නේ කාටද ? ඒ ඇයි?

ස්තුතිය ගොඩක් ප්‍රභල ප්‍රකාශනයක්. ස්තූතියේ අරමුණ වෙන්නේ ඔබට ලොකු උදව්වක් කරපු කෙනෙක්ට, ඒ ගැන ඔබේ සිතේ ඇති වුණු සතුට පෙන්වීමයි. ස්තූතිය ලබන කෙනාගෙ සිත සතුටු කරවන්නත් ඒ මඟින් පුළුවන්. ස්තූතිය ගැන පුංචි අදහසක් goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා දෙන්න තීරණය කළා.


fb-like-beg


ඔබට දැනෙන විදිහේ ලොකු උදව්වක් කරපු අයට ඔබ අනිවාර්යෙන්ම ස්තූති කරලා ඇති. ඊට අමතරව ඔබට ස්තූති කරන්න පුළුවන් අය තව ඉන්නවා.

ඔබට ආදරය කරන අයට ස්තූති කරන්න.

ඔබට අහඹු ලෙස උදව් කරන අයට ඔබ ස්තූති කරනවා ඇති. ඔබ ඔබ වෙනුවෙන් කැපවුණු දෙමව්පියන්ට, ඔබේ බිරිඳ හෝ සැමියාට, ඔබේ සමීපතයන්ට කවදා හෝ ස්තූති කරලා තියෙනවාද? ඇත්තටම ඔබ ඔවුන්ට ස්තූති නොකරන්නේ, ඒ අය ඔබට හැමදාම උදව් කරද්දී ඒ උදව් වල වටිනාකම අඩු වීම නිසාද?


ඔබට අභියෝග කරන පුද්ගලයන්ට ස්තූති කරන්න.

බැලූ බැල්මට ඔබට අභියෝග කරන්නන්ව ඔබට පෙනෙන්නේ කරදරයක් ලෙස වෙන්න ඇති. නමුත් ඒ අභියෝගයන් ඔබට අළුත් ශක්තියක් ගෙනත් දෙනවා. අභියෝග ජය ගැනීමට ඔබව උනන්දු කරවනවා. ඒ අභියෝග වෙනදාට වඩා ශක්තිමත්ව වැඩ කිරීමට ඔබව පොළඹවනවා. ඒ නිසා නපුරු සිතින් ඔබට අභියෝග කරන්නන්ටත් ඔබ සිතින් ස්තූතිවන්ත වන්න.


ඔබට සේවය කරන අයට ස්තුති කරන්න.

ඔබේ ආයතනයේදී ඔබට මුණ ගැසෙන ඔබේ සේවකයන්, හෝටල් වලදී හමුවන වේටර්වරුන්, සුපර් මාර්කට් වලදී හමුවන වෙළඳ සේවක සේවිකාවන් ඔබට සේවයක් සලසනවා. ඔබට හිතෙන්න පුළුවන් ඒ සඳහා තමයි ඔවුන්ට වැටුපක් ගෙවන්නේ කියලා. ඒත් ඒ අයව දිරිමත් කරන්න, සතුටු කරවන්න ඔබේ ස්තූතියට පුළුවන්. ඔවුන් තවත් අවංකව සහ කැපවීමෙන් වැඩ කරන්න පෙළඹේවි.


ඔබ සමග වැඩ කරන අයට ස්තුති කරන්න.

ඔබේ ආයතනයේදී ඔබට මුණ ගැසෙන සගයන්ට ස්තූති කරන්නේ මොකටද කියලා ඔබට හිතේවි. ඔබ නොහිතුවට, හිතේ සතුටින් රැකියාව කරන්න ඒ මිතුරුකම් ඔබට කරන්නේ ලොකු උදව්වක්. ඔබට අමාරු වෙන පුංචි පුංචි තැන් වලදී ඔබට උදව් කරන්නේ ඒ සගයන්. ඉතින් ඔවුන්ටත් ස්තූති කරන්න.


ඔබ ඔබටම ස්තුති කරන්න.

ඔබේ අතීතය සුන්දර නැති වුණත්, ඔබේ අනාගතය සුන්දර කර ගන්න පුළුවන් ඔබටම පමණයි. වර්තමානයේ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නෙත් ඔබමයි. ඒ නිසා ඔබ ඔබටම ස්තුති කරන්න.


♦ ස්තූති කිරීමේ වාසි

  • එය ඔබට මිතුරන් ඇති කර ගැනීමටත්, දැනට සිටින මිතුරන්ගේ සිත් වල ඔබට ඇති හිතවත්කම් වැඩි කර ගැනීමටත් උපකාරී වෙනවා.
  • එමඟින් මිනිස්සුන්ගේ සිතේ ඔබ ගැන විශේෂිත හැගීමක් ඇති කර, ඔවුන්ගේ සිත් වල ඔබ ගැන කැමැත්තක් හා විශ්වාසයක් ගොඩනංවනවා.
  • ඔබේ වෘත්තීය ජීවිතය ඉහල නංවා ගැනීමට එය පිටුවහලක් වෙනවා.
  • එය ඔබේ අධ්‍යාත්මීක වර්ධනයට හේතු වෙනවා.
  • අන් අයව අගය කිරීමේ හැකියාව ලැබීමෙන් ඔබේ ආත්මාර්ථකාමීත්වය සහ ලද දෙයින් සතුටු වීමට ඇති නොහැකියාව පහව යනවා.
  • මේ ලෝකේ කොපමණ දෙනෙක් ඔබට උදව් උපකාර කරනවද යන්න, පුංචි උදව්වක් පවා කරන හැම දෙනාටම ස්තූතී කිරීමට පෙළඹීම මගින් ඔබට අවබෝධ කර ගන්න පුළුවන්. එය අවබෝධ වීමෙන් ඔබේ ආත්ම අභිමානය ඉහල යනවා.
  • ස්තූති කිරීම මඟින් ඔබේ සිත සතුටු කරවන අතර ඔබේ මානසික පීඩනය අඩු වෙනවා. එමඟින් ඔබේ මානසීක සෞඛ්‍ය ඉහල යනවා.
  • තරහ යන ස්වභාවය සහ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි නැති වෙනවා.
  • දිගු කාලීන හා සුවදායි නින්දක් ලබා ගැනීමේ හැකියාව ඉහල යනවා. අනිද්‍රාව (Insomnia ) නමැති රෝගය සුව කර ගැනීමටත් මෙය උපකාරී වෙනවා.
  • ස්තූතිපූර්වක වීම ධනාත්මක සිතුවිල්ලක්. මෙය වර්ධනය කර ගැනීමෙන් ඔබේ ශාරීරික සෞඛ්‍යය ඉහල යනවා. අධි රුධිර පීඩනය වැනි රෝග වළක්වාලීමට මෙය උපකාරී වෙනවා.
  • කායික ශක්තිය සහ මානසික ශක්තිය ඉහළ නැංවීමට උපකාරී වෙනවා.
  • එය ඔබට සතුටුදායක මතකයන් ඉතිරි කරනවා.
  • ඔබ තවකෙකුගෙන් උදව්වක් ලබා ගන්නවා කියන්නේ ඔබ ඔහුට ණයගැති වන බවයි. අවංකව ස්තූති කිරීමෙන් ඒ ණයගැති බව අඩු වෙනවා. එය ඔබට යහපත් හැගීමක් ගෙන දෙනවා.
SHARE