හැම දෙමව්පියෙකුගේම සිහිනය වන්නේ තමන්ගේ දරුවාව අධ්‍යාපනයෙන් ඉහල මට්ටමකට ගෙන ඒමයි. ඉතින් දෙමව්පියන් ඒ සඳහා උපරිම ලෙස කැප වෙනවා. කෙසේ වෙතත් දරුවන් නම් ගොඩක් නැඹුරු වෙන්නේ විනෝදයටයි. දෙමව්පියන් සැර කරමින් පාඩම් කරන්නට බල කරන විට දරුවන් තවත් පාඩම් කිරීම අත හරිනු දකින්න පුළුවන්. ඉතින් අද අපි බලමු දරුවෙක්ව පාඩම් වැඩ කටයුතු සඳහා උනන්දු කරවන්න පුළුවන් ක්‍රම මොනවද කියලා.


fb-like-beg


1 දරුවාට පාසලෙන් ලබා දෙන ගෙදර වැඩ දෙමව්පියන් විසින් කර දීම නවත්වන්න

දරුවාව උනන්දු කරවීම සහ දරුවාගේ වැඩ ඔබ විසින් සිදු කර දීම අතර විශාල වෙනසක් පවතිනවා. දරුවාගේ වගකීම් ඉටු කිරීමට දරුවාට ඉඩ දෙන්න. ඔබ අනවශ්‍ය ලෙස ඒවාට අත ගැසීමට ගියහොත් සිදු වන්නේ දරුවාගේ ඉගෙන ගැනීමේ උනන්දුව හීන වී යාමයි. දරුවාට තනිවම වැඩ කිරීමට ඉඩ දී, ඉන් අනතුරුව එහි ඇති අඩුපාඩු පෙන්වා දෙන්න. ඔබ දරුවාගේ වැඩ කටයුතු වලට මැදිහත්වීම නිසා දරුවාට ලැබෙන ජය කෘතීම ජයක් වන අතර, එහි පැවැත්මක් නොමැත. නමුත් දරුවාට අවශ්‍ය පරිදි උපකාර දරුවාට තනිවම ජය ලබා ගැනීමට අවස්තාව ලබා දීමෙන් දරුවාට හොඳ පන්නරයක් ලැබේ.

2 පහසු ක්‍රම කියා දෙන්න

පාඩම් වැඩ කටයුතු වලදී දරුවා හිර වන අවස්තාවන් වලදී දරුවාට සහාය ලබා දෙන්න. ෂෝර්ට් නෝට් ලියා පාඩම් කරන හැටි, වැදගත් කරුණු යටින් ඉරි ඇඳීමෙන් හෝ හයිලයිට් කිරීමෙන් පාඩම් කිරීමට පහසුවක් අත් වන ආකාරය ගැන දරුවාට කියා දෙන්න. එහි අදහස නම්, දරුවාට දරුවාගේ පාඩම් වැඩ තනිව කර ගැනීමට අවශ්‍ය පහසු මාර්ග පෙන්වා දීමය.

3 පාඩම් කිරීමට සුදුසු ස්ථානයක් සපයා දෙන්න

සමහර නිවෙස් තුල පාඩම් කිරීමේ හැකියාවක් නැහැ. එක තැනක හයියෙන් රුපවාහිනිය දාගෙන. අනිත් පොඩි දරුවෝ පාඩම් කරන දරුවට බාධා කරනවා. මේ වගේ පසුබිමක ඔබේ දරුවට පාඩම් වැඩ නිරවුල්ව කර ගැනීමට බැරි වෙනවා. මේ නිසා නිවෙස තුල වෙනම කාමරයක්, සද්ද බද්ද නැති ස්ථානයක් දරුවට වෙන් කරලා දෙන එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

4 උපක්‍රම භාවිතා කරන්න

ඔබ දරුවා වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කලොත් දරුවා දුර්වල වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා උපක්‍රමශීලිව දරුවාව හසුරුවන්නට උත්සාහ කරන්න. “පුතා ඔය වැඩ ටික අද දවස ඇතුලත කරලා ඉවර කරන්න ඕනේ” කියනවා වෙනුවට, “පුතා හොඳට ඔය වැඩ ටික කරන්න. ඔය වැඩේ ඉවර වුනාට පස්සේ අපි ඇවිදින්න යමු.” කියන්න. ඒ වගේ උපක්‍රමශීලි ලෙස දරුවාව උනන්දු කරන විට, දරුවා ඉබේටම උනන්දු වෙනවා.

5 වැඩි බර දරුවාට අහිතකර විය හැකියි

සමහර වෙලාවට දරුවට වැඩ ගොඩ ගැහෙන අවස්ථා තියෙනවා. පාසලේ වැඩ, පන්ති වල වැඩ ගොඩ ගැහුනම දරුවා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඔබේ දරුවාට එවැනි අවස්ථා වලදී මනස ඉහිල් කරන ව්‍යායාමයක්, භාවනාවක් කිරීමට කියා දෙන්න. මනස ඉහිල් වීමෙන් දරුවාට නව ජවයක් ලැබෙනු ඇත.

6 ප්‍රශ්න අසන්නට දරුවාව උනන්දු කරවන්න

සමහර දරුවන්ගේ ගැටළුවක් තමයි නොතේරෙන දේවල් නැවත ඇසීමට බිය වීම. එය දරුවාගේ අධ්‍යාපනයට බාධාවක්. එම අනියත බිය දරුවන්ගේ සිත් වලින් ඉවත් කරන්න. පාසලේදී, පන්තියේදී හෝ නිවසේදී වුවත් යමක් නොවැටහෙන විට නිර්භයව අසන මෙන් දරුවන්ව දැනුවත් කරන්න. සමහර දරුවන් නොතේරෙන දේවල් අහන්නේ තමන්ගේ මිතුරන්ගෙන්. නමුත් එම මිතුරනුත් කුඩා දරුවන් නිසා ඔවුන්ට එය නිවැරදිව කියා දෙන්නට බැරි වෙන්න පුළුවන්.

7 මිතුදම් ඇති කර ගැනීමට සහාය වන්න

දරුවාට හොඳ මිතුදම් පවතින විට ඔවුන් පාසලට යන්නේ කැමැත්තෙන්. මේ නිසා දරුවන්ගේ මිතුදම් වර්ධනය කර ගැනීමට සහාය වන්න. දරුවාගේ මිතුරන්ගේ දෙමව්පියන් හඳුනා ගන්න. නිවාඩු දිනවල පවුල් කිහිපයක් එකතු වීමෙනුත් දරුවන්ගේ මිතුදම් තවත් තර කල හැකියි.

8 පාඩම් කරන අවස්ථා වලදී රසවත් සහ ගුණවත් ආහාර ලබා දෙන්න

වයසේත් වැඩෙත්ම දරුවන්ට වෙනදාට වඩා නිදි මරමින් පාඩම් කිරීමට සිදු වෙනවා. ඉතින් එවැනි අවස්තාවලදී දරුවාව සතුටට සහ උනන්දුවට පත් කරන්නට ඔබට හැකියි. රසවත් කොපි කෝප්පයක්, කේක් කැබැල්ලක් ලබා දෙමින් දරුවාගේ වෙහෙස නිවා දමන්න. එදිනෙදා ආහාර වේලට ගුණවත් ආහාර එකත් කරන්න. සිරුරට අවශ්‍ය විටමින්, ප්‍රෝටීන් ආදිය නිවැරදිව ලබා දෙන්න. එය දරුවාගේ මතක ශක්තිය වැඩි කර ගැනීමටත් උපකාරී වේවි.

SHARE