කාර්යාලයක වැඩ කිරීම සුන්දර අත්දැකීම් වගේම, අසුන්දර අත්දැකීමුත් ඔබ වෙත ගෙන එනවා. කාර්යාලයේ ඔබේ සගයන් සහ ආයතන ප්‍රධානියා ඔබට හිතවත් වන තරමට ඔබට කාර්යාලිය පරිසරය හිතකර වෙනවා. ඇත්තෙන්ම කාර්යාලයේ සගයන් සහ ආයතන ප්‍රධානියාව ඔබට හිතවත් කර ගැනීමේ වගකීම ඔබ සතුයි. කවුරුවත් එකවර ඔබට විරුද්ධ වන්නේ නැහැ. බොහෝ විට අවට සමාජය ඔබ හා වැඩි හිතවත්කමක් ඇති කර නොගන්නේ, ඔබේම හැසිරීම් රටාව නිසා වෙන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


පුටුවේ අසුන් ගන්නා ආකාරය

සමහර සේවකයන් තමාගේ පහසුව පිණිස පුටුවේ වාඩි වෙන්නේ දිග ඇදිලා. ඔවුන් හරියට වාඩි වෙලා ඉන්නේ කොන්දෙන් වගෙයි. ඒ විදිහට වාඩි වෙන එක ඔවුන්ට පහසුවක් වුනත්, දකින කෙනෙක්ට නම් සුභදායි සිතිවිලි ගෙනත් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ ආයතන ප්‍රධානියාට නම්, ඔබේ මේ ඉරියව්ව වහ කදුරු වනු ඇත. දකින්නන්ට සිතෙන්නේ ඔබ මහා කම්මැලිකමකින් සිටින බවත්, ඔබ කරන වැඩ කරන්නේ අකමැත්තෙන් කරන බවත්ය. එමෙන්ම සිටගෙන සිටින විටත් බිත්ති වලට, මේස වලට හේත්තු වී සිටීමත් ප්‍රිය දසුනක් නොවේ.

කතා කරන අතරතුරේ ඇස් කරකැවීම

සමහර පුද්ගලයන්ට කතා කරන අතරතුරේ ඇස් කරකැවිමේ පුරුද්දක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ පුරුද්ද හැඳින්වෙන්නේ නපුරු ඉරියව්වක් ලෙසිනි. සාමාන්‍යයෙන් දෙනෙත් කරකවන්නේ අනෙකා මෝඩ කතාවක් කියන විටයි. ඉතින් ඔබ දෙනෙත් කරකවන විට අනෙකාට හැඟෙන්නේ ඔබ ඔහු/ ඇය කී යමකට සමච්චල් කරන බවකි.

අනෙක් මිනිසුන්ගේ ඇඟේ ඇලෙන්නට යාම

කාර්යාලිය සගයන් ඔබේ හිතවත් මිතුරන් විය හැකියි. නමුත් කතා බහ කිරීමේදී ඔවුන්ගේ ශරීරයේ ගෑවෙන්නට යාම නම් එතරම් සුදුසු නැහැ. ඔබ යමෙකු සමඟ කතා කරන විට ඔහු වෙතින් අඟල් 3- 8 අතර ප්‍රමාණයකින් ඈතින් සිටින්න. නැතිනම් අනෙක් මිනිසුන්ට එය අපහසුවක් සේ දැනෙන එක වලක්වන්න බැහැ.

කාර්යාලයට ඉතා රහසේ ඇතුල් වීම

බොහෝ විට අලුතින්ම කාර්යාලයකට යන අයෙකු තුල මෙම ලක්ෂණය පැවතිය හැකියි. සබකෝලය නිසා සද්දයක් නැතිවම ගිහින් තමාගේ අසුනේ වාඩි වෙලා වැඩ පටන් ගන්න අය ඉන්නවා. නමුත් එය කාර්යාලය තුල මිතුරුකම් තර කර ගැනීමට බාධාවක් වෙනවා. උදෑසන කාර්යාලයට ඇතුළු වන විට මේ වන විටත් පැමිණ සිටින ඔබේ සගයන් සමඟ හොදින් හිනා වෙන්න. ඔවුන්ට “සුබ උදෑසනක්!” යනුවෙන් සුභ පතන්න. ඔබ එසේ නොකරන විට අන් අයට හැඟෙන්නේ ඔබ ආඩම්බර පුද්ගලෙකු ලෙසයි.

කම්මැලිකමක් දැනුනු විට හැසිරෙන ආකාරය

එක දිගට කාර්යයක නිරත වී සිටින විට කම්මැලිකමක්, නිදි මතක් දැනෙන එක සාමාන්‍යයි. ඉතින් ඔබ කම්මුලේ අත තබාගෙන, කම්මැලි පෙනුමකින් සිටිනවා නම් එය අන් අයට ප්‍රිය දසුනක් නොවේ. කම්මැලි බවක් දැනුනත් ඔබේ මුහුණේ ඇති සිනහව නොවෙනස්ව තබා ගන්න. නැති නම් අන් අයට හැඟෙන්නේ ඔබ වැඩ කරන්නේ අකමැත්තෙන් බවයි. ඔබේ ආයතන ප්‍රධානියා ඔබ වෙනුවට අලුත් අයෙකු පත් කර ගැනීමට සිතන්නට බැරි කමකුත් නැහැ.

කාර්යාලිය සගයන්ගෙන් ඈත් වී සිටීම

අලුතින් කාර්යාලයකට ගිය ගමන් මිතුරුකම් ඇති වෙන්නේ නැහැ. ඔබට හිතවත් මිතුරන් නැති නිසා ඔබ තනිවම සිටීමට උත්සාහ කරනවා නම්, ඔබට කොහොමත් මිතුරුකම් ඇති වන්නේ නැහැ. ඔබ අනෙක් සගයන් සමඟ එකට එකතු වී ආහාර ගන්න. වැඩ ඇරී යන විට එකතු වී ආයතනයෙන් පිට වන්න. ඔවුන් සමඟ කතා බහට යන්න. මිතුරුකම් තර කර ගත හැක්කේ ඇසුරු කිරිමෙන්මයි.

දෑත් පිටුපසට කර තබා ගැනීම

පාසැල් දරුවන් ගුරුවරුන් ඉදිරියට යන්නේ නම් අත් පිටුපසට කරගෙනයි. ඔබ ඔබේ ආයතනයේ සගයන් සහ ආයතන ප්‍රධානියා ඉදිරියට යන්නෙත් දෑත් පිටුපසට කර ගෙනද? එවිට අන් අයට ඔබව පෙනෙන්නේ බියගුළු තැනැත්තෙකු ලෙසයි. ඔබ කතා බහ කිරීමේදී සහ යමක් ගැන විස්තර කරන විට ඔබේ දෑත් පාවිච්චි කරන්න. නැති නම් ඔබ පවසන දෙයෙහි විශ්වාසනීයත්වය වැඩි වෙනවා.

SHARE