නිවාඩු දින කීපයක් එකට යෙදුනු විට බොහෝ දෙනෙක් විනෝද චාරිකාවන් සංවිධානය කර ගන්නවා. ඒ යන ගමන් බොහෝ විට ඔබ නවතින්නේ හොටෙල් කාමර වලයි. විනෝද චාරිකා විතරක්ම නෙවේ, ඔබ හොටෙල් කාමර වල රැය පහන් කරන විවිධ අවස්ථා තිබෙන්නට පුළුවන්. එහිදී ඔබේ අතින් සිදු වන යම් යම් අඩුපාඩු නිසා ඔබට, හෝටලයේ කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට අවාසි සහගත තත්වයන් උදා විය හැකියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


1 හෝටල් කාමරයේ ඇති වටිනා බඩු සොරකම් කිරීම

සමහර පුද්ගලයන් පුරුදු වෙලා ඉන්නවා හෝටල් කාමරයක නැවතුනාම එහි භාණ්ඩ සොරකම් කරන්න.  හෝටල් කාමරයෙන් ඔබ වෙත සපයනු ලැබූ සබන්, ෆේස් වොෂ්, ෂැම්පු සහ ක්‍රීම් වර්ග නිවසට ගෙන එන අය ඉන්නවා. හෝටලය විසින් ඔබ භාවිතා කල එවැනි දේ තවත් පාරිභෝගිකයෙකුට ලබා නොදෙන නිසා එවැනි දෑ ගෙන ඒමෙන් ඔබට හෝ හෝටල් කාර්ය මණ්ඩලයට ගැටළුවක් ඇති වන්නේ නැහැ.නමුත් නාන කාමරයේ තුවා, ඇඳ ඇතිරිලි, කාමරයේ සවි කර තිබු විදුලි බල්බ වැනි දෑ සොරකම් කිරීමෙන් ඔබ වැලකි සිටිය යුතුයි. එය හෝටලයට පාඩු ගෙන දෙනවා සේම, ඔබව හසු වීමෙන් ඔබට නීතිමය ගැටළු  වීම සහ දඩ ගෙවීමට සිදු විය හැක.

2 කාමරය තුල කෑම පිසීමට යාම

ආහාර සඳහා යන වියදම් ඉතුරු කර ගැනීම සඳහා සමහරු ආහාර පිස ගත හැකි කුඩා ලිප් නිවසින් ගෙන යාමට පුරුදු වී සිටිනවා. එවැනි ලිප් භාවිතා කර හොටෙල් කාමර තුල ආහාර පිසීමට යෑමෙන් ඔබට ගැටළු රැසකට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. ලිපෙන් නැඟෙන දුම නිසා හෝටලයේ සවි කර ඇති  අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමට පටන් ගැනීම නිසා ඔබව හෝටල් කාර්ය මණ්ඩලයට හසු වීමට හෝ හෝටලය තුල සැබවින්ම ගින්නක් හට ගැනීමට හෝ ඉඩ පවතිනවා.

3 වටිනා ද්‍රව්‍ය හොටල් කාමරයේ තබා පිටතට යාම

හෝටලයක් කියන්නේ සෙනග නිතර ගැවසෙන තැනක්. ඔබේ පෞද්ගලික වටිනා බඩු බාහිරාදිය වල ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. කෙතරම් ප්‍රසිද්ධ, ඉහල කිරිතිනාමයක් සහිත හෝටලයක වුවද සොරකම් සිදු විය හැකියි. මේ නිසා ඔබ යම් කටයුත්තක් වෙනුවෙන් හෝටලයෙන් බැහැර වෙන විට ඔබ සතු රන් ආභරණ, ඔබේ මුදල් පසුම්බි හෝටල් කාමරය තුල දමා යෑමෙන් වලකින්න.

4 ඇඳ පරික්ෂා නොකිරීම

හෝටල් කාර්ය මණ්ඩලය විසින් හෝටලයේ ඇඳ රෙදි, මෙට්ටා ආදිය දිනපතා පිරිසිඳු කරන බව වෙනම කතාවක්. එසේ පිරිසිඳු කිරීම හෝටලයේ පරිපාලනය විසින් හෝටල් කාර්යමණ්ඩලය වෙත පැවරූ වගකීමක්. නමුත් පිරිසිඳු කිරීමේ සේවක සේවිකාවන් එය නිසි ලෙස ඉටු කරනවාද, නැද්ද යන්න අපට නිශ්චිතව කියන්න බැහැ. මේ නිසා නිදා ගැනීමට පෙර ඇඳෙහි සහ ඇඳ රෙදි වල පිරිසිඳු කම පිළිබඳව සහ එහි කෘමින් සිටිනවාද යන්න පරික්ෂා කර බලන්න.

5 කාමරය තුල පෙනෙන්නට තිබෙන විවිධ කොකු වල රෙදි එල්ලීම

ඔබට ඔබේ රෙදි එල්ලා තැබීමට හෝටලය විසින් සපයනා උපකරණ පමණක් භාවිතයට ගන්න. එසේ නොමැතිව ඔබේ රෙදි විදුලි බල්බ වල, විදුලි පංකා වල, ෆයර් එලාර්ම් වල එල්ලීමෙන් වළකින්න. ඔබේ රෙදි වල බරට ඒවා බිඳී යාමට ඉඩ ඇති අතර, ඔබට දඩ ගෙවන්නට සිදු වනු ඇත.

6 හෝටලයේ වයි ෆයි සේවාව භාවිතා කරමින් සංවේදී පණිවිඩ යැවීම

හෝටලයක වයි ෆයි සේවාව කියන්නේ පොදු වයි ෆයි සේවාවක්. පොදු වයි ෆයි සේවාවක් පහසුවෙන්ම හැක් කල හැකි බවත් ඔබ දන්නවා. ඉතින් හෝටල් වයි ෆයි සේවාව හරහා ඔබ ඔබේ පෞද්ගලික ගිණුම් වලට ලොග් වීම, රහසිගත ඊමේල් යැවීම ආදිය කිරීම සුදුසු නැහැ.

7 යමක් බිඳ දමා එය සැඟවීම

ඔබ හෝටල් කාමරයක් තුල සිටියදී එහි බඩු බාහිරාදිය ඉතා ප්‍රවේශමෙන් භාවිතා කල යුතුයි. ඒවා බිඳ දැමීම නිසා ඔබට දඩ ගෙවන්න සිදු වනු ඇත. එමෙන්ම ඒවා බිඳ දමා එය සඟවා යාම නිසා, ඊළඟට එන ගැනුම්කරු අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. නොකළ වරදකට ඔවුන්ට දඩ ගෙවන්නට සිදු වීම එයින් සිදු වෙනවා.

 

 

SHARE