මහරු කියනවා ඔවුන් ඔවුන්ගේ අවට ඉන්න අයට මොන තරම් උදව් කළත්, ඔවුන්ට අවශ්‍ය මොහොතේදී කවුරුවත් නැති බව. අන් අයගේ යහපත ගැන හිතන බොහෝ දෙනෙක් විවිධ ගැටළු වලට මුහුණ පාන්නේ ඇයි කියලා හොයලා බලන්න අපි තීරණය කළා. අවසානයේදී අපිට දැන ගන්න ලැබුණා ඔවුන් අමාරුවේ වැටෙන්නේ අනිත් අයගේ යහපත ගැන සිතන නිසා නොවන බව. ඔවුන් අමාරුවේ වැටෙන්නේ තමන්ගේ යහපත අමතක කර, අනුන්ගේ යහපත ගැන සිතීමට යාම නිසා බව. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මමෙයට හේතු වන කරුණු හයක් ඉදිරිපත් කිරීමට තීරණය කළා.


fb-like-beg


1 උපකාර කළ යුතු සීමාව හඳුනා නොගැනීම  

මිනිසුන්ට උදව් කිරීම හොඳ ගුණාංගයක්. නමුත් එහි සීමාව ඔබ දැන ගත යුතුයි. ඔබ ඔබට හැකි පමණින් උදව් කල පසුත්, අන් අය ඔබෙන් යුතු ලෙස දිගින් දිගටම උපකාර පතනවා නම් “බැහැ” කියන්නට ඔබ ශක්තිමත් විය යුතුයි. අන් අය ඔබෙන් ඉල්ලන හැම දේම කරන්න ඔබට බැහැ. අන් අය ඔබෙන් බලාපොරොත්තු වන හැම දෙයම ඉටු කර දීමට යාමෙන් ඔබ දිළින්දෙක් බවට පත් වීම වලක්වන්න බැහැ. ඔබ සතු දේවල් කෙමෙන් කෙමෙන් ඔබට අහිමි වී යනු ඇත. මිනිසුන්ගේ ස්වරූපය ඔබට වෙනස් කල නොහැකියි. ඔබ ඔවුන්ට යම් දෙයකට “බැහැ” කියූ විට, ඔවුන් ඔබව ආත්මාර්ථකාමියෙකු ලෙස හඳුන්වන්නට උත්සාහ ගනීවි. නමුත් ඔබ එයට බිය විය යුතු නැහැ. එවැනි අකෘතඥ මිනිසුන්ගේ මිතුදම් ආරක්ෂා කර ගන්නට වෙහෙසෙන්නේ කුමකටද? තව තවත් ඔබේ දේවල් කැප කරමින් එවැනි මිනිසුන්ට උදව් කිරීමේ අර්ථය කුමක්ද?  

2 යමක් කිරීමට පෙර අන් අය එයට දැක්විය හැකි ප්‍රතිචාරය ගැන කල්පනා කිරීම

බොහෝ අය තමාට කැමති දේවල් සිදු නොකර සිටින්නේ, අන් අය වැරදියට හිතයි කියලා බයෙනුයි. තමන් කැමති ඇඳුමක් අඳින්නේ නැත්තේ සමාජය එයට ඇඟිල්ල දිගු කරාවි යන බියෙනුයි. නමුත් එහි ප්‍රතිඵලයක් විදිහට ඔබේ සුන්දර පෙනුම අඩු වෙනවා. අන් අය විලාසිතා කරද්දී, විලාසිතා නොකරන ඔබ කොන් වෙනවා. ඔබේ ආශාවන් ඉටු කර නොගෙන, අන් අයට උදව් කිරීමත් ඒ වගේ. අන් අයට උදව් නොකිරීම පිළිබඳව සමාජයෙන් ඔබට චෝදනා ලැබේවි යයි ඔබ බියයි. ඉතින් ඔබ ඔබේ දේවල් කැප කර, අන් අයගේ දේවල් ඉටු කර දෙනවා. අවසානයේදී අන් අය තෘප්තිමත්, ඔබ අතෘප්තිමත්.

3 ඔබේ අදහස් හෙළි නොකර සඟවා ගැනීම

කතා බහකදී, අන් අය අදහස් දක්වද්දී ඔබ ඔබේ අදහස් සඟවා ගන්නේ අන් අයගේ සිත රිදේවි යැයි බියෙන්. ඔබ ගැන අන් අය තීරණ ගන්නා විට, ඒවාට විරුද්ධ වීමට ශක්තියක් නැති නිසා ඔබ ඔවුන්ගේ තීරණ වලට හිස නවන අවස්ථා ඇති. නමුත් එයින් වන්නේ ඔබේ සතුට අහිමි වීම නොවේද? ඔබ කාත් එක්කවත් විවාද කරන්නේ නැහැ, ඔබ අකමැති දේ ගැන පැමිණිලි කරන්නේ නැහැ, ඔබට අවශ්‍ය දේ ලබා ගැනීම වෙනුවෙන් ඔබ අරගල කරන්නට බයයි. ඔබේ අයිතීන් වෙනුවෙන් ඔබ නැගී සිටින්නේ නැති නම්, වෙන අය ඔබ වෙනුවෙන් නැගී සිටිවිද?

ඔබේ දැක්ම සෘජුව පැවසීමට බිය වන්න එපා.

4 අන් අයගේ ගැටළු සම්පුර්ණයෙන්ම ඔබේ කර ගැනීම

යමෙකුගේ ගැටලුවකදී සහාය දීම සහ ඔහුගේ ගැටලුව සම්පුර්ණයෙන්ම ඔබේ කර ගැනීම අතර ලොකු වෙනසක් තිබෙනවා. යමෙකුගේ ගැටලුවකට සහාය දීමේදී ඔබ ඔබට කල හැකි දේ සිදු කර නවතිනවා. නමුත් අදාළ ගැටලුව ඔබේ කර ගැනීමෙන්, ඔබ ඔබේ උවමනා අනතුරේ හෙලා ගනිමින් එම ගැටලුව විසඳාලන්නට කටයුතු කරනවා. අන් අය ගැටලුවකින් පීඩා විඳින විට ඔබ පමණට වඩා සංවේදී වීමයි මෙයට හේතුව. නමුත් අන් අය ඔබේ ගැටළු වලට පමණට වඩා සංවේදී වන්නේ නැහැ. ගැටලුව ඇත්තේ ඔවුන් තුල නොව, ඔබ තුලයි. අනුන්ගේ ගැටළු තමාගේ කර ගැනීම සාමාන්‍ය හැසිරීමක් නොවේ.

අනුන්ගේ බර ඔබේ කර පිටින් ගෙන යාමට උත්සාහ දැරීම නවත්වන්න. එවැනි අවස්තාවක ගැටලුවට මුහුණ දෙන පුද්ගලයා, තමාගේ ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් කරන්නේ මොනවාදැයි කල්පනා කරන්න. ඇතැම් විට, ඔහුවත් ඔහුගේ ගැටලුවෙන් ඔබ තරමට පීඩා විඳින්නේ නැතිව ඇති.   

 

                

SHARE