ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට අනුව දින 365කින් යුත් සාමාන්‍ය වසරක් (common year) වන 2015 ආරම්භ වූවේ බ්‍රහස්පතින්දාවකයි. මෙම වසර ‘ආලෝකය පිලිබඳ වූ අන්තර්ජාතික වසර’ හා ‘පස පිලිබඳ වූ අන්තර්ජාතික වසර’ ලෙසද නම් කර තිබෙනවා.

fb-like-beg


2015 වසරේ ප්‍රථම භාගයේදී ලොව පුරා සිදුවූ වැදගත් සිදුවීම් මීට පෙර ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළා. ඒ රැකියාවන් සඳහා තෝරාගැනීමට පවත්වන තරඟ විභාගවලින් ජය ගැනීමට එම කරුණු පිලිබඳ ඔබ සතුව මනා දැනුමක් තිබීම ඉතාම වැදගත් වන නිසයි. මේ එහි දෙවන කොටසයි.

පළමු ලිපියට මෙතැනින් යන්න,

තරඟ විභාග අත්වැල – 2015 වසරේ ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් (1)


ජුලි

  • ජුලි 01 – ග්‍රීක ණය අර්බුධය ; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වසර 71 ක ඉතිහාසය තුළ ලොව දියුණු ආර්ථිකයකට සිය IMF ණය වාරික ගෙවීමට නොහැකි වෙයි.
  • ජුලි 14
    • නාසා ආයතනයේ New Horizon අභ්‍යවකාශ යානය ප්ලූටෝ ග්‍රහයා ආසන්නයටම යාමට සමත් වෙයි. මෙය පෘථිවියට ඉතා ඈතින් පිහිටි ග්‍රහලොවක් වෙත ලංවූ ප්‍රථම යානයයි.
    • පනවා ඇති සම්බාධක ඉවත් කිරීමේ යෝජනාව මත දිගු කාලීනව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් අවම කිරීමට ඉරානය එකඟ වෙයි.
  • ජුලි 20 – වසර 54කට පසු කියුබාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවෙයි.
  • ජුලි 24 – තුර්කිය කුර්දිස්තාන් ජනතා පක්ෂයට හා ISIS සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම අරඹයි.

අගෝස්තු

  • අගෝස්තු 05 – Reunion දූපතේ තිබී සොයාගත් සුන්බුන් 2014 මාර්තු මස අතුරුදහන් වූ මලයාසියානු ගුවන් යානයට අයත් ඒවා බව තහවුරු කර ගැනේ.
  • අගෝස්තු 17 – තායිලන්තයේ බැංකොක්හි දේවස්ථානයක් තුල සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මියගොස් 125ක් තුවාල ලබයි.

සැප්තැම්බර්

  • සැප්තැම්බර් 10 – දකුණු අප්‍රිකාවෙන් හමු වූ ෆොසිල සාධක මගින් ‘හෝමෝ නැලේඩි’ නම් වූ නව ආදි මානව විශේෂයක්‌ නම් කෙරේ.
  • සැප්තැම්බර් 18 – 2009 සිට 2014 දක්වා සිය වාහන වලින් පරිසරයට මුදාහැරෙන විෂ දුම් පිලිබඳ වාර්තා වංචනිකව සකස් කර ඉදිරිපත් කළ බවට ලෝ ප්‍රකට ෆොක්ස්වැගන් සමාගමට චෝදනා එල්ල වෙයි.
  • සැප්තැම්බර් 24 – දොඹකරයක් කඩා වැටීම නිසා හජ් වන්දනාව සඳහා මක්කම බලා ගිය බැතිමතුන් 2200ක් පමණ මිය යයි. මෙහිදී 900කට අධික පිරිසක් තුවාල ලැබූ අතර තවත් 630 දෙනෙක් පමණ අතුරුදහන් විය.
  • සැප්තැම්බර් 28 – අඟහරු ග්‍රහයා මතින් ද්‍රව ජලය සොයාගත් බවට නාසා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරයි.
  • සැප්තැම්බර් 30 – රුසියාව ISIS සංවිධානයට හා සිරියානු කැරලි කරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අරඹයි.

ඔක්තෝබර්

  • ඔක්තෝබර් 03 – ඇමරිකානු ගුවන් හමුදාව විසින් වැරදි ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ රෝහලක සිටි 20 දෙනෙකු මියයයි.
  • ඔක්තෝබර් 10 – තුර්කියේ අන්කාරා නුවර පැවැත්වුණ සාමකාමී රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 100කත අධික පිරිසක් මියගොස් තවත් 400ක් පමණ තුවාල ලබයි.
  • ඔක්තෝබර් 23 – පැට්‍රිෂියා සුළි කුණාටුව බටහිර අර්ධගෝලයෙහි වාර්තා වී ඇති ප්‍රබලතම සුළි කුණාටුව ලෙස වාර්තා වේ.
  • ඔක්තෝබර් 26 – හින්දු කුෂ් කඳු ප්‍රදේශයේ ඇති වූ රිච්ටර් අගය 7.5 ක් වූ භූමිකම්පාවක් නිසා පුද්ගලයන් 800ක් පමණ මියයයි.
  • ඔක්තෝබර් 31 – ශාන්ත පීටර්ස්බර්ග් කරා ගමන්කරමින් තිබූ එයා බස් A321 වර්ගයේ ගුවන් යානයක් ඊජිප්තුවේ සිනායි ප්‍රදේශයෙදි අනතුරට ලක්වී ගමන් ගත මගීන් 217 ක් හා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු මියයයි.

නොවැම්බර්

  • නොවැම්බර් 07 – චීන ජනපති හා තායිවාන ජනපති අතර ප්‍රථම වරට නිල වශයෙන් හමුවක් පැවැත්වෙයි.
  • නොවැම්බර් 12 – ISIL සංවිධානය විසින් ලෙබනනයේ බීරූට් නුවර සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් 43 දෙනෙකු මියගොස් 239 දෙනෙකු තුවාල ලබයි.
  • නොවැම්බර් 13 – ISIS සංවිධානය විසින් ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවක් නිසා 130ක් මියයයි.
  • නොවැම්බර් 24 – තුර්කි හමුදා විසින් සිය දේශසීමාව ආසන්නයට පැමිණි රුසියන් ගුවන් යානයක් බිම හෙලයි. මෙය 1950 වසරෙන් පසු නේටෝ සංවිධානයේ සාමාජික රටක් විසින් රුසියන් ගුවන් යානයක් විනාශ කළ ප්‍රථම වතාවයි.
  • නොවැම්බර් 30 – එක්සත් ජාතීන්ගේ පාරිසරික වෙනස්වීම් පිලිබඳ අන්තර්ජාතික සමුළුව ප්‍රංශයේදී ඇරඹේ. මෙයට රටවල් 147ක නායකයන් සහභාගී විය.

දෙසැම්බර්

  • දෙසැම්බර් 22 – SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බැස්වීමට හැකි වෙයි.

SHARE