විවාහය කියන්නේ උත්තරීතර බැඳීමක්. එය රැක ගැනීමට උත්සාහ කල යුතුයි. නමුත් දෙදෙනෙකුට එකට සිටීම බොහෝ අපහසු බව හැඟෙන විට ඔවුන් වෙන් වීමට තීරණයක් ගත හැකියි. එය ඔවුන්ගේ අයිතියක්. නොගැලපෙන සබඳතා වල රැඳෙමින් දිගින් දිගටම මානසික ආතතියට පත් විය යුතුද, නොගැලපෙන සබඳතාව ගැලපෙන ලෙස සකසා ගත යුතුද යන්න තීරණය කල යුත්තේ අවට සමාජය නොව අදාළ යුවලමයි. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


“ඔබ කොහොමද ඔබේ දරුවන්ට මෙහෙම කරන්නේ?”

දික්කසාද වීම කියන්නේ බොහොම වේදනාත්මක තීරණයක්. දික්කසාද වීමට තීරණය කර ගත් යුවල ඒ වන විටත් ඒ වේදනාව විඳිනවා. අවට සමාජයට සාපේක්ෂව ඔවුන් ඔවුන්ගේ දරුවන් ගැන සිතනවා. ඔවුන් එම තීරණය ගන්නේ බොහෝ අමාරුවෙන්. ඒ වගේම ඔවුන් එය හොඳින් සිතා බලා ගත් තීරණයක් වෙන්න පුළුවන්.

දරුවන්ගේ පැත්තෙන් එය මෙසේ විග්‍රහ කල හැකියි. නිතර දබර වන මව්පිය යුවලකගේ දරුවෙකු වී සිටිනවාට වඩා, දික්කසාද වූ මව්පිය යුවලකගේ දරුවෙකු වීම ඔවුන්ට සහනයක්. නිතර දබර වන පරිසරයක ඇති දැඩි වීම දරුවෙකුගේ මනසට සහ අනාගතයට ඉතාමත් අහිතකර ලෙස බලපානවා.

“අපි දෙන්නට නම් ඔහොම වෙන එකක් නෑ”

ඔබේ මිතුරා විවාහ වන විට ඇයත්/ ඔහුත් යම් දවසක දික්කසාද වීමට සිදු වනු ඇතැයි කොහොමටවත් සිතන්නට නැතුව ඇති. ඉතින් වෙන් වීමට යන යුවලකට ඔවැනි පුරසාරම් කතා පැවසීම සුදුසු නැහැ. මොනතරම් කෝපයෙන් සිටියත්, අනෙකාගෙන් වෙන් වීම පිළිබඳව වේදනාවක් ඔවුන්ගේ සිතේ අනිවාර්යයෙන්ම තිබෙනවා. ඔබ එය වැඩි වන ආකාරයේ කතා පැවසීමෙන් වැලකි සිටිය යුතුයි.

“ඔබේ සහකරු නොසන්ඩාලයෙක්”

ඔබේ මිතුරා හෝ මිතුරිය තමාගේ සහකරුට බැන වැදුනොත් අසා සිටීම වෙනම කරුණක්. නමුත් ඔබ ඔවුන් හා එක් වී, අනෙකාට බැන වැදීමෙන් වලකින්න. ඔවුන් දෙදෙනා අතර වූ ගැටළු දන්නේ ඔවුන් දෙදෙනාම පමණයි. සමහරවිට ඔවුන් වෙන් වන්නේ අනෙකාගේ වරදක් නිසා නොව, දෙදෙනාගේ නොගැලපීම නිසා විය හැකියි. ඉතින් ඔබ නොදන්නා කරුණක් ගැන කතා නොකර සිටීම වඩා හොඳයි.

ඒ වගේම තමයි වෙන් වීමට ගොස් අන්තිම මොහොතේ එකතු වෙන යුවලවලුත් සිටිනවා. ඔවුන්ගේ තීරණ ගත යුත්තේ ඔවුන් විසින්මයි. ඔවුන්ගේ අවසාන තීරණය ඔබේ අදහස් නිසා වෙනස් වීමට ඉඩ නොදෙන්න.

“ඔබ විවාහ උපදේශන මධ්‍යස්තානයකට ගියේ නැද්ද?”

විවාහ උපදේශන මධ්‍යස්තානයකට යෑමේ යෝජනාව ගෙන ඒම හොඳයි. එය කල යුත්තේ “සාමාන්‍ය මනුස්සයෙක් වුනු මට වඩා, විවාහ උපදේශකයෙක්ට ඔබ දෙදෙනාගේ ප්‍රශ්න හොඳින් තේරුම් ගෙන, හොඳ විසඳුමක් දීමට හැකි වේවි.” වැනි ආකාරයකිනුයි.

එසේ නොමැතිව ඔවුන්ව ප්‍රශ්න කිරීමට නොයන්න. ඔබ ඔවුන්ව ප්‍රශ්න කිරීමෙන් ඔවුන්ට හැඟෙන්නේ ඔවුන් විවාහය රක ගැනීමට උනන්දුවක් නොමැති බව පවසමින් ඔබ චෝදනා කරන ආකාරයකුයි.

“නීතිඥයෙකු මාර්ගයෙන් ඔහුගේ දේපල සියල්ලම ලබා ගන්න.”

දික්කසාද වන යුවලක් අතර කෝපය ඇති වීම සාමාන්‍ය සිද්ධියක්. ඔබ ඒ ගින්න තවත් ඇවිලීමට හේතුවක් නොවන තරමට හොඳයි. පලිගැනීමට අනෙකාව උනන්දු නොකරන්න. වෙන් වීම සාමයෙන් කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. පළිගැනීමේ හැඟීම් ඇතුළු සෘණාත්මක හැඟීම් යමෙකු තුල ඇති වූ විට ඔහුට හෝ ඇයට පහසුවෙන් හිත හදා ගැනීමටත්, අනෙකාව ඉක්මනින් අමතක කර නව ජිවිතයක් ඇරඹීමටත් අපහසු වෙනවා. වෙන් වීම අප්‍රසන්න යුද්ධයක් විය යුතු නැහැ. ඔවුන්ට පසුකාලීනවත් දරුවන් මුණ ගැස්වීම වෙනුවෙන් හෝ ඇසුරු කිරීමට සිදු වෙනවා.

“මොකද වුනේ?”

යමෙකු දික්කසාද වීමට යන බව පැවසු විගස අන් අයට එයට බලපෑ හේතුව දැන ගැනීමට අවශ්‍ය වෙනවා. නමුත් නැවත නැවත තමා මුහුණ දුන් වේදනාත්මක සිදුවීම් එය ගැන විමසන සෑම පුද්ගලයාටම පැවසීමට සිදු වීම ඔවුන්ට විශාල වේදනාවක් විය හැකියි. ඔබේ මිතුරා එය ඔබට පවසනවා නම් අසා සිටින්න. නමුත් ඔහු/ ඇය ඒ ගැන පවසන බවක් නොපෙනෙනවා නම් බලෙන් විමසන්නට යාම නුසුදුසුයි.

ඔබ කල යුත්තේ ඔවුන් සමඟ වෙනදා මෙන්ම කිට්ටුවෙන් ආශ්‍රය කිරීම පමණයි. ඔවුන්ගේ වෙන් වීම ගැන කතා කරන්නට යාම හැකි තාක් අඩු කරන්න.  

SHARE