රැකියාවකට යන පළමු දවස කියන්නේ සතුටත්, නොසන්සුන්බවත් එකට කැටි වුනු හැඟීම් සමුදායක් හිතේ පහල වෙන දවසක් කිව්වොත් නිවැරදියි. නොදන්නා පිරිසක් අතරට යෑමත්, වගකීම් රැසක් හිස මත පැටවීමත් යන කරුණු දෙක නිසා ඔබේ හිතට පුංචි ආතතියක් එකතු වෙන එක නම් වලක්වන්න බැහැ. නමුත් අද අපි ඉදිරිපත් කරන ලිපියේ සඳහන් වෙන ආකාරයට ක්‍රියා කලොත් නම්, ඔබේ ආතති හැඟීම් අඩු වෙලා, රැකියා ජීවිතය සුන්දර කර ගැනීමට මඟ පෑදේවි.


fb-like-beg


 

1 වේලපහින් රැකියා ස්ථානය වෙත යන්න

බොහෝ දෙනෙක් සිදු කර ගන්නා වරදක් තමයි පළමු දවසෙම ප්‍රමාද වීම හෝ නියමිතම වෙලාවට යාම. ඔබ විනාඩි 15ක් පමණ කලින් ගියොත් ඔබට ඔබේ රැකියා පරිසරයට හුරු වීමට, බාත්රූම් එකට යෑමට, කාර්යාලිය සගයන්ට හුරු වීමට අවස්තාව ලැබෙනවා. මේ නිසා ඔබ කල් වේලා ඇතිව අවදි වී, ලැස්ති වී, නිවසින් පිට වීමට වග බලා ගන්න.

2 උද්යෝගමත් ලෙස හැසිරෙන්න. නමුත් පමණට වඩා එපා.

උද්යෝගයෙන් වැඩ කිරීම, උද්යෝගයෙන් කාර්යාල සගයන් ඇසුරු කිරීමෙන් ඔබට ආයතනය තුල හොඳ නමක් ප්‍රථම දවසෙම දිනා ගත හැකියි. නමුත් කෘතීම උද්යෝගයක් පෙන්වන්නට ගොස් ලකුණු කපා ගැනීමෙන් වලකින්න. ඔබේ උද්යෝගය සමබරව තබා ගැනීමට වග බලා ගන්න.  

3 පරණ රැකියාව ගැන අනවශ්‍ය ලෙස කියවන්න එපා

ඔබ නව රැකියාවට ගිය පළමු දවසෙම පරණ රැකියාව ගැන, එහි කල දේවල් ගැන පවසන්නට යන්න එපා. ඔබේ කාර්යාලිය සගයන් විමසුවොත් පමණක් කෙටියෙන් පවසන්න. ඔබ රැකියාව කල ආයතනයේ නම සහ කර රාජකාරියේ නම පමණක් පැවසීම ප්‍රමාණවත්. සමහරුන් පරණ රැකියාව ගැන කතා කිරීමෙන් තමා වැඩි පළපුරුද්දක් ඇති අයෙකු බවත්, දක්ෂයෙකු බවත් හඟවන්නට යනවා. නමුත් එයින් ඔබට නව ආයතනයේ මිතුරන් හිඟ වීමේ අවදානමක් පවතිනවා.

4 නෝට් බුක් එකක් සහ පෑනක් ගෙන යන්න

ඔබේ රැකියා ආයතනයේ පෑන් සහ කොළ තිබෙන බව සත්‍යයක් වුවත්, පළමු දවසේදී ඔබ ඒවා ගෙන යාම වැදගත් වෙනවා. රැකියාවට සම්බන්ධ යමක් යමෙකු විස්තර කරන විට කාර්යාලිය සගයන්ගෙන් පෑන් සහ කොළ ඉල්ලනවාට වඩා එය වැදගත්. පළමු දිනය කියන්නේ ඔබට නව තොරතුරු ගොඩාක් එකතු වෙන දවසක්. ගොඩනැගිල්ලේ පිහිටීම, මුරපද, කාර්යාලිය සගයන්ගේ නම්, කිරීමට ඇති වැඩ රාජකාරි ආදිය ලියා ගැනීමෙන් ඔබේ ඉදිරි දින වලට පහසුවක් එක් වේවි.  

5 ශරීර භාෂාව ගැන සැලකිලිමත් වන්න

අපිට ජිවිතයේ හැම මොහොතකම අපේ ශරීර භාෂාව ගැන සැලකිලිමත් වෙන්න අමාරුයි තමයි. නමුත් රැකියාවට යන පළමු දිනයේ ඔබේ ශරීර භාෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබට අන් අයගේ ආකර්ෂණය දිනා ගත හැකියි. ඕනෑම දෙයක් මනිනු ලබන්නේ පළමු දැක්මෙන් බව ඔබ අසා ඇති. මේ නිසා පළමු දිනයේදී ඈනුම් යැවීම, සිනා නොවී රවාගත් මුහුණකින් සිටීම වැනි සෘණාත්මක හැඟීම් ජනිත කරවන ශරීර භාෂාවන්ගෙන් ඈත් වී සිටින්න.

6 ඔබේ කැමැත්ත පෙන්වන්න

ඔබ තුල රැකියාව ගැන ඇති කැමැත්ත සහ උනන්දුව පෙන්වන්න. ඔබට ඉගෙන ගැනීමට අලුත් දේවල් රැසක් තිබෙනවා. ඒවා දෙස ධනාත්මක අයුරින් බලන්න. සෙසු අයගෙන් ඔබට දැනගැනීමට අවශ්‍ය දේවල් විමසා දැන ගන්න. එය ඔබේ උනන්දුව පෙන්වීමට හොඳ ක්‍රමයක්. දැන ගන්නා අලුත් දේවල් වෙනම සටහන් කර ගැනීම තුලිනුත් ඔබේ උනන්දුව සහ කැමැත්ත අන් අයට පෙන්විය හැකියි.

7 සමාජ ජාලා භාවිතයෙන් ඈත් වී සිටින්න

ඔබේ කාර්යාලීය සහකරුවන් ඇතැම් විට සමාජ ජාලා වල සැරිසරනවා ඔබට පෙනෙන්ට පුළුවන්. නමුත් ඔබ සමාජ ජාලා වල සැරිසරන්නට ගොස් පළමු දවසේදීම අනෙක් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න එපා. ඇතැම් අය නව රැකියාව ගැන දරණ අදහස් පවා සමාජ ජාලා වලට එක් කරනවා. එය ඔබේ ආයතනයේ කාර්යාලිය සගයන් හෝ ආයතන ප්‍රධානියා දකින්නට ඉඩ ඇති බව මතකයේ රඳවා ගන්න.

 

SHARE