මන් කරන රැකියාව අතෘප්තිමත් වෙනකොට, ලැබෙන වැටුප මදි කියලා දැනෙනකොට ඔබටත් හිතිලා ඇති ගෙදර ඉඳගෙන ඔබේම ව්‍යාපාරයක් ඇරඹුවා නම් මීට වඩා හොඳයි කියලා. ඇත්තටම මුදල් වෙනුවෙන් හෝ ඔබ අකමැති දෙයක නිරත වෙන එක හිසරදයක්. ඒත් ජිවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඔබ ඔබේ රැකියාව සහ ව්‍යාපාර සිහිනය අතර හිර වෙලාද? ඔන්න එහෙනම් goodhousekeeping.lk වෙබ් අඩවිය කියවන ඔයාලට අපෙන් පුංචි උපදෙස් කීපයක්.


fb-like-beg

 


 

1 ඔබට ඔබේ රැකියාව අත් හැරීමට සිතෙන හේතුව සහ ව්‍යාපාරයක් ඇරඹීමට හිතෙන හේතුව ගැන ගැඹුරින් විග්‍රහ කරන්න

නිදහස් වෙලාවක් අරගෙන ඔබ ගත් තීරණය ගැන නැවත හිතලා බලන්න. ඔබ ඔබේ රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කිරීමට බලපෑ හේතු වෙන වෙනම සටහන් කර ගන්න. ඔබට රැකියාව එපා වී ඇත්තේ ඔබේ රැකියා ස්ථානයේ හෝ ඔබ සමඟ වැඩ කරන අනෙකුත් සේවකයන්ගේ හැසිරීමේ වැරදි වැනි ගැටළු නිසා නම් ඔබට පුළුවන් වෙනත් ආයතනයක රැකියාවකට ඉල්ලුම් කරන්න.

ඔබ ව්‍යාපාරයක් අරඹන්නට සිතන්නේ වෙන අයෙකු ව්‍යාපාරයක් අරඹා දියුණු වූ හැටි දැකපු නිසා නම්, එයත් සුදුසු නැහැ.

ඔබ කැමති අංශයකින් ව්‍යාපාරයක් ඇරඹීමට ඔබ ඇත්තටම කැමති නම් පමණක් එම තීරණය ගන්න.

2 රැකියාව කරන අතරතුරේ ව්‍යාපාරය සුළුවට ආරම්භ කරන්න

එක වර රැකියාව අතහැර දමා ව්‍යාපාරයක් අරඹනවාට වඩා, රැකියාව කරන අතරතුරේ ව්‍යාපාරය සුළුවට පටන් ගැනීම අවදානම් සහගත බව අඩු කරනවා. එම කාලය ඇතුලත ඔබේ ව්‍යාපාරයේ ඉදිරිය සැලසුම් කිරීම, ප්‍රචාරණ උපක්‍රම දියත් කිරීම, ව්‍යාපාරයේ නමින් වෙබ් අඩවියක් ඇරඹීම වැනි කටයුතු සිදු කරන්න. ඔබේ සම්පුර්ණ කාලය ව්‍යාපාරය වෙනුවෙන් යොමු කල යුතු යැයි හැඟෙන දවස වන තුරු රැකියාවේත් නියැලෙන්න. ව්‍යාපාරය යම් තැනකට පැමිණි පසු ඔබට බියක් නැතිව කරන රැකියාවට සමු දිය හැකියි.

3 මුදල් ඉතිරි කර ගන්න

ඔබේ රැකියාවෙන් ලැබෙන වැටුප අත්‍යවශ්‍ය දෙයට පමණක් වියදම් කරන්න. අනවශ්‍ය වියදම් කපා හරිමින්, හැකි තරම් ඉතිරි කරන්න. ඔබ ව්‍යාපාරය ආරම්භ කල විගස ඔබට ආදායම් ලැබෙන්නේ නැති වේවි. හදිසි තත්වයකට මුහුණ දීම සඳහා ඔබේ ඉතුරුම් වැදගත් වේවි. ඒ වගේම ඔබට මාසිකව ලැබෙන බිල් පත් ගැන කල්පනාකාරී වන්න. ඔබ රැකියාවක් කළත්, නැතත් ඔබට එම බිල්පත් අනිවාර්යයෙන්ම ගෙවීමට සිදු වෙනවා. ඔබ රැකියාවෙන් ඉවත් වූ පසුව ලැබෙන බිල්පත් ගෙවීම වෙනුවෙනුත් මේ ඉතිරි කිරීම් ප්‍රයෝජනවත් වෙනවා.

4 ඔබේ අරමුණු සටහන් කර ගන්න

ඔබේ ව්‍යාපාරික අරමුණු කොලයක හෝ පරිඝනකයේ සටහන් කර ගන්න. එය දිනපතා කියවන්න. ඒවායින් ඔබ කෙතෙක් දුරට ඉටු කරගෙන තිබේදැයි සතියකට වතාවක් බලන්න. ඔබේ අරමුණු නැවත නැවත කියවීම ඔබ තුල උනන්දුවක් සහ ජවයක් ඇති කරවනවා.

5 වෘත්තිමය උපදෙස් ලබා ගන්න

ඔබේ ව්‍යාපාරය ඇරඹීම සඳහා ඔබට වෘත්තීය උපදෙස් අත්‍යවශ්‍ය වෙනවා. ඔබ නොදකින පැත්තකින් ඔබේ ව්‍යාපාරික අරමුණු දෙස බලන්නට එම වෘත්තිමය උපදෙස් ඔබට උපකාරී වේවි. ඔවුන්ගෙන් ඔබට නව දැනුම, නව ව්‍යාපාරික සම්බන්ධතා හිමි වේවි. ඔබේ කර්මාන්තය හා සම්බන්ධ තවත් අය ඔබට හඳුනා ගැනීමට මෙයින් අවස්තාව ලැබේවි. ඔබේ ව්‍යාපාරික අරමුණු වල ඇති අඩු ලුහුඬුකම් පෙන්වා දීමට ඔවුන් සමත් වනු ඇත. ඔබට හැකි නම්, ඔබේ කර්මාන්තයට අදාළ පාඨමාලාවක් වුව හැදෑරිය හැකියි.

6 ඔබේ අතේ කුණු ගා ගන්න බය වෙන්න එපා

ඔබ දැන් කරන රැකියාව බොහොම ගෞරවනීය රැකියාවක් වෙන්න ඇති. ඔබ ඔබේ ආයතනයේ ඔබට අදාළ රාජකාරිය කරනවා මිස, එහි කුණු අස් කිරීම හෝ අතු ගෑම වැනි කාර්යයන් කරන්නේ නැහැ. නමුත් ඔබ ඔබේම ව්‍යාපාරයක් අරඹනවා නම් ඕනෑම දෙයක් කිරීමට සුදානම් විය යුතුයි. ඔබේ ව්‍යාපාරයේ පුංචිම ස්ථානයේ ඉඳන්, ඉහලම ස්ථානය වෙනකම් වැඩ කරන්න ඔබ සුදානම් විය යුතුයි.

7 නියමාකාරයෙන් ඔබේ රැකියාවට සමු දෙන්න

ඔබේ රැකියා ස්ථානයේ, ඔබේ සම සේවකයන්ගේ සහ ඔබේ ප්‍රධානීන්ගේ ගැටළු නිසා ඔබට රැකියාව එපා වී තිබෙන්නට ඇති. නමුත් ඔබ ඔබේ ආයතනයෙන් සමු ගත යුත්තේ නිවැරදි ආකාරයටයි. ඔබේ ආයතනයේ පුද්ගලයන්ව තරහ කර ගැනීම ඔබට සහ ඔබේ අනාගත ව්‍යාපාරයට හානි දායක විය හැකියි. නමුත් ඔබ ඔබේ මිතුරුකම රැක ගෙන රැකියාවෙන් ඉවත් වුවොත්, ඔවුනුත් ඔබේ ව්‍යාපාරයට හැකි සහයෝගය උපරිමයෙන් ලබා දේවි.

     

SHARE