රැකියා ස්ථානයේ හොඳම සේවිකාව වෙන්න ඔබත් කැමති ඇති. සේවකයෙකුගෙන් ආයතනය බලාපොරොත්තු වන දේවල් කීපයක්ම තියෙනවා. ඒවා නිසි ලෙස දැනගෙන හිටියොත් ආයතනයේ හොඳම සේවිකාව වෙන්න හරි, හොඳම සේවක සේවිකාවන් කිහිප දෙනා අතරට එන්න හරි ඔබට බැරි වෙන්නේ නැහැ. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන කතා කරන්න.


fb-like-beg


1 වෙලාවට වැඩ කරන්න

උදෑසන අවදි වෙලා පරක්කු වෙන්නේ නැතුව රාජකාරියට වාර්තා කරන එක හොඳ සේවකයෙකුගේ ලක්ෂණයක්. එලාර්ම් එක ඕෆ් කරලා නිදාගෙන, පරක්කු වෙලා ඔෆිස් ඒකට දුවන එක ඔබේ පුරුද්දක් නම් එය අදම නවත්වන්න. මොකද ආයතන ප්‍රධානින් පරක්කු වෙලා එන සේවකයන්ට වැඩිය කැමති නැහැ. සේවයට වාර්තා කිරීම විතරක් නෙවේ, ඔබට පවරන වැඩ රාජකාරිත් නිසි වෙලාවට අවසන් කරලා භාර දෙන්න. එය හොඳ සේවකයෙකුගේ ලක්ෂණයක්.

2 ගරු කරන්නට හුරු වන්න

ගරු කිරීම කියන වචනයේ නිවැරදි අර්ථය ඉහල සේවකයන් ඉස්සරහ දෙකට නැමිලා, පහල සේවකයන් ඉස්සරහ තමන්ගේ අහංකාරකම් පෙන්වන එක නෙවේ. නිවැරදි ගරු කිරීමක් කියන්නේ ඔබ අවට සිටින හැම දෙනාටම එක හා සමානව ගරු කිරීමයි. ඔබ කෑ ඉස්සරහවත් දෙකට නැවෙන්න ඕනේ නැහැ. ඔබේ වචනයෙන් සහ ක්‍රියාවෙන් හැමෝටම ගරු කලොත් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඔබ අවට ඇති බඩු භාණ්ඩ වලටත් නිසි ගෞරවය ලබා දෙන්න. ආයතනයේ පුටු මේස ආරක්ෂා කරන්න. හිස් පුටු උඩ ඔබේ කකුල් තබා ගැනීම, මේසයේ පෑනෙන් ඉරි ඇඳීම, පරිඝණක වලින් නොදන්නා දේවල් කිරීමට ගොස් කඩා දැමීම වැනි දේවල් කවදාවත් කරන්න එපා.

3 ඵලදායි පුද්ගලයෙකු වන්න

නිතරම ඔබේ ඵලදායිතාවය ගැන පිරික්සලා බලන්න. ඔබේ කාලය නිවැරදිව භාවිතා කරලා, ඔබට හැකි උපරිමයෙන් වැඩ කරන්න. එය සාර්ථක සේවාදායකයෙකුගේ ලක්ෂණයක්. ඔබේ වැඩ අවසන් කල පසු තව වෙලාව ඉතුරු වෙලා තියෙනවා නම් ඔබ කල යුත්තේ අනිත් අය සමඟ කතාවට වැටීම හෝ සමාජ ජාලා වල සැරිසැරීම නෙවෙයි. අන්තර්ජාලය හරහා ඔබේ විෂය ක්ෂේත්‍රයට අදාළ නව දැනුම ලබා ගන්න.

4 හොඳ සගයෙකු වන්න

ඔබේ ආයතනයේ සෙසු සේවකයන් සමඟ හොඳ මිතුදමක් හදා ගන්න. සමහර සේවකයන් තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නට පෙළඹෙනවා. ඔවුන්ගේ ඵලදායිතාවය ඉහල වුනත් ආයතන ප්‍රධානින් ඔවුන්ට උසස්වීම් ලබා දෙන්නට මඳක් පැකිලෙනවා. එයට හේතුව වන්නේ ඔවුන් කණ්ඩායම් වැඩට අදක්ෂ වීමයි. ඔෆිස් එකෙන් සංවිධානය කරන උත්සව අවස්ථාවන්ට, විනෝද චාරිකා වලට සහභාගී වෙන්න. ඔබේ මිතුරන්ගේ විවාහ උත්සව වලට ආරධනා ලැබුණු විට සහභාගී වන්න.

5 පෞද්ගලික ජීවිතය සහ රැකියා ජීවිතය පටලවා නොගන්න

නිවසේ ඇති ප්‍රශ්න වල පීඩනය නිසා ඔබ ඔබේ ආයතනයේ වැඩ මඟ හරිනවා නම් ඔබට සාර්ථක සේවකයෙක් ලෙස කිරුළු දරන්න ගොඩක් අමාරුයි. ඇතැම් පෞද්ගලික ගැටළු වලින් මිදෙන්නට අපහසු වුවත් එය ඔබේ රැකියාවට බාධා එල්ල කරනා බව වටහා ගන්න.

6 ඔබට ආරම්භයේදී ලබා දුන් උපදෙස් මතක තබා ගන්න

ඔබව රැකියාවට බඳවා ගත් දිනයේ ඔබ වෙත සැපයූ උපදෙස්, ඔබට දැනුම් දුන් නීති පිළිබඳව කාලයත් සමඟ අමතක කරන්න එපා. සමහර සේවකයන් නීති රීති පිළිපදින්නේ ආයතනයට හුරු වන තෙක් පමණයි. ඒ වගේම ඔබට මුලදී ලබා දුන් උපදෙස් අමතක කර, වරින් වර ඔබේ සෙසු සගයන්ගෙන් ඒ ගැන විමසන්නට යාමත් සුදුසු නැහැ.

7 ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න

ඔබ මොන තරම් ඵලදායි ලෙස ඔබේ රැකියාව සිදු කලත්, ඔබට අසාධාරණයක් වීමට ඉඩ තිබිය හැකියි. එවැනි අවස්ථා වලදී කරබාගෙන සිටීම වැරදියි. උදාහරණ ලෙස ඔබේ රාජකාරියම සිදු කරන තවත් සේවකයෙකුට ඔබට වඩා වෙනස් වැටුපක් ලැබෙනවා නම් ඒ ගැන විමසීම වරදක් නෙවේ. නමුත් ඊට පෙර ඔබට පෙනෙන දෙය සත්‍යයමදැයි සොයා බලන්න. ඇතැම් විට ආයතනය වැටුප් වැඩි කිරීම් සිදු කරන්නේ රැකියා පළපුරුද්ද මත විය හැකියි. ඔබට දිගින් දිගටම අසාධාරණයක් වන බව හැඟෙනවා නම් ඔබ තව දුරටත් එම ආයතනයේම රැඳී නොසිට, ඔබේ සුදුසුකම් වලට ගැලපෙන වෙනත් ආයතනයක තනතුරක් සඳහා ඉල්ලුම් කරන්න.

SHARE