ලොව ක්‍රියාත්මක වන රහසිගත සමාගම් අතුරින් එකක් වන පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු ලිපිගොණු මිලියන 11.5 ක අඩංගු රහසිගත අප්‍රේල් මස මුල් සතියේ එළිදැක්වුණා.

ජර්මනියේ පුවත්පතක් වෙත ලැබුණු ඉහත කී ලිපිගොණු ලොව පුරා පුවත් සිරස්තල මවන්නට හේතු වුණ අතර ඒවා පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් අළලා මෙම ලිපිය ලියැවෙනවා. මෙය ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් තුළ හෙළිදරව් වූ විශාලතම රහසිගත තොරතුරු ප්‍රමාණයක් බවයි ඇතැමුන් පවසන්නේ.

fb-like-beg


මොසැක් ෆොන්සේකා සමාගම

මොසැක් ෆොන්සේකා සමාගම ලෝකය පුරා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර වසර 40ක් පමණ වනවා. චීනයේ කාර්යාල 09ක් පමණ ඇති මෙම සමාගමේ තවත් ශාඛා ගණනාවක් ලතින් ඇමරිකාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ස්විට්සර්ලන්තයේ පිහිටුවා තිබෙනවා.

පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව සත්‍ය වශයෙන්ම පිහිටුවා නොමැති සිප්පිකටු සමාගම් (shell companies) පිහිටුවා ඇති බවට සකස් කළ ව්‍යාජ ලේඛන හරහා මොසැක් ෆොන්සේකා සමාගම මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දී ඇති බවටත් බදු වංචා සඳහා සහය දී ඇති බවටත් තමයි චෝදනා නැගෙන්නේ.

නමුත් සමාගම පවසන්නේ තමන්ගෙ සියළු වැඩකටයුතු නීත්‍යානුකූලව සිදුවී ඇති බවයි. ඉහත චෝදනා එය විසින් ප්‍රතික්ෂේප කරනවා.


අන්තර්ජාතික ගවේශණශීලී මාධ්‍යවේදීන්ගේ සංවිධානය (International Consortium of Investigative Journalists – ICIJ)

පැනමා පත්‍රිකා සම්බන්ධව ප්‍රථම වරට තොරතුරු ලොවට හෙළිදරව් කළ Süddeutsche Zeitung (SZ) පුවත්පත ඒවා පිලිබඳ තොරතුරු හුවමාරු කරගෙන තිබුණේ මෙම සංවිධානය සමඟයි.

ISIJ යනු ලොව රටවල් 65කට අධික ප්‍රමාණයක වාසය කරන ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගෙන් සමන්විත වූ සංවිධානයක්. ඔවුන් විසින් ඉහත පුවත්පත සමඟ හුවමාරු කරගෙන ඇති පැනමා පත්‍රිකා හා සම්න්බන්ධ ලේඛන සංඛ්‍යාවට අදාළ දත්තවල ප්‍රමාණය ගිගාබයිට් 2,600ක් පමණ වන බවයි පැවසෙන්නේ. 2010 වසරේ දී විකිලීක්ස් හෙළිදරව්වේ දී අනාවරණය වූ දත්ත ප්‍රමාණය ගිගාබයිට් 1.7ක් පමණක් වන අතර 2015 වසරේ දී ස්විස් එච්.එස්.බී.සී බැංකුවට අදාළ ව හෙළිදරව් වූ දත්ත ප්‍රමාණය ගිගාබයිට් 3.3ක් පමණ වේ.

පැනමා පත්‍රිකා යටතේ විවිධ සමාගම්, පුද්ගලයන්, රාජ්‍ය නොවන සංවිධාන, භාරකාර අරමුදල්,පදනම් ආදී වූ විවිධ ආයතන 214,000ක තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. මේවායේ ඇති ඇතැම් තොරතුරු 1977 වසර තරම් ඈත කාලයට විහිදී යනවා.


සුප්‍රකට පුද්ගලයන්

දැනට බලයේ සිටින සහ බලයෙන් ඉවත් වී සිටින රාජ්‍ය නායකයන් 12 දෙනෙකුගේ තොරතුරු පැනමා පත්‍රිකාවල සඳහන් වනවා. ඊට අමතරව ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ ඥාතීන් සහ දේශපාලනඥයන් 60 දෙනෙකුගේ තොරතුරුත් අනාවරණය වී තිබෙනවා.

ඒ අතර රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ සමීපතමයන්ගේ නම්, චීන ජනාධිපති ෂී ජිං පිං, යුක්රේනයේ ජනාධිපති පෙත්‍රෝ පොරෂෙන්කෝ, බ්‍රිතාන්‍ය අගමැති ඩෙවිඞ් කැමරන් මහතාගේ පියා, පාකිස්ථානයේ ජනාධිපති නවාස් ෂරීෆ් ආදීන්ගේ තොරතුරුත් තිබෙනවා. අයිස්ලන්තයේ අගමැති සිග්මන්දුර් ගුන්ලොග්සන් (Sigmundur Gunnlaugsson) මහතාගේ බිරිඳගේ වත්කම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුණ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අයිස්ලන්ත අගමැතිවරයාට තම තනතුරෙන් ඉල්ලා අස් වන්නත් සිදුවුණා.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ ලේලිය වන බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියානුවන් 500 දෙනකුගේ නම් පැනමා ලිපිගොනුවල ඇතුළත් වන බවයි ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පත වාර්තා කොටතිබුණේ.

දේශපාලනඥයන්ට අමතර ව ලෝක පාපන්දු සම්මේලනයට සම්බන්ධ බොහෝ දෙනෙකුට ද පැනමා පත්‍රිකා ඔස්සේ හෙළිදරව් වූ තොරතුරුවලට අනුව බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

 

SHARE