හුතරයක් ගැහැණු ළමයින්ට තියෙන ගැටළුවක් තමයි තමන් අකමැති පුද්ගලයෙන් ආදරය ඉල්ලගෙන පස්සෙන් එන එක. ඔබ ඒ කෙනාට ඇත්තටම අකමැති නම්, ඒ කෙනාගේ ක්‍රියාකලාපය ඔබට කරදරයක් නම් ඔබට කල හැකි දේවල් කීපයක්ම තියෙනවා. අනුවන විදිහට ප්‍රතිචාර දක්වන්න ගියොත් නම් තියෙන ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙන්නත් පුළුවන්. මේ නිසා අද අපි මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න තීරණය කළා.


fb-like-beg


  • කරුණාවන්තව හැසිරෙන්න

යමෙක් ඔබේ පස්සෙන් එන්නේ ඔබ ගැන ආදරයක් ඇති වුනු නිසා. ඔබ ඒ කෙනාට ආදරේ නැති එක වෙනම කතාවක්. එහෙමයි කියලා ඔබ ඔහුට පිරිසක් ඉදිරියේ බැන වැදුනොත්, අපහස කෙරුවොත් සිදු වෙන්නේ ඔහුගේ හිතේ ඔබ ගැන වෛරයක් ඇති වීම වෙන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවේදීම කරුණාවෙන් වචන හසුරුවන්න උත්සාහ කරන්න.

  • පැහැදිලිව ප්‍රතික්ෂේප කරන්න

“බැහැ” කියා ගන්න ධෛර්යයක් නැතුව වෙන වෙන දේවල් කියන්න ගියොත් ඔබ අලුත් ප්‍රශ්නයක් ඇති කර ගන්නවා වෙන්න පුළුවන්. ඔබේ හිතේ ඔහු ගැන කැමැත්තක් නැත්තම් ඒ බව පැහැදිලිව සහ කාරුණිකව පවසන එක තමයි හොඳම. එහෙම නැතුව “මම ගෙදරින් කියන කෙනෙක්ව තමයි බඳින්නේ, අපි යාළුවො වගේ ඉමු, ඔයාලගේ ගෙදරින් මට අකමැති වෙයි” වගේ කතා කියලා බේරෙන්න හදන එක නම් අසාර්ථක වෙන්න පුළුවන්. මොකද එතකොට ඔබ ඔහුට අකමැති බව නිවැරදිව සන්නිවේදනය වෙන්නේ නැහැ. දෙමව්පියන්ව පස්සේ කැමති කර ගන්න පුළුවන්නේ කියලා හිතාගෙන ඔහු දිගින් දිගටම ඔබේ පස්සෙන් ඒමට මෙය හේතුවක් වේවි. ඒ වගේම ඔබ යාලුකමකට ආරාධනා කලත් ඔබේ අකමැත්ත එයින් සන්නිවේදනය වෙන්නේ නැහැ. ඔබ ඔහුට කැමති නිසා, පස්සේ කැමැත්ත දෙන්න හිතාගෙන දැන් යාලුකමකට ආරාධනා කරනවා කියලා හිතාගෙන ඔහු ඔබව දිගටම ඇසුරු කිරීමේ අවදානමක් තියෙනවා.

  • මඟ අරින්න

ඔබ දන්නවා ඔහු ඔබව හමු වෙන්න එන්නේ කොතනටද, කොයි වෙලාවටද වගේ දේවල්. හැකි තරම් එම ස්ථාන සහ වේලාවන් මඟ හරින්න. ඔහු ඔබව තනිවම කතා කරන්නට කොටු කර ගන්නා බව ඔබ දන්නවා නම්, සෑම විටම මිතුරෙකු සමඟ සිටින්න. ඔහුට ඔබ වෙත ලඟා විය හැකි සෑම දොරටුවක්ම අවහිර කිරීමේ වගකීම ඔබ සතුයි.

  • බලාපොරොත්තු දීමෙන් වලකින්න

පුද්ගලයෙක් ඔබේ පස්සෙන් එනකොට ඔබට තේරෙනවා මේ මොකටද ඔහු එන්නේ කියලා. ඔබ ගැන අනවශ්‍ය ලෙස උනන්දු වෙද්දීත් එය ඔබට දැනෙනවා. ඔහු ඔබට බලෙන් උපකාර කරන්න ආවොත් ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න. ඔහුගේ මිතුරු ඇරයුම් පිලි නොගෙන ඉන්න. ඔහු ඔබේ දුරකථන අංකය ඉල්ලද්දී නොදී සිටින්න. එහෙම නැතුව ඔහුගෙන් සියලු උපකාරත් අරගෙන, ඔහුට ඔබ වෙත ලඟා වීමට හැකි සෑම දොරටුවක්ම ඔබ විසින්ම විවෘත කරලා දීලා අවසානයේදී ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන්න එපා. එවිට ඔහු බලාපොරොත්තු රැසක් ඇති කරගෙන අවසන් වී තිබේවි. ඔබ ගැන ඔහුගේ හිතේ තරහක් ඇති වීමටත්, ඔබ ඔහුට බලාපොරොත්තු දුන්  බව පවසන චෝදනා වලට ගොදුරු වීමටත් ඔබට සිදු වේවි.

  • වැඩිහිටියෙකු දැනුවත් කර තබන්න

සමහර පුද්ගලයන්ට ප්‍රතික්ෂේප වීම් දරා ගන්න හරිම අමාරුයි. ඔබේ ආදරය ඉල්ලමින් පස්සෙන් එන්නේ ඒ වගේ පුද්ගලයෙක් නම් ඔබට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඔහුගේ ඊළඟ ඉලක්කය ඔබෙන් පාලි ගැනීමට උත්සාහ කිරීම වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන් ඔබේ චරිතය ඝාතනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඔබෙන් පාලි ගන්නට උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි අපි ඔබට මුලදීම කිව්වේ හැම විටම කරුණාවන්තව ප්‍රතිචාර දක්වන්න කියලා. කරුණාවන්තව ප්‍රතිචාර දක්වන පුද්ගලයෙක්ට හානියක් කරන්න ගොඩක් දෙනෙක්ට බැහැ. කෙසේ වෙතත් ඔබ ඔබේ පස්සෙන් එන පුද්ගලයා ගැන ඔබේ වැඩිහිටියන්ව සහ මිතුරන්ව දැනුවත් කර තැබීමෙන් ඔබේ ආරක්ෂාව සහතික වේවි.   

 

SHARE