ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙමව්පියන්ව හඳුන්වන්නේ “Toxic Parent” යන වචනයෙනුයි. මේ ගණයට අයත් වන දෙමව්පියන් තුල යම් මානසික ආබාධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ ගණයේ දෙමව්පියන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දරුවන් වැඩිහිටි වියේදී අනිවාර්යයෙන්ම විවිධ මානසික ආබාධ වලට ලක් වන බව කිව්වොත් ඔබ පිලිගන්නවාද? ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය විසින් දරුවාගේ හැඟීම් සහ මනස වෙත දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරනවා. ඉතින් අද අපි goodhousekeeping.lk හරහා ඒ ගැන කතා කරමු.


fb-like-beg

 


8 සෑම දෙයක්ම තීරණය කරන්නේ දෙමව්පියන්

නිවසේ සෑම කුඩා සිද්ධියක් පිළිබඳවම තීරණ ගන්නේ දෙමාපියනුයි. ඔවුන් දරුවාගේ අදහස් සහ යෝජනා සෘජුවම හෙලා දකිනවා. රාත්‍රියට ගන්නා ආහාරය, නිවාඩුව ගත කරන ආකාරය ඇතුළු කිසිම තීරණයක් ගන්න දරුවාට අවසර දෙන්නේ නැහැ. තමාට ඇඳීමට අවශ්‍ය ඇඳුම, තමා හැදෑරීමට කැමති විෂයන්, තමා කැමති විලාසිතාවන් තීරණය කිරීමට දරුවාට මේ නිවෙස් තුල තහනම්. දෙමව්පියන්ගේ තීරණ වලට එකඟ වෙන්නට දරුවන්ට බල කෙරෙනවා.

9 දරුවාගේ අරමුණු වලට අනවශ්‍ය ලෙස හවුල් වීම

මෙහිදී පිටස්තර ලෝකයට පෙනෙන්නේ එම දෙමව්පියන් දරුවාගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට උපකාර කරන බවයි. නමුත් ඇත්තටම එම වර්ගයේ දෙමව්පියන්ගේ අරමුණ වන්නේ දරුවාගේ අරමුණ දරුවාට ඉටු කර ගැනීමට ඉඩ නොදී, එයට මැදිහත් වීමයි. එවිට “මම දෙමව්පියන් නොමැතිව කිසිවක් කර ගත නොහැකි අයෙක්” යන සිතුවිල්ල දරුවාගේ සිතට කා වදිනවා. මෙම සිතුවිල්ල දරුවාගේ මුළු ජිවිත කාලයටම බලපානු ලබනවා.

10 ඔවුන් මුදල් මගින් හෝ වරදකාරී හැඟීම් ඇති කර දරුවාගේ කට වස්සවා තබනවා

යොවුන් වියට පැමිණෙන විට මෙවැනි දැඩි පාලනයකට යටත් වූ දරුවෙකුට තමා අනතුරක සිටින බව යන්තමින් හෝ දැනෙන්නට ගන්නවා. ඔවුන් දෙමව්පියන්ගේ මේ දැඩි පාලනයෙන් මිදීමට ඉතා පුංචිම හෝ උත්සාහයක් දැරුවොත් ඉහත ගණයේ දෙමව්පියන් දරුවාව ප්‍රධාන ක්‍රම දෙකකට පාලනය කරනවා. දරුවාට දරුවා කැමති දේ කිරීමට ඉඩ නොදී, දෙමව්පියන්ට අවශ්‍ය දේ කර ගැනීම වෙනුවෙන් ඔවුන් දරුවාට මුදල් වියදම් කරවනවා. නමුත් දරුවා තමාගේ අයිතීන් වෙනුවෙන් තවදුරටත් නැගී සිටින්නට උත්සාහ කරනවා නම් දෙමව්පියන් දරුවන්ට කල දේවල් මතක් කර දී, දරුවා තුල වරදකාරී හැඟීම් ඇති කරවනවා.

“අපි ඔබ වෙනුවෙන් කොච්චර නම් කැපවීම් කළාද?” එවැනි මව්පියන්ගේ ජනප්‍රියතම වාක්‍යය එයයි. දරුවා තුල වරදකාරී හැඟීම් ඇති කර, දරුවාගේ සිතේ ඇති වන අවශ්‍යතා දරුවා තුලම මිහිදන් කරවනවා.

11 දරුවාව කොන් කරනවා

  නිදහස සෙවීමට උත්සාහ කරන දරුවාව එවැනි දෙමව්පියන් නිර්දය ලෙස පවුල තුල තනි කරනවා. දරුවා සමඟ කතා බහෙන් වැලකි සිටිම, දරුවාව සම්පුර්ණයෙන්ම නොසලකා හැරීම එම කොන් කිරීමට අයත් වෙනවා. එය හඳුන්වන්නේ “Silent Treatment” ලෙසයි. කුඩා දරුවෙකුට එම අත්දැකීම කෙතරම් වේදනාකාරී වෙනවාද කියනවා නම්, එය දරුවාගේ මනසට දැඩි ලෙස හානි කරනවා. මෙහි ඇති ඛේදජනක සිද්ධිය වන්නේ “නිදහස නොදීමේ” වරද ඇත්තේ මව්පියන් අත වූවත්, දඬුවම් විඳීමට වන්නේ “නිදහස සොයන” දරුවාට වීමයි.

12 දරුවාගේ පෞද්ගලිකත්වයේ සීමා මායිම් (Healthy Boundaries)  නොසලකා හැරිම  

සෑම දරුවෙකුටම, විශේෂයෙන්ම යොවුන් දරුවෙකුට තමන්ගේම සීමා මායිම් තිබිය යුතු බව වෛද්‍ය මතයයි.

උදා: දරුවාගේ පෞද්ගලිකත්වයට ඉඩ නොදීම, දරුවාගේ කාමරයට ඇතුළු වීමේදී පෙර දැනුම් දීමක් නොමැතිව ඇතුළු වීම

දරුවාගේ ආරක්ෂාව ගැන වධ වීමක් ලෙස පිටතට පෙනුනත්, එයින් දරුවාගේ මනසට වන්නේ හානියක්. පසුකාලීනව, දරුවා වැඩිහිටියෙක් වූ පසුත් තමා රැකිය යුතු පෞද්ගලික සීමා මායිම් මොනවාද යන්න හඳුනා ගැනීමට මේ දරුවන් අපොහොසත් වෙනවා.

13 දෙමව්පියන්ව සතුටු කිරීම දරුවාගේ වගකීම බව ඒත්තු ගැන්වීම

එම ගණයේ දෙමව්පියන් තමා විසින් සිදු කල දේවල් ගැන නොනවත්වා පවසමින් දරුවාගේ මනස පාලනය කරන්නට පටන් ගන්නවා. දරුවාගේ සතුට වැදගත් නැති බවත්, දෙමව්පියන්ගේ සතුට ඉටු කර දීම තමාගේ වගකීම බවත් විශ්වාස කරන්නට පොළඹවනවා. එම දෙමව්පියන් දරුවාගෙන් යතාර්තයට එහා ගිය ඉල්ලීම් ඉල්ලා සිටිනවා. එය දරුවාට ඇති කරවන මානසික පීඩනය ගැන ඔවුන්ට දැනෙන්නේ නැහැ.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

විෂ සහිත දෙමව්පියන්ගේ ලක්ෂණ 13ක් – 1 කොටස

SHARE