ඉංග්‍රීසි භාෂාවෙන් මේ දෙමව්පියන්ව හඳුන්වන්නේ “Toxic Parent” යන වචනයෙනුයි. මේ ගණයට අයත් වන දෙමව්පියන් තුල යම් මානසික ආබාධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ ගණයේ දෙමව්පියන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දරුවන් වැඩිහිටි වියේදී අනිවාර්යයෙන්ම විවිධ මානසික ආබාධ වලට ලක් වන බව කිව්වොත් ඔබ පිලිගන්නවාද? ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය විසින් දරුවාගේ හැඟීම් සහ මනස වෙත දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරනවා. ඉතින් අද අපි goodhousekeeping.lk හරහා ඒ ගැන කතා කරමු.


fb-like-beg


1 දරුවාට ආදරය සහ ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම

මෙම අනාරක්ෂිත හැඟීම දැනෙන්නේ දරුවාට මිස ඒ දෙමව්පියන්ට නොවේ. දෙමව්පියන්ගේ සිතුවිලි වලට අනුව, ඔවුන් සිතන්නේ දරුවාට ඉතා තදින් සලකන තරමට දරුවාට යහපතක් වන බවයි. නමුත් එයින් දරුවාගේ හැඟීම් වෙත දැඩි අයහපත් බලපෑමක් ඇති වෙනවා. දරුවාගේ පැත්තෙන් මෙය දෙමව්පියන් දරුවාට අවශ්‍ය ආදරය සහ ආරක්ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක්.

2 අධි විවේචනාත්මක චරිතයක් වීම

මෙම දෙමව්පියන් තමන්ගේ දරුවාව අධිකව විවේචනය කරනවා. එදිනෙදා කරන කුඩා රාජකාරි වල පවා වරදක් දකින්නට මෙවැනි මව්පියන් පෙළඹෙනවා.

උදා: දරුවා නිවස අස් නොකලොත් එය විවේචනය කරනවා. නිවස අස් කලොත් බඩු භාණ්ඩ එහා මෙහා කිරීම පිළිබඳව විවේචනය කරනවා.

මෙවැනි දරුවන් වැඩිහිටිවියේදී තමාව තමා විසින්ම දරුණු ලෙස විවේචනය කර ගැනීමට පෙළඹීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස “Borderline Personality Disorder” රෝගයට ගොදුරු වීමත්, සිදු වෙනවා.

3 දරුවාගේ අවධානය, සැලකිල්ල පමණට වඩා බලාපොරොත්තු වීම

මෙවැනි දෙමව්පියන් සාමාන්‍ය දෙමව්පියන් දරුවාගෙන් බලාපොරොත්තු වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය දෙමව්පියන් දරුවාගෙන් සැලකිල්ල බලාපොරොත්තු වුවත්, දරුවාගේ ජීවිතය ස්වාධින කර ගැනීමට දරුවාට ඉඩ දෙනවා. නමුත් ඉහත ගණයේ දෙමව්පියන්ගේ මේ ක්‍රියාව නිසා දරුවාට ස්වාධින වීමට අවස්තාවක් හිමි වන්නේ නැහැ.

4 දරුවා පිළිබඳව “භයානක” විහිලු කරනවා

දෙමව්පියන් සිතන්නේ එය සාමාන්‍ය විහිළුවක් බවයි. නමුත් දරුවාගේ පැත්තෙන් ඇත්තෙන්ම එය “භයානක විහිළුවක්”. දරුවාගේ පෙනුම, උස, මහත, ශරීර අංග වල අඩුපාඩු, දරුවාගේ නොහැකියාවන් නිතර ඉස්මතු කරමින් විහිලුවට ලක් කිරීම මෙවැනි දෙමව්පියන්ගේ තවත් ලක්ෂණයක්. මෙවැනි දරුණු විහිලු වලට ලක් වීමෙන්, එය ඔවුන්ගේ ලපටි මනසට කා වැදී, දරුවා තමා ඉතා අයහපත්/ මෝඩ/ විරූපී අයෙකු බව සිතන්නට පටන් ගන්නවා.

5 දෙමව්පියන් තමා පිළිබඳව කරන විවේචන සත්‍ය බව විශ්වාස කරන්නට දරුවාව පෙළඹවීම

ඇත්තටම ඕනෑම දරුවෙකු අතින් අඩුපාඩු විය හැකියි. ඒවා බරපතල වැරදි නොව, සුරතල් අඩුපාඩුයි. නමුත් මෙවැනි දරුවන් විශ්වාස කරන්නේ එවැනි කුඩා අඩුපාඩු ඇත්තෙන්ම බරපතල අපරාධ ගණයට වැටෙන බවයි. දරුවාව එසේ සිතන්නට පොළඹවන්නේ දෙමව්පියන්මයි. දෙමව්පියන්ගෙන් බැනුම් ඇසීමට සහ පහර කෑමට තමන් සුදුස්සෙක් බව මේ අසරණ දරුවන් විශ්වාස කරනවා.  

උදා : මෙවැනි දරුවන්ට තෝරා ගැනීමට මාවත් දෙකක් තිබෙනවා. තමා පිළිබඳව දෙමව්පියන් කරන විවේචන වැරදි බව අවබෝධ කර ගැනීම හෝ තමා වැරදි බව සිතමින් සියල්ල විඳ දරා ගැනීම. කෙසේ වෙතත් ඔවුන්ගෙන් බහුතරයක් තෝරා ගන්නේ දෙවන මාවතයි. තමා වරදිකාරයෙක් යන සිතුවිල්ලෙන් මිදීමට ඔවුන්ට වැඩිහිටිවිදීවත් හැකි වන්නේ නැහැ.

6 දරුවන්ට තමාගේ සිතේ ඇති සෘණාත්මක හැඟීම් පිට කරන්නට ඉඩ නොදීම

වේදනාව, දුක, බය ආදී හැඟීම් පිට නොකර සිටීමෙන් විශාදය වැනි මානසික රෝග වලට ලක් වන බව ඔබ කවුරුත් දන්නවා. මේ දෙමව්පියන් දරුවන්ගේ සිතේ ඇති එවැනි හැඟීම් පිට කරන්නට ඉඩ දෙන්නේ නැහැ. දරුවාගේ මානසික අවශ්‍යතා මෙවැනි මව්පියන් දරුණු ලෙස හෙලා දකිනවා. දඬුවම් විඳීමට ඇති බිය නිසාම, දරුවා සියලු වේදනාබර සහ බියජනක සිතුවිලි තමා තුලම සඟවා ගන්නට පුරුදු වෙනවා. මෙවැනි දරුවන් වැඩිහිටිවියට පත් වූ පසු, තමාට අවශ්‍ය සාධාරණ දේවල් සමාජයෙන් ඉල්ලා සිටීමට දැඩි ලෙස බියක් දක්වනවා. මේ නිසා ඔවුන් නිතරම සමාජයේ අසාධාරණයට ගොදුරු වෙනවා.

7 ඔවුන් තමන්ගේ වැඩිමහලු දරුවන්ව පවා බිය කරගෙන සිටීම

වැඩිහිටි දරුවෙකුට තනිවම ජිවිතයට මුහුණ දීමට, තැනට සුදුසු ලෙස තීරණ ගැනීමට නිදහස ලබා දිය යුතුයි. නමුත් මෙවැනි දෙමව්පියන් තමන්ගේ වැඩිමහලු දරුවන්ව පවා දැඩි ලෙස හික්මවා ගැනීම සඳහා ඔවුන්ව බියපත් කරවනවා.

උදා: දරුවා යන එන තැන්, හැසිරීම් රටාව තමාට ඕනෑ ලෙස පාලනය කර ගැනීම. ඒ වෙනුවෙන් ඔවුන් මොහොතින් මොහොත තම වැඩිමහලු දරුවාට දුරකථන ඇමතුම් ලබා දෙමින් තමාට අවශ්‍ය පරිදි සියල්ල සිදු වෙනවාදැයි සොයා බලයි.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න –

විෂ සහිත දෙමව්පියන්ගේ ලක්ෂණ 13ක් – 2 කොටස

 

SHARE