දරුවන් ඉදිරියේ නොකළ යුතු දේවල් අටක්

රුවන්ගේ අනාගතය නිර්මාණය කරන්නේ දෙමව්පියන්. වෙනත් විදිහකට කිව්වොත් දරුවන් ජීවිතය ඉගෙන ගන්නේ දෙමාපියන් දිහා බලාගෙන. ඔවුන් ආදර්ශ ලබා ගන්නේ දෙමව්පියන් ජීවත් වන ක්‍රමය දිහා බලාගෙන. ඒ නිසා දරුවන් ඉදිරියේ ආදර්ශමත් දෙමව්පියන් වීම ගොඩාක් වැදගත්. ඒ නිසා අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා දරුවන් ඉදිරියේ දෙමව්පියන් නොකළ යුතු දේවල් ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.


fb-like-beg


01. දරුවන් ඉදිරියේ බිරිඳට හෝ සැමියාට අපහාස කරන්න එපා

ඒ ඔබේ සහකරු. නමුත් ඒ දරුවන්ගේ මව හෝ පියා. දරුවන් තමන්ගේ දෙමව්පියන්ට ගෞරව කරනවා. ඒත් ඔබ දෙදෙනා එකිනෙකාට නින්දා අපහාස කර ගැනීමෙන් දරුවන්ගේ සිතේ ඔබ දෙදෙනා ගැන ඇති ගෞරවය විනාශ වෙනවා.

ඒ වගේම එය ඔබේ දරුවාගේ විනය රැක ගැනීමටත් බාධාවක් වෙනවා. ඔබ දෙදෙනාගේ වැරදි දරුවන් ඉදිරියේ විවේචනය කර ගනිමින් අපහාසයට ලක් කළ විට, ඔබ දෙදෙනා දෙන අවවාද නොසලකා හැරීමට දරුවන් හුරු වේවි.


02. දරුවන් ඉදිරියේ ලිංගික ක්‍රියා වල නිරත වෙන්න එපා.

කිසිත් නොදත් දරුවන් එයින් නොසන්සුන්තාවයට පත් විය හැකියි. ඔවුන් දුටු දේවල් අත්හදා බැලීමටත්, ඒ ගැන සෙවීමටත් පටන් ගනීවි. ඔවුන්ගේ නිසි වයසට පෙර ඒ ගැන උනන්දුවක් ඇති වීමෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල විය හැකියි. ඇතැම් විට දරුවන් බියට පත් වන්නටත් ඉඩ තියෙනවා.


03. දරුවන් ඉදිරියේ තමන්ගේ දෙමව්පියන්ට බනින්න එපා.

දරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ ආච්චිට සීයට ගොඩාක් කිට්ටු වෙනවා. ඔබ ඔවුන්ට දරුවන් ඉදිරියේ බැන වැදීමෙන් දරුවන්ට ඔබ ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ගේ සිතේ වැඩිහිටියන් ගැන තිබෙන ගෞරවය නැති වෙලා යන්නත් පුළුවන්. ඔබ දරුවන්ට වැඩිහිටියන්ට ගරු කිරීමට අවවාද දුන්නට ඔවුන් එය පිළිපදින එකක් නැහැ. ඔබේ දරුවනුත් වැඩිහිටියන් සමඟ රණ්ඩු දබර කරන්නට පුරුදු වේවි.


04. දරුවන් ඉදිරියේ තමන්ගේ දෙමව්පියන්ට බනින්න එපා.

ගොඩක් දෙමව්පියෝ තමන්ගේ නෑදෑයන්ගේ, අසල්වාසීන්ගේ වැරදි අඩුපාඩු ගැන නිවසේදී සාකච්චා කරනවා. දරුවන්ට මේ දේවල් ඇහෙන එක සුදුසු නැහැ. දරුවනුත් අනිත් අයව විවේචනය කරන්න ඔබෙන් ඉගෙන ගනීවි.

ඒ වගේම දරුවන් රහස් රකින්න දන්නේ නැහැ. ඔබ නිවසේදී කතා වෙන අනුන්ගේ දෙයක් දරුවා තවත් තැනක කිව්වොත්, ඔබේ හිතවතුන් ඔබට අහිමි වෙන්න පවා ඉඩ තියෙනවා.

අනුන්ගේ වැරදි ගැන කියවන දරුවන්ට කවුරුවත් ආදරය කරන්නේ නැහැ. ඔබේ වැරදි ආදර්ශය නිසා, ඔවුන් පුංචි අවදියේම අසල්වාසීන්ගේ සහ නෑදයන්ගේ නොරිස්සුමට ලක් වේවි.


05. දරුවන් ලවා මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි ගෙන්වා ගන්න එපා.

කුස්සියේ බඩු ඉවර වුණාම අම්මලා දරුවාව ළඟ තියෙන කඩේකට යවලා බඩු ගෙන්න ගන්නවා වගේ, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ගෙන්වා ගන්න එපා. ඒක පොඩි දරුවෙක්ට සුදුසු දෙයක් නෙවෙයි. දරුවාට මත්ද්‍රව්‍ය සහ දුම්වැටි මිලදී ගැනීම හුරු කරවන්න එපා. ඒ මඟින් ඔබේ දරුවාත් ඒ දේවල් වලට ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා.


06. දරුවන් සමඟ මෙගා ටෙලි නාට්‍ය නරඹන්න එපා.

බොලඳ මෙගා ටෙලි නාට්‍ය පෙනුමෙන් ආකර්ශනීය නිසා දරුවන් ඒවාට ඇබ්බැහි වෙනවා. ඒත් ඒවායේ තියෙන පවුල් ආරවුල්, පලි ගැනීම්, රණ්ඩු දබර දරුවන්ගේ මනසට දෙන්නේ වැරදි පණිවිඩයි. ඒ කතා වලට ඇබ්බැහි වුණාම දරුවන්ගේ පාඩම් වැඩ කටයුතු පවා අතපසු වෙනවා. විභාගයක් වෙනුවෙන්වත් ටෙලි නාට්‍යය නරඹන්නේ නැතුව ඉන්න දරුවන්ට බැරි වෙනවා


07. දරුවන්ට අපහාස කරන්න එපා.

හුඟක් දෙමාපියෝ දරුවන්ගේ අධ්‍යාපන හැකියාව, හැසිරීම දරුණු විදිහට විවේචනය කරනවා. ඔවුන් පොඩි දරුවන් කියලාවත් හිතන්නේ නැතිව “බූරුවා, කාලකන්නියා” වගේ වචන කියලා බනිනවා. මේ වගේ නින්දා අපහාස දරා ගන්න දරුවන්ගේ පුංචි මනසට බැහැ. දරුවන් මානසිකව ඇද වැටෙන්නට මව්පියන්ගේ මේ හැසිරීම ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ වචන කියලා අපහාස කරපුවම දරුවාට ඉගෙන ගන්න හැකියාව ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවා නම් ඒක විහිළුවක්.


08. දරුවන් ඉදිරියේ ඔබේ සේවකයන්ට, දුප්පතුන්ට බැන වදින්න එපා

දරුවන්ට පෙනෙන්නට ඔබ අනිත් අයව පහළ මට්ටමකට ඇදලා දාන්න එපා. ගෙදර වැඩ කරන්න එන කුලී කරුවාට වුණත් මනුස්සකමින් සලකන්න දරුවාව හුරු කරවන්න. ඔබව ආදර්ශයට ගෙන දරුවා තමන්ගේ මිල මුදල් සහ තත්වය ගැන ආඩම්බර වෙන්න පටන් ගත්තොත් ඒක දරුවාගේ චර්යාවට අයපත් ලෙස බලපාවි.

SHARE