පෙ

ම්වතියකගේ සහ පෙම්වතෙකුගේ රාජකාරීන් එකිනෙකට වෙනස් වෙනවා. ඕනෑම පෙම්වතියකට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රේම සබඳතාවය තුල ප්‍රීතිමත්ව ජිවත් වීමයි. ඉතින් සමහර පෙම්වතියන් ආදරයේ නාමයෙන් සමහර දේවල් කරන්න ගිහින් මේ ප්‍රීතිමත් භාවය අහිමි කර ගන්නවා. අද අපි කතා කරන්නේ මේ පිළිබඳවයි.

 


fb-like-beg


 

1 පෙම්වතාගේ ප්‍රශ්න විසඳන්නට යාම

පෙම්වතියකගේ රාජකාරිය වන්නේ පෙම්වතාගේ ප්‍රශ්න වලදී ඔහුගේ ශක්තිය වී හිඳීමයි. ප්‍රශ්නයට පිළිතුරක් සේ ඔබට හැඟෙන අදහස් කිව්වාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව පෙම්වතාගේ ප්‍රශ්න වලට අත දාලා ඒවා විසඳලා දෙන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. පෙම්වතාට ඔහුගේ ප්‍රශ්න විසඳා ගන්නට ඔබ ඉඩ හැරිය යුතුයි. උදාහරණ ලෙස පෙම්වතාට යම් මුල්‍ය ගැටළුවක් පැන නැඟුනා යැයි සිතන්න. ඔබ මැදිහත් වී ඔහුගේ මුදල් ගැටළු විසඳන්නට යාමෙන් තවත් ගැටළු දෙකක් පැන නැඟිය හැකියි.

ප්‍රථම ගැටලුව වන්නේ ඔබේ පෙම්වතාට හීනමානයක් දැනෙන්නට පටන් ගැනීමයි. බහුතරයක් පිරිමින් කාන්තාවක් තමන්ගේ ගැටළු විසඳන විට නොරිස්සුම් සහගත වෙනවා. නමුත් එයින් තමාගේ ගැටලුව විසඳෙන නිසා ඊට විරුද්ධත්වය පල කරන්නෙත් නැහැ.

දෙවන ගැටලුව නම් තමන් විසින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නවාට වඩා තවකෙකු අතින් එය විසඳෙන එක පහසුවක් නිසා පෙම්වතා එයට හුරු වීමයි. දිගින් දිගටම කාන්තාවකගෙන් යැපෙන පිරිමියෙකු බිහි වීමේ මුල එතන විය හැකියි.

 

2 ඔහුට මිල අධික ත්‍යාග ලබා දීම

සමහර පෙම්වතියන් පෙළඹෙනවා තමන්ගේ පෙම්වතාට මිල අධික තෑගී ලබා දෙන්න. ඒත් ඔහුට එතරම් මිල අධික තෑගී තමන්ගේ පෙම්වතියට ලබා දෙන්න හැකියාවක් නැත්නම් ඔහු දුර්මුඛ වෙනවා. ඔහුට ඔහු ගැන සහ ප්‍රේම සබඳතාවය ගැන කලකිරීමක් ඇති වෙන්නත් මෙය හේතු වෙනවා.

මේ නිසා දෙදෙනා අතර නිතරම හුවමාරු විය යුත්තේ සමාන වටිනාකමකින් යුතු ත්‍යාගයි. විශේෂයෙන්ම කාන්තාව පුරුෂයාට ත්‍යාග ලබා දෙද්දී මේ කරුණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්නම ඕනේ.

අනිත් ප්‍රශ්නේ තමයි මේ පෙම්වතා කපටි පුද්ගලයෙක් නම් ඔහුගේ නියම ස්වරූපය පෙම්වතියට කවදාවත් හඳුනා ගන්න අවස්ථාවකුත් ලැබෙන්නේ නැහැ. මොකද එවන් පෙම්වතුන් තමන්ගේ පෙම්වතියට ආදරේ නොකලත්, පෙම්වතියගෙන් ලැබෙන ත්‍යාග වෙනුවෙන් ඇයට බොරු ආදරයක් පෙන්වමින් ඇය සමීපයේ රැඳී සිටින්න පුළුවන්.

 

3 පෙම්වතාට අනුකම්පා කිරීම

පෙම්වතාගේ ප්‍රශ්න වලදී, පෙම්වතාගේ දුකේදී ඔබ ඔහුට අනුකම්පා කරන බව පෙන්වන්න ගියොත් නම් වැඩේ වරදිනවා. ගැහැණු පාර්ශවය තමන්ට අනුකම්පා කරන පෙම්වතුන්ට කැමති වුනත්, පිරිමි පාර්ශවය නම් එහෙම නැහැ. තමන්ගේ පෙම්වතිය තමන්ට අනුකම්පා කරන බව දැනෙද්දී ඔහුගේ යටි සිතෙන් ඔහුට දැනෙන්නේ මදි පුංචි කමක්.

නැණවත් පෙම්වතියන් නම් තමන්ගේ පෙම්වතාට අනුකම්පා කරන්න යන්නේ නැහැ. ඔවුන් කරන්නේ පෙම්වතාව වචනයෙන් සහ ක්‍රියාවෙන් ධෛර්යමත් කිරීම, අනුබල දීම වගේ දේවල්.

 

4 පෙම්වතාව පාලනය කරන්නට යාම

පෙම්වතා කල යුතු දේවල් ගැන කියමින් පෙම්වතාට බලපෑම් කිරීම ඇතැම් පෙම්වතියන්ගේ ගැටළුවක්. සමහර විට පෙම්වතිය කියන දේ හරි වෙන්න ඇති. ඒත් පිරිමි කැමති නැහැ ඔවුන්ට සෘජුව බලපෑම් එල්ල කරනවාට. කාන්තාවකට පුළුවන් තමන්ගේ අදහස් උපක්‍රමශීලි විදිහට ඔහුට කියන්න.

“අපි මෙහෙම ට්‍රයි කරලත් බලමුද?” වගේ වචන වලින් පෙම්වතාට ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.

 

5 පෙම්වතා වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ රැකියාව අතහැර දැමීම

විවාහ වීම කියන්නේ කාන්තාවකට තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ රැකියාව අත් හැර දැමීමට සිදු වන තත්වයක් නම් එය ගොඩක් භයානකයි. තමන්ගේ හැම දේම අත ඇරලා පවුල වෙනුවෙන් සම්පුර්ණයෙන්ම කැප වෙන්න ගිය කාන්තාවන්ගේ පවුල් ජිවිතයේ ගැටළු ඇති වීමට වැඩි ඉඩක් පවතින බවත්, ඔවුන් විවිධ මානසික ආතතීන්ට ගොදුරු වන බවත් සොයා ගෙන තිබෙනවා.

තමන්ගේ මිතුරුකම්, රැකියාව අත හැර දැමු ගැහැනියකට තියෙන එකම බැඳීම තම පෙම්වතා/ සැමියා පමණයි. නමුත් ඔහුට ඔහුගේම පෞද්ගලික ජිවිතයක්, මිතුරුකම්, රැකියා ජිවිතයක් තිබෙන නිසා බිරිඳ වෙනුවෙන් වෙන් කරන්නට කාලය ඉතිරි වන්නේ හරි අඩුවෙන්. එම කාලය වෙන් කිරීමේ නොගැලපීම නිසා දෙදෙනා අතර ගැටළු ඇති වෙනවා.

 

6 තමන්ගේ කැමැත්ත වෙනස් කර ගැනීම

සමහර පෙම්වතියන් තමන්ගේ ඇඳුමේ පැළඳුමේ ඉඳලා තමන්ගේ පෙම්වතාට ඕනේ විදිහට වෙනස් කර ගන්නවා. ඒත් එයින් හානි වෙන්නේ පෙම්වතියටමයි. ඔබේ නියම ස්වභාවයට කැමති කෙනෙක් ඔබට ලැබීමේ අවස්තාව ඉන් ඔබට අහිමි වෙනවා. උපතේ සිට ඔබ ළඟ තිබුණු පුරුදු, කැමති දේවල් වෙනත් අයෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට ඔබට සිදු වෙනවා.

SHARE