ශාරීරික දඬුවම් දෙන බහුතරයක් මව්පියන් ඒ පිට කරන්නේ තමන්ගේ හදිසි ආවේගයයි. තමන්ගේ සිතේ නැඟෙන ආවේගයන් පිට කිරීමට දරුවාට පහර දීම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. එමඟින් දරුවාව හික්මවීමට දරණ උත්සාහය සෘණාත්මක උත්සාහයක් ලෙස දැක්විය හැකියි. මන්දයත් ශාරීරික දඬුවම් නිසා දරුවාගේ හැඟීම් වලට සහ ශාරීරියට හානි සිදු විය හැකි බැවිනි. ඉතින් ශාරීරික දඬුවම් ක්‍රම වෙනුවට නිර්දේශ කර ඇති වෙනත් දඬුවම් ක්‍රම ගැන ලිපියක් ඉදිරිපත් කරන්න goodhousekeeping.lk වෙබ් අඩවිය මඟින් තීරණය කළා.


fb-like-beg


1 පසෙකට කර තැබීම

දරුවන් පවුලේ සාමාජිකයන් සමඟ එකට සිටීමටයි වඩාත් කැමති. දරුවා තමන්ගේ සහෝදරයෙකුට පහර දීම, අකිකරු වීම වැනි අවස්ථාවකදී මේ දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔබ සිටින කාමරයේම කොනක පුටුවක දරුවාව වාදී කර තබන්න ඔබට පුළුවන්. කාමරයේ කොනකට වී සිටීමේදී දෙමව්පියන්ගේ අවධානය ලැබෙන්නේ අඩුවෙන් නිසා දරුවන් එසේ සිටීමට කැමති වන්නේ නැහැ. එම නිසා ඊළඟ අවස්ථාවේදී වැරදි නොකර සිටීමට දරුවා උත්සාහ කරාවි. ඒ වගේම පසෙකට වී සිටීමේදී තමන් කල වරද ගැන නිසියාකාරව අවබෝධ කර ගැනීමේ අවස්ථාවත් දරුවාට හිමි වෙනවා.

සැයු: මෙහිදී දෙමව්පියන් හෝ අනෙක් දරුවන් විසින් උසුළු විසුළු කිරීම නොකළ යුතුයි.

2 දරුවා කැමති දේවල් ඉවත් කිරීම

දරුවන්ට පනවා ඇති නීති යම් දරුවෙකු විසින් කඩ කරන අවස්ථාවකදී මව්පියන්ට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. පාඩම් කල යුතු අවස්ථාවේදී, පාඩම් නොකර හොරෙන් ටීවී බලන/ වීඩියෝ ගේම් ප්ලේ කරන දරුවෙකුට ටීවී බැලීම හෝ වීඩියෝ ප්ලේ කිරීම දවසකට තහනම් කරන්න පුළුවන්. ක්‍රීඩා කර අවසන් කර ක්‍රීඩා භාණ්ඩ නැවත තිබු තැනින් නොතබන දරුවෙකුට, ඊළඟ දිනයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩා භාණ්ඩ ලබා නොදී ඉන්න පුළුවන්. පැය 24කට වඩා එවැනි දේ තහනම් කිරීම සුදුසු නැහැ.

3 දරුවා වැරදි ලෙස හැසිරෙන විට නොසලකා හැරීම

සමහර දරුවන් මව්පියන්ගේ අවධානය දිනා ගැනීමට හිතා මතාම වැරදි ලෙස හැසිරෙනවා. බොරුවට හඬා වැටෙනවා. තව සමහර දරුවන් යමක් ඉල්ලද්දී ආචාරශීලි ලෙස වචන හසුරුවන්නේ නැහැ. ඇතැම් දරුවන් මව්පියන්ට තමන්ගේ කොපාවින්ත හැඟීම් ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරනවා. මේ වගේ අවස්ථා වලදී දෙමව්පියන්ට පුළුවන් දරුවාව නොසලකා හරින්න. දරුවා වැරදි හැසිරීම නවත්තලා, ආචාරශීලි විදිහට ඔබට කථා කරද්දී ඔබට පුළුවන් දරුවාට නැවත ආදරයෙන් පිළිතුරු දෙන්න. එවිට ඔබ පිළිතුරු දෙන්නේ, ඔබේ ආදරය හිමි වන්නේ තමා ආචාරශීලි ලෙස හැසිරෙන අවස්තාවලදී පමණක් බව දරුවා වටහා ගන්නවා.

4 ඉගැන්වීමේ අවස්තාවක් කර ගන්න

සමහර දරුවෝ වැරදි කරන්නේ නොදන්නා කමටයි. ඔවුන්ට වැඩිහිටියන්ට වගේ හැඟීම් පාලනය කර ගන්න, දුර දිග හිතලා වැඩ කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් දරුවෙක් දුර දිග නොබලා යමක් සිදු කල විට, දෙමව්පියන්ට පුළුවන් දරුවාව කැඳවලා අවවාද කරන්න. ඒ වගේ වරදක් කලාම සිදු වෙන හානි ගැන, හැඟීම් පාලනය කර ගත යුතු ආකාරය ගැන දරුවාට වටහලා දෙන්න එය අවස්තාවක් කර ගන්න පුළුවන්.

5 ස්වභාවික ප්‍රතිවිපාක නොවැලැක්වීම

දරුවා කරන වැරදි වල ස්වභාවික ප්‍රතිඵල ලැබෙන්නට ඉඩ දෙන්න. දරුවාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඔබ ඒවාට මැදිහත් වෙන්න එපා. රාත්‍රී ආහාර වේල වර්ජනය කරන දරුවෙකුට රාත්‍රියේදී බඩගිනි ඇති වීම දෙමව්පියන්ට වලක්වන්න බැහැ. එක් දිනක් බඩගිනි ඇති වීමේ අත්දැකීම නිසා දරුවා ඊළඟ දවසේ රාත්‍රී ආහාර වේල වර්ජනය කරන්නේ නැහැ. එහෙම නැතුව “අනේ පුතා රෑට කෑවේ නැහැනේ” කියලා දරුවා නින්දට යාමට පෙර කිරි වීදුරුවක් ලබා දීම නෙවෙයි විසඳුම. දරුවා කෝප ගත් විට යම් ක්‍රීඩා භාණ්ඩයක් එලියට විසි කළා නම්, දෙමව්පියන් එය නොසලකා හරිය යුතුයි. එක්කෝ කෝපය පහ වුනු විට දරුවාම එය ගනීවි. නැති නම් අව්වට හෝ වැස්සට හසු වීම නිසා ක්‍රීඩා භාණ්ඩය ක්‍රියා විරහිත වේවි. එවිට දරුවා නැවත එවැනි දේ නොකළ යුතු බව තමන් විසින්ම වටහා ගනු ඇත.

 

          

SHARE