ගොඩක් දෙමව්පියන් දරුවාට තමන්ගේ ආදරය පෙන්වන්නේ ඔවුන් වෙනුවෙන් හැම දේම ඉටු කරලා දීලයි. ඒත් ඔවුන් දන්නේ නැහැ දෙමව්පියන් දරුවා වෙනුවෙන් හැම දේම තීරණය කරන ක්‍රියාවට දරුවා කෙතරම් අකමැතිද කියලා. ඒ වගේම තමයි එයින් දරුවාගේ තීරණ ගැනීමේ ශක්තියටත් හානි වෙනවා. ඇතැම්විට එය දරුවාට මානසික පීඩාවක් පවා ගෙන දිය හැකියි. ඔබ දරුවාට ආදරෙයි නම් දරුවාට ස්වාධින වන්නට ඉඩ දෙන්න. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.


fb-like-beg

 


1 දරුවා කතා කල යුතු අවස්ථාවේදී මව්පියන් කතා කිරීම

එදිනෙදා ජීවිතයේදී දරුවාට කතා කිරීමට අවස්ථා පැමිණෙනවා. දරුවාට හඬක් නඟන්නට නොදී දෙමව්පියන් ඔවුන් වෙනුවට හඬ අවදි කරනවා නම්, එය දරුවාගේ ස්වාධීනත්වය අහිමි කිරීමක්. උදාහරණ ලෙස කවුරුන් හෝ දරුවාගේ නම, වයස අසන විට දරුවාට පිළිතුරු ලබා දෙන්නට ඉඩ දෙන්න. වෛද්‍යවරයෙක් ලඟට ගිය විට දරුවාගේ රෝගී තත්වය ගැන පවසන්නට දරුවාට ඉඩ දෙන්න. දරුවා කතා කිරීමෙන් අනතුරුව, දරුවා පැවසු දෙයෙහි අඩුවක් තිබෙනවා නම් ඔබ එය පවසන්න.

2 දරුවාට මිතුරු ඇසුරට ඉඩ දෙන්න.

ඇතැම් දෙමව්පියන් දරුවාට මිතුරන් ඇසුරු කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් දරුවාගේ ළඟම මිතුරා වීමට උත්සාහ දරනවා. දරුවාට සම වයසේ මිතුරන් ඇසුරු කරන්නට නිදහස දෙන්න. ඇතැම් දෙමව්පියන් දරුවා යන විනෝද චාරිකා, උත්සව අවස්තාවන් ආදී සෑම දෙයටම සහභාගී වෙනවා. දරුවාව අසීමිත ලෙස ආරක්ෂා කිරීම පිණිස සෑම අවස්ථාවකදීම ඔහු/ ඇය පසුපස යන්න එපා. එය බොහෝ විට දරුවාට කරදරයක් වෙනවා. එමෙන්ම දරුවා මිතුරන් අතරේ කොන් වීමටත් එය හේතුවක් වේවි.

3 දරුවාගේ සුළු වැඩ කටයුතු වලට මැදිහත් වීම

දරුවා නිසි වයසට පැමිණි පසු තනිව ඇඳුම් ඇඳීමට, ඒවා සේදීමට, කාමරය පිරිසිඳු කර ගැනීමට, තනිව ආහාර ලබා ගැනීමට, තමන්ගේ කෝප්පය සහ පිඟාන සේදීමට ඉඩ දෙන්න. ඔබ ඒ සියලු දේ ඉටු කර දීමෙන් සිදු වන්නේ අයහපතක්. දරුවාට එය කරදරයක් සේ දැනිමටත්, දරුවා කිසිත් තනිවම කර ගත නොහැකි පුද්ගලයෙකු බවට පත් වීමටත් මෙය හේතුවක් වෙනවා.

4 ඔවුන්ගේ කැමැත්ත තීරණය කිරීම

මව්පියන් පැහැදිලිවම වටහා ගත යුතු දෙයක් තමයි දරුවා යනු වෙනම පුද්ගලයෙකු බව. ඉතින් දරුවාගේ කැමැත්ත සහ මව්පියන්ගේ කැමැත්ත එකිනෙකට වෙනස් වෙනවා. දරුවා කැමති දේවල්. දරුවා කල යුතු විනෝදාංශ මව්පියන් තීරණය කිරීමෙන් වැලකි සිටිය යුතුයි. දරුවා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනවා නම්, ඔබ දරුවාව බලෙන් චිත්‍ර පන්ති වලට ඇතුළු කිරීමෙන් වලකින්න. දරුවා සංගීත සංදර්ශන වලට සහභාගී වීමට කැමති නැති නම්, ඔවුන්ව බලෙන් සංගීත සංදර්ශන නැරඹීමට රැගෙන යන්න එපා. දරුවන් ප්‍රිය කරන දේවල් අපහසයට ලක් කරමින්, ඊට වඩා තමා පවසන දෙය වැදගත් බව පවසන දෙමව්පියන් ඉන්නවා. එය දරුවන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට කරන හානියක්.

5 දරුවාට අවශ්‍ය ත්‍යාග තීරණය කරන්නට දරුවාට ඉඩ දෙන්න

ඔබ දරුවාට ලබා දෙන ත්‍යාග ඔබේ කැමැත්තට රැගෙන දෙනවාට වඩා, දරුවාගේ කැමැත්තට ගැලපෙන්නට අරගෙන දීම වැදගත්. ත්‍යාගයක් ලබා දීමෙන් ඔබට අවශ්‍ය වන්නේ දරුවාව සතුටු කිරීමට නොවේද? ඉතින් දරුවාට දරුවා අකමැති, ඔබ කැමති ත්‍යාගයක් බලෙන් රැගෙන දීමේ අර්ථයක් නැහැ. ඒ වගේම තමයි සමහර අවස්ථා වලදී ඥාතියෙකු දරුවාට යමක් ලබා දීමේ අපේක්ෂාවෙන් දරුවාගෙන් කැමති දෑ විමසන අවස්ථාත් පවතිනවා. ඇතැම් දෙමව්පියන් එවැනි අවස්තාවකදීත් එයට මැදිහත් වෙනවා. දරුවා කැමති ත්‍යාගය පිළිබඳව දරුවාට අදහස් පළ කරන්නට ඉඩ නොදී, දරුවාට හොඳ යැයි දෙමව්පියන් සිතනා ත්‍යාගය පිළිබඳව ඥාතීන්ට පවසනවා.

6 දරුවාගේ මුදල් පසුම්බියේ ඇති මුදල් ගණන් කරන්නට යන්න එපා

දරුවා කරන වියදම් අරපරිස්සමෙන් කිරීම සඳහා දරුවාව පුහුණු කරවන නිවැරදි ක්‍රමය ඔහුගේ පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණය ගණන් කරමින්, ඔහුගේ වියදම් ගැන විමසමින් දරුවාට බැන වැදීම නොවේ. දරුවාට දිනකට ලබා දෙන මුදල් ප්‍රමාණයේ වෙනසක් නොකරන්න. එවිට දරුවා තමාට ලැබෙන මුදලට ගැලපෙන්නට වියදම් කිරීමට ඉබේටම හුරු වෙනවා. දරුවාගේ වියදම් ගැන විමසමින් බැන වැදීමෙන් ඔබ කරන්නේ දරුවාට දරුවා කැමති දේවල් මිලදී ගැනීමට ඇති අයිතියට බාධා කිරීමයි. දරුවාගේ ප්‍රමුඛතා හඳුනා ගැනීමේ අවස්තාව දරුවාටම ලබා දීම හොඳ මව්පියන්ගේ ලක්ෂණයක්.    

SHARE