නේ අපේ ළමයා හරිම මුරණ්ඩුයි. කියන කිසි දෙයක් අහන්නේ නෑ” මේ කුඩා දරුවන් සිටින බොහෝ දෙමව්පියන්ගෙන් අසන්නට ලැබෙන මැසිවිල්ලක්. දරුවාට ශාරීරික දඬුවම් දීම මගින් ඔවුන්ගේ මුරණ්ඩුකම් ‘මට්ටු’ කළ හැකියැයි වැඩිහිටියන් සිතනවා. නමුත් එය සත්‍යයක් නෙවෙයි. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මුරණ්ඩු ගති පැවතුම් ඇති දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැනයි.

fb-like-beg


දරුවාට සවන් දෙන්න

දන්නවාද? දරුවන් බොහෝවිට මුරණ්ඩු වන්නේ ඔබේ අවධානය අවශ්‍ය තරමට නොලැබුණ විටයි. අම්මා, තාත්තා පමණක් නෙමෙයි වැඩිහිටි අක්කා, අයියා පවා ඔවුන් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වනවා නම් ඔවුන් දඩබ්බර වෙනවා. දරුවන් කියන්නේ නිතර තමන් කෙරෙහි විශේෂ අවධානයක් දිනාගැනීමට කැමති පිරිසක්. අවධානය කියන්නේ “ඕක කන්න එපා,” “මෙතනින් වාඩිවෙන්න,” “මේ කෑම කන්න,” වගේ විධාන දෙන එකට නෙමෙයි. දරුවා කෙරෙහි විශේෂත්වයක් ලබා දෙන්න. නිතර දරුවා කරන කියන දේවල් වල දොස්ම දකිනවා වෙනුවට දරුවාගේ සිතුම් පැතුම් තේරුම්ගන්න උත්සාහ ගන්න. දරුවන් තමන්ට අවශ්‍ය දේ හැමවිටම ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාව වැඩිහිටි අපට දැනෙන්න ඕනේ.

උදාහරණයක් විදියට කොයිතරම්ම එපා කිව්වත් ගිරිය යටින් කෑගහන දරුවකු ගැන හිතන්න. ඒ හැම වෙලාවෙම අපි මොකද කළේ? “කෑගහන්න එපා,” “කට වහනවා” කියලා දරුවට නීති දැම්ම එක විතරයි නේද? දරුවා කෑගහන්නේ ඇයි කියලා දැනගන්න කාටවත් අවශ්‍යවුනේ නෑ. මුලින්ම දරුවට සවන්දෙන්න.


දරුවාට ඇත්ත කියන්න

පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට ඇත්ත කියන්න පුරුදුවෙන්න. උපන්දා සිටම බොරු කියමින් ඔබ ඔබේ දරුවා කොයිතරම් බොරුවෙන් රවටා ඇත්ද? දන්නවද මෙවැනි රැවටීම් සම්බන්ධයෙන් කල් යත්ම හොඳ අවබෝධයක් ලබාන දරුවා පසුව ඇත්තක් කිව්වද නොපිළිගන්නා තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ දරුවන් දෙමව්පියන්ව ගණන් නොගන්නා තත්වයට පත්වෙනවා. මේක හරිම භයානක තත්වයක්. අවශ්‍යම මොහොතකදීවත් දරුවාව තමන්ගේ බසට අවනත කරගැනීමට මේ නිසා නොහැකිවෙනවා. ආදරය කියන්නේ එකිනෙකාට ගෞරව කිරීමක්. දරුවන් පුංචියි කියලා අවතක්සේරු කරන්න බැහැ. ගෞරවය කියනදේ ඒ පුංචි හිත් වලටත් දැනෙනවා. බොරුවක් කියනවා කියන්නේම දරුවා අවතක්සේරුවට ලක් කිරීමක්. මේ නිසා දරුවන් මුරණ්ඩු වෙනවා පමණක් නෙමෙයි ඔවුන් නිවසට වඩා බාහිර සමාජය විශ්වාස කරන්න පෙළඹෙනවා. දරුවා සහ පවුලේ සමාජිකයන් අතර ඇතිවන විශ්වාසය පළුදු වීමට ඉඩ නොතැබීම කීකරු දරුවන් ගොඩනැගීමේ මූලිකම පියවර අතුරින් එකක්.


දරුවාට වගකීම් දෙන්න

කිසිම දරුවෙක් අවම සැළකිලිවලට කැමති නැහැ. ඔවුන් බාල කාලයේ සිටම වගකීම දැරීමට කැමැත්තෙන්ම හුරුවෙනවා. ඒක සිද්ධවෙන්නේ නිරායාසව. පුංචි දූවරුන් සෙලල්ම් බත් උයන්නෙත් පුතුන් සෙලල්ම් ගෙදර තාත්තාගේ භූමිකාව ගන්නෙත් වගකීම් දැරීමට ඇති මානසික පෙළඹුම නිසයි. මේ මානසික අවශ්‍යතාව වැඩිහිටියන් තේරුම් නොගැනීම නිසා දරුවන් මුරණඩු වෙනවා. උයන වැඩ වලට අත තියන්න එපා.

“ඔෆිස් කාමරය හැඩි කරන්න එපා,” “අනේ අනේ ඔයාගේ උදව් මට එපා,” “ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න,” “ඔය වැඩ ඔයාට බෑ,” “පාඩම් වැඩක් කරගන්න,” “මගේ බඩු අල්ලන්න එපා,” මෙන්න මේ විදියට නිවසේදී ප්‍රතික්ෂේප වන දරුවා තමන්ට නොලැබුණ අවස්ථාවන් බලෙන් හෝ ලබා ගැනීමට පෙළඹෙනවා.


දරුවා මුරණ්ඩු වන්නේ හෝ කීකරු වන්නේ සමීපතමයන්ගෙන් ලැබෙන අනුබලය මතයි. නිතර අවවාද කරන, තරවටුකරන දෙමාපියන්ගේ දරුවන් මුරණ්ඩු වීම සාමාන්‍යයි. මේ ක්‍රියාමාර්ග අනුගමනය කළාට පසුවත් ඔබේ දරුවා මුරණ්ඩුයි නම් එය කිසියම් විදියක මානසික තත්වයේ වෙනසක් නිසා සිදු විය හැක්කක් විය හැකියි. විශේෂයෙන්ම ඔබේ අවධානය දිනා ගැනීමට ඔළුව බිත්තිවල හප්පා ගැනීම ආදී දේවල් කරනවා නම් එවැනි අසාමාන්‍ය ලෙස මුරණ්ඩු දරුවන්ව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි.

SHARE