යන්න හදන කෙනාට යන්න දෙන්න ඕනේ ඇයි?

දර සම්බන්ධතා බිඳෙන එක අද බොහොම සුලභ දෙයක් වෙලා. පොරොන්දු දහසක් දීලා මඟදී අත ඇරලා දාන එක දැන් කලාවක් වෙලා. එත් අනිත් කෙනා හුඟක් වෙලාවට මේ වගේ අවස්ථාවකදී කරන්නේ මොනවා හරි කරලා ආදර සම්බන්ධය රැක ගන්න. එක්කෝ අඬලා, සිය දිවි නසා ගන්නවයි කියලා තර්ජනය කරලා හෝ හැර යන්න හදන කෙනාගේ දෙමව්පියන්ට, නෑදෑයන්ගෙන් හෝ මිතුරන්ගෙන් උදව් අරගෙන යන්න හදන කෙනාව ළඟ තියා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ වැඩේ තේරුමක් නැති දෙයක්. ඒ ඇයි කියලා Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා පැහැදිලි කරන්න අද අපි තීරණය කළා..

fb-like-beg


හිටියොත් ඉන්නේ අනුකම්පාවට.

ඔබ අඬලා ඔබේ සහකරුව රඳවා ගත්තොත් ඔහු ඔබ ගැන ඇති වුනු අනුකම්පාව නිසා ඔබ ළඟ රැඳේවි. නමුත් ඔහුගේ සිතේ ඔබ ගැන ඇත්තටම ආදරයක් නැහැ. ආදරයක් නැති කෙනෙක්ව ඇයි ඔබ ජීවිත කාලයේදී ළඟ තියා ගන්න හදන්නේ?


ඔබ සමඟ ඉන්නේ කැමැත්තෙන් නෙවේ.

වැඩිහිටියෝ, යාළුවන්ව මැදිහත් කරවලා ඔබ ඔහු යන්න හදනකොට නවත්තලා ඔබ ළඟ තියා ගත්තත් ඔහු ඔබ ළඟ ඉන්නේ කැමැත්තෙන් නෙවේ. ඔහුගේ කැමැත්ත ඔබ ගැන නෙවෙයි නම් ඔහුව ඔබ ළඟ තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද ?


ඔබ සමඟ ඉන්නේ නොරිස්සුමෙන්.

අකමැත්තෙන් ඔබ ළඟ ඉන්නකොට සහකරුට ඔබ ගැන නොරිස්සුමක් ඇති වෙනවා. තමන්ගේ සතුට වෙත යන්න ඉඩ නොදීපු හතුරෙක් විදිහට ඔබව පෙනෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබ කරන හොඳක් වුනත් ඔහුට වැරදියට පේනවා. ඔබේ වැරදි විතරක් දකින, ඔබ එක්ක නොරිස්සුමෙන් ඉන්න කෙනෙක් එක්ක ජීවිත කාලයම ගත කරන්න ඔබ කැමතිද?


ආයෙත් යන්න ඉඩ තියෙනවා.

එක සැරයක් ඔහු ඔබව අත හැර දමන්න හදපු එකෙන් ඔබට තේරුම් ගන්න තියෙන්නේ, ඔබව අත් හැර දැමීම ඔබේ සහකරුට ඉතා පහසු දෙයක් කියලයි. බාහිර කරුණක් නිසා ඔබ ළඟ රැඳුනත්, ආයෙත් ඔබව හැර යන එක ඔබේ සහකරුට අපහසු දෙයක් නොවේවි. විවාහ වෙලා හෝ දරුවන් සමඟ ඔබව තනි කර යනවාට වඩා, මේ මොහොතේ ඔබේ සහකරු ඔබව හැර දැමීමට තීරණය කිරීම ගැන සතුටු වන්න.


තමන්ගේ තීරණයේ ප්‍රතිඵල තමන්ට දැනෙන්න දිය යුතුයි.

ඔබේ සහකරු ඔබ සමඟ අකමැත්තෙන් ජීවත් වෙනකොට, ඔබේ වරදක් දැක්කම ඔහුට මුලින්ම සිතට නැඟෙන සිතුවිල්ල වන්නේ, එදා ඔබව හැර නොගියේ අපරාදේ කියලයි.

නමුත් ඔබ ඔබේ සහකරුව රඳවා ගන්නේ නැතිව යන්න දුන්නා නම්, ඔහු වෙනත් තරුණියක සමඟ ජීවත් වෙද්දී ඒ කෙනාගේ වරදක් දුටුවම ඔහුට ප්‍රථමයෙන්ම ඔබව මතක් වේවි. අනිත් කෙනා සමඟ ඔබව සංසන්දය කර ඔබව අත් හැරීම ගැන පසු තැවී ඔබ ලඟට ආයේ එන්නත් ඉඩ තියෙනවා.


නොගැලපීම් තිබීම.

ඔබේ සහකරුට ඔබට වඩා වෙනත් අයෙකු වටිනා බව දැනෙන්නට ඇත්තේ, ඔහුට ඔබත් ඔහුත් අතර ඇති නොගැලපීම දැනුන නිසා වෙන්න පුළුවන්. ඔබට නොදැනුනාට ඔබ දෙදෙනා අතර නොගැලපීම්, හිත් රිදවීම් බොහොමයක් තිබෙන්නට ඇති.

නොගැලපීම් තිබීම ඔබේ වරදක් නොවේ. ඔබ, ඔබව හැර දමා යන කෙනා රඳවා ගැනීම වෙනුවෙන් වෙනස් නොවිය යුතුයි. නොගැලපීම් ගලපාගෙන සිටින්නට ඔහුට උවමනාවක් නොමැති නම්, ඔබ ඔහුට අවශ්‍ය පරිදි වෙනස් වෙන්න උත්සාහ නොකළ යුතුයි. ඔබට ගැලපෙන අයෙකු හෝ නොගැලපීම් ගලපාගෙන ඔබ සමඟ ජීවත් වීමට කැමති වෙනත් අයෙකු ඔබට හමු වේවි.


ඔබ ගැන උනන්දුවක් නැති කෙනෙක් ඔබට වැඩක් නැහැ.

ඔබව හැර ගියත් ඔබ ගැන ඇත්තටම ආදරයක් තිබුණා නම් ඔහුට එක් වරම ඔබව අමතක කල නොහැකියි. ඔබව හැර ගිය සහකරු මාසයක් ඇතුලත ඔබ ගැන සොයා බලනවාද, ඔබට කතා කරනවාද යන්න ගැන සැලකිල්ලෙන් බලා සිටින්න. ඔහු නැවත ඔබ ගැන සොයා බැලීමටවත් උනන්දුවක් නැති නම්, ඔබ ගැන උනන්දුවක් නැති කෙනෙක් සමඟ ජීවිත කාලයම ගෙවීමට ප්‍රාර්ථනා කිරීමේ තේරුමක් නැති බව තේරුම් ගන්න.

SHARE