බ ඔබේ දරුවන්ට පණටත් වඩා ආදරය කරනවා ඇති. නමුත් අප අතරේම ඉන්නවා ආදරය නොලබන දරුවන්. නිවසක ජිවත් වූ පමණින් දරුවෙකුට මව්පිය ආදරය අනිවාර්යයෙන්ම ලැබෙන බව සහතික කරන්න බැහැ. නිවස තුල මානසික හිංසනයට ලක් වෙන, ආදරය වෙනුවට තදබල පාලනයකට යටත්ව, රැවුම් ගෙරවුම් සහ අපහාස විඳින, නිවස තුලම වෙනස්කම් වලට ලක් වන දරුවන් සිටිනවා. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටිවියට පත් වී, එම ගැටලුකාරී පරිසරයෙන් මිදුනත් ඔවුන්ගේ සිත් තුල ඇති වුනු තුවාලයන්හි කැළැල් නොනැසී ඉතිරි වෙනවා. එසේ ආදරය නොලැබූ දැරියන්, වැඩිහිටි කාන්තාවන් වූ පසු ඔවුන් මුහුණ දෙන ගැටළු කීපයක් ගැනයි අද අපි කතා කරන්නේ.


fb-like-beg


1 බැඳීම් වල දුර්වලතාවන්

තමන්ගේ නිවස තුලම ප්‍රතික්ෂේප වුනු දැරියන් වැඩිහිටිවියේදී තමා වටා ඇති බැඳීම් විශ්වාස කරන්නේ නැහැ. තමාට මොන තරම් ආදරයෙන් සලකන පෙම්වතෙකු, සැමියෙකු මුණ ගැහුනත් ඔවුන්ව ඕනාවට වඩා හිතට සමීප කර ගන්නට මෙවැනි කාන්තාවන් පසුබට වෙනවා. තමාගේම දරුවන්, මිතුරු මිතුරියන් තමාට පෙන්වන හිතවත්කම මෙවැනි ලඳුන් එතරම් විශ්වාස කරන්නේ නැහැ. ජීවිතයට ලැබෙන යහපත් බැඳීම් වලට බැඳෙන්නට ඔවුන් ගොඩක් පසුබට වෙනවා.

2 ඇගේ සිතුවිලි සහ හැඟීම් වල වලංගුතාවය ගැන ඇයට විශ්වාස නැහැ

කුඩා කල පටන් ඇගේ පවුලේ සාමාජිකයන් ඇගේ හැඟීම් පහසුවෙන්ම නොසලකා හැරියා. ඇගේ හැඟීම් කුඩා කලදී සමච්චලයට ලක් වුණා. ඉතින් ඇයට කුඩා කල සිට තමන්ගේ සිතිවිලි සහ හැඟීම් හිර කරගෙන ඉඳලයි පුරුදු. ඇය එම වේදනාකාරී පරිසරයෙන් මිදුනත් ඇය දිගින් දිගටම තමාගේ හැඟීම් වල වැදගත්කමක් නොදක, ඒවා තමා විසින්ම නොසලකා හරිනවා. ඉතින් ඇය ඉබේටම ඇගේ හැඟීම් සඟවා ගන්නට පෙළඹෙනවා. තමාට යමකට විරුද්ධ වීමට අවශ්‍ය වුවත් ඔවුන් නිහඬ බව රකිනවා. මේ හේතුව නිසා ඇය වැඩිහිටිවියේදීත් ඇගේ මිතුරන්, සහකරුවන් ඇතුළු වෙනත් පුද්ගලයන් යටතේ පාලනය වන රූකඩයක් බවට පත් වීමේ වැඩි අවදානමක් පවතිනවා.

3 ආත්ම විශ්වාසය ඉතා අඩුයි

ඇය ඇගේ හැකියාවන් සහ දැනුම විශ්වාස කරන්නේ හරිම අඩුවෙන්. ඇය හිතන්නේ තමා කිසිවක් නොදන්නා බවත්, සෙසු මිනිසුන් තමාට සාපේක්ෂව බොහෝ දේ දන්නා බවත්ය. මෙය “Imposter Syndrome” ලෙස හැඳින්වෙනවා. ඇය අලුත් යමක් කරන්නට, යමක් සඳහා ඉදිරිපත් වෙන්නට ගොඩක් බියයි. ඇයගේ සිත කාංසා සහගත සහ අවිශ්වාසී සිතුවිලි වලින් නිතර පීඩා විඳිනවා. හදිසියෙවත් ඇය කරන යමක් වැරදුනොත්, එතනින් නැගී සිටින්නට ඇයට ශක්තියක් නැහැ. ඇය තමාගේ වැරදීම් වලදී තමාවම දරුණු ලෙස විවේචනය කර ගන්නවා. තමාටම බැන ගන්නට මෙවැනි ලඳුන් නිතරම පෙළඹෙනවා.

4  හැඟීම් පාලනය කර ගැනීමට නොදැනීම

කුඩා කලදී දෙමව්පියන් විසින් යම් දැරියකගේ හැඟීම් නොසලකා හැර ඇත්නම්, ඒ දැරිය වැඩිහිටිවියේදී වුවත් නිසි ලෙස තම වේදනාබර හැඟීම් පාලනය කර ගැනීමට සමත් වන්නේ නැහැ. ඔවුන් තමාට යම් ගැටළුවක් ඇති වූ විට ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ නැහැ. වේදනාබර සිදුවීම් ඉදිරියේ ඇද වැටෙන ඔවුන් නැවත පහසුවෙන් නැගිටින්නේ නැහැ. මරණයට කැප වූ අසරණ සත්වයෙකු සේ එම ගැටලුවේම ගිලී යනවා.

5 මවගේ නොලැබුණු ආදරය වෙනුවෙන් හිතේ හිඩැසක් පවතිනවා

ජිවිතයේ ඇති වන ගැටළු කාලයත් සමඟ ඉබේටම අමතක වී යනවා. නමුත් මවගේ ආදරය නිසි ලෙස නොලැබුණු දියණියක් කෙතරම් කල් ගත වුවත් ඒ පිළිබඳව කුඩාම හෝ පසුතැවීමක්, වේදනාවක් ඇගේ සිතේ ඉතිරිව පවතිනවා.

6 අතීතයෙන් ඉගෙන ගන්නේ නැතිව, එය වළලා දැමීමට උත්සාහ කිරීම

යම් ගැටලුවකින් සම්පුර්ණයෙන් මිදීමට නම්, එයින් ජිවිතයට ගත යුතු දෑ ඉගෙන ගැනීමට සිදු වෙනවා. ඇයගේ මානසික තත්වය යථා තත්වයට පත් වීමට නම්, ඇය මුහුණ දුන් අත්දැකීම් වලින් ඇය ඉගෙන ගත යුතු වෙනවා.    

නමුත් මෙවැනි ලඳුන් උත්සාහ කරන්නේ තමා කුඩා කලදී විඳි වේදනාබර අත්දැකීම් සම්පුර්ණයෙන්ම වළලා දැමීමට උත්සාහ කිරීමයි. එයට හේතු වන්නේ “මව් සෙනෙහස” ගැන ඇති උතුම් අර්ථකතන සහ තමා විඳි අත්දැකීම් සම්පුර්ණයෙන් වෙනස් බව පිළිගනිම ලජ්ජා සහගත දෙයක් සේ ඇයට හැඟෙන නිසයි.

SHARE