බඳතාවයක් ඇතුලතදී දෙදෙනාම එක්කෙනක් වෙනවා කියන සම්ප්‍රදායික කියමන බොරුවක් කියලා වැටහෙන්නේ දෙන්නා අතර ප්‍රශ්න එන්න පටන් ගත්තමයි. යුවලවල් අතර ඇති වන ඒ ගැටළු වලට හේතු පාදක වුණු කරුණු ගැන සලකා බැලුවම, ඒ හේතු වල පොදු ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ සබඳතා අවුල් වුණු හැමෝටම වගේ බලපාල තියෙන්නේ මෙන්න මේ හේතු වලින් එකක් හෝ කිහිපයක්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


 

සැකයේ විෂබීජය

සැකය කියන්නේ වසංගත රෝගයක් වගේ අනතුරුදායක තත්වයක්. සැකය බොහෝ විට ඇති වන්නේ ඊරිසියාවත් සමඟයි. තමන්ගේ සහකරුට අනියම් සම්බන්ධයක් තිබිය හැකි බව සිතමින්, සහකරු යන එන තැන් අනවශ්‍ය ලෙස සෙවීමට යමින්, සහකරු හා දබර වලට එළඹෙන පුද්ගලයන් සිටිනවා. එය අනෙකාට පීඩාවක් වූ කළ සම්බන්ධය දෙදරා යනවා.

 

වෙනස් බලාපොරොත්තු

දෙදෙනාගේ ප්‍රමුඛතාවයන් වෙනස් වූ විට විවිධ ගැටළු ඇති වෙනවා. එක් අයෙකුට බත් කෑමට අවශ්‍ය විටදී අනෙකාට පාන් කෑමට අවශ්‍ය වෙනවා නම්, එක් අයෙකුට විවේක ගැනීමට අවශ්‍ය වන විට අනෙකාට ඇවිදීමට යාමට අවශ්‍ය වෙනවා නම් එතන ගැටලුකාරී තත්වයක් පැන නඟිනවා. මෙවැනි අවස්ථා වලදී දෙදෙනා කැප කිරීම් සිදු කිරීමෙන් මේ ගැටළුව විසඳා ගන්න පුළුවන්. නමුත්, සෑම අවස්ථාවකදීම එක් අයෙකුට කැප කිරීම් කිරීමට සිදු වුවොත්, එහි ප්‍රතිඵලය වෙන් වීමක් විය හැකියි.  

රැකියා ජිවිතයේ ඉදිරියට යාමේ වේගය

ඉස්සර වගේ නෙවෙයි, අද කාලයේ කාන්තා, පුරුෂ දෙපක්ෂයම රැකියා වල නිරත වෙනවා. මතුපිටින් නොපෙනුනාට මෙයත් ගැටළුවක් වෙන අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. එක් සහකරුවෙක් රැකියාවේ උසස්වීම් ලබමින් වේගයෙන් ඉහලට යන විට, අනෙකා එකම ස්ථානයේ පල් වෙනවා නම් ගැටළු ඇති වෙනවා. නොදැනිම ඔවුන් අතර ඊරිසියාව ඇති වෙනවා. ඇතැම් විට ඉහලට යන පුද්ගලයා හිතාමතාම අනෙකාව ගණන් නොගන්නා තත්වයක් පැන නඟිනවා. ඔවුන්ට එකිනෙකා අතර ඇති වෙනස දැනෙන්නට පටන් ගන්නවා.

අන් අය සමඟ සංසන්දනය කිරීම

විවාහ වුණු යුවලවල් අතර තිබෙන විශාලම ගැටළුවක් තමයි මේක. තමන්ගේ බිරිඳව අනෙකුත් ගැහැණු සමඟත්, තමාගේ සැමියාව අනෙකුත් පිරිමින් සමඟත් සංසන්දනය කිරීම විනාශයකට මුල කිව්වොත් නිවැරදියි. එකිනෙකා එකිනෙකාගෙන් වෙනස් වන අතර, ඔවුන් ආදරය පෙන්වන ක්‍රමයත් වෙනස් වෙනවා. එක් සැමියෙක් බිරිඳ වටා දැවටෙමින් ඔහුගේ ආදරය පෙන්වද්දී, තවත් සැමියෙක් බිරිඳට සැපවත් ජිවිතයක් ලබා දීමේ අරමුණින් ව්‍යාපාර කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරනවා වෙන්නට පුළුවන්. මේ ක්‍රම දෙකම ආදරය පෙන්වන ක්‍රම වන අතර, එකිනෙකට සංසන්දනය කරන්න බැහැ.

සන්නිවේදන දුර්වලතා

ගොඩක් දෙනා තමන්ට අවශ්‍ය දේ තමන්ගේ සහකරුට සෘජුව නොකියා, ඔහු එය තේරුම් ගත යුතු යැයි විශ්වාස කරනවා. ඒත් ඔබේ සහකරුට පර සිත් කියවීමේ ඥානය නොමැති බව ඔබ වටහා ගත යුතුයි. තමන් සහකරුගෙන් බලාපොරොත්තු වෙන දේවල්, සහකරුගෙන් හිත් රිදවීම් සිදු වෙන අවස්ථා පැහැදිලිව සන්නිවේදනය කරන තරමට ගැටළු අඩු වෙනවා.

අනවශ්‍ය පාලනය

සම්බන්ධතාවයක් තුලදී, එක් අයෙකුගේ නිදහස අසීමිත ලෙස සීමා වෙනවා නම් එතන විශාල ගැටළුවක් පැන නඟිනවා. එක් සහකරුවෙක්ට තමන් කැමති සියල්ල කරන්නට නිදහස තිබීමත්, අනෙකාගෙ නිදහස අනවශ්‍ය ලෙස පාලනයට ලක් වීමත් නුසුදුසුයි. බොහෝ විට මෙවැනි සබඳතා කාලයත් සමඟ අසාර්ථක වී, බිඳී යනවා.

නින්දා කිරීම

සමහරුන් පුරුදුව සිටිනවා තම සහකරුගේ පැරණි වැරදි, පවුලේ වැරදි ඇද ගනිමින් නින්දා කිරීමට. වචනයෙන් කරන නින්දාවන් අනෙකාගේ හැඟීම් වලට කෙලින්ම බලපානු ලබනවා. බොහෝ විට වේදනාවට පත් වන්නා මුලදී දුකට පත් වී ඉවසා සිටියත්, පසු කාලීනව සබඳතාව බිඳ දමනවා.

වැරදි ඇබ්බැහිවීම්

සමහරුන් වැරදි ඇබ්බැහිවීම් වල එල්බ සිටින විට ඔවුන්ගේ සහකරුවන් එයින් පීඩා විඳිනවා. එක් සහකරුවෙක් අනවශ්‍ය ලෙස මත්ද්‍රව්‍ය වලට, දුම් වැටි වලට, සූදුවට සහ වැරදි ලිංගික පුරුදු වලට ඇබ්බැහි වී සිටීම සම්බන්ධතායකට හානි පමුණුවනවා. සබඳතාවය තුල මෙන්ම, සමාජයෙන් එන ගැරහුම් වලට මුහුණ දෙන්නටත් අනෙක් සහකරුට සිදු වෙනවා.

ඒකාකාරී බව

ඇතැම් සබඳතා හරිම ඒකාකාරියි. පෙමින් බැඳුනු අවධියේ තිබුණු උවමනාව ඔවුන්ගෙන් ගිලිහී යනවා. රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට යාමට, අත් පටලාගෙන ඇවිදින්නට යාමට ඔවුන්ට අමතක වෙනවා. කාලයත් සමඟ ප්‍රේමණීය ලිංගික සබඳතා සීමා වෙනවා. මේ ඒකාකාරී බවත් දෙදෙනා ඈත් වීමට හේතු වෙනවා.

මුදල් ප්‍රශ්න

ආදරේ කරන්න මුදල් ඕනේ නෑ කියලා හැමෝම කිව්වත්, මුදල් ප්‍රශ්න ඇති වෙනකොට ආදරේ නොදැනීම අඩු වෙලා යනවා. බඩගිනි දැනෙනකොට, සමාජයේ පිළිගැනීම නැති වෙනකොට ගොඩක් ඇයගේ හිතින් ආදරය ගිලිහිලා යන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

SHARE