සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


05 කොටස

දිගු දුරක් රිය පදවා වෙහෙසට පත් ගයාන් මදක් ඇඟ සෝදා සිය කාර්යාල කාමරයට ගියේය. හෙට දිනයේ අලුතින් පටන් ගන්නාපොල් වගාවට පොහොර දැමීමේ කටයුතු ගැන සිය අවධානය යොමු කළේය. ඔහුගේ ලේඛම් වරයා වූ තිලින වයස 21 ක තරුණයෙකි. ගමේ රස්තියාදු ගසමින් සිට ගයාන් විසින් අල්ලා ගන්න ලද ඔහු දැන් වතු යායේ කටයුතු වෙනුවෙන් මෙහි නැවතී සිටම ගයාන්ට සේවය කරයි. අනීෂා සමග ඇති සම්බන්ධය ගැන මේ වතු යායේ කිසිවෙක්ට රහසක් නොවේ. විවාහ වුනත් නැතත් අනීෂා ව ඇසුරු කරේ පිවිතුරු හදින්ම නිසා ඔහු කිසිම විටක ඇය ගැන සැඟවීමට අදිටන් කළේ නැත. නීතියානුකූල භාර්යාවකට මෙන්ම ඔහු ඇයට ඇලුම් කෙළ්ය. එසේම සැලකුවේය.

මද වෙලාවක් උණුසුම් තේ කෝප්පය තොල ගාන ගයාන් එළියේ සිට එන මද වියලි සුළඟ ගිජු ලෙස ආග්‍රහණය කළේය. ඒ සමගම තිලින පැමිණ දොරට තට්ටු කරයි. හෙට දිනයේ පොහොර යෙදීම සඳහා උපදෙස් කීපයක් ලුහුඩින් ලබාගත් තිලින හොඳ ආරංචිය කිවීමට පසුවට තබා ගත්තේය.

“ සර්… අපේ රෝසිට ඊයේ රෑ පැටියා ලැබුණා”

මුව පුරා පැතිර ගිය සිනාව යටපත් නොකර ගත් ගයාන් වහාම පුටුවෙන් නැගිට්ටේය. නෙදර්ලන්තයෙන් ගෙන්වන ලද රෝසි මාසෙකට වඩා ලංකාවේ වියලි දේශගුණයේ ජීවත් නොවෙතියි බොහෝ දෙනා පැවසු නමුත් දැඩි ආරක්ෂාව යටතේ දැන් ඌ සාර්ථක එකොලොස් වෙනි මසත් පසු කර සිටියාය. කිරි විශාල ප්‍රමාණයක් ලබා දෙන විශේෂ ගව වර්ගයකට අයත් රෝසි ඔහුගේ සෙනෙහසට පාත්‍ර වුන සුන්දර සතෙකි. ඒ පමණද ගයාන්ගේ නොමද හිතුවක්කාර කමට පින් සිදු වෙන්නට ඔහු ලංකාවට හොඳින් ඔරොත්තු දෙන ජේසි වර්ගයේ ගින් සමග රෝසිව මුහුණ කළේය. අද ඉපදී ඇත්තේ මේ පැටවාය.

“ වස්සෙක්ද ? වැස්සියක්ද ? “ ඊළඟ ප්‍රශ්නය විය.

“ වැස්සි පැටියෙක් සර්..හරිම ලස්සනයි. පෙනුම නම් තාත්තා වගේ. හැබයි අම්මගේ වගේ නළලේ හඬ තියනවා “

ඔහු මහා රාත්‍රියේම විදුලි පන්දමත් දල්වාගෙන තිලින සමග පිටත් වුනේ රෝසි බලනු පිණිසයි. විල්සෝන් මාමා කෙපයෙන් බන වැදුනේය.

“ මොකෝ පැටියා හෙට වෙද්දී එර්දි වෙනවද ? කන්නෙත් නැතුව ඌ බලන්න යන්නේ ? “ ගයාන් පිළිතුරක් නොදී සිනාසුනේය.

ඉක්බිති තිලින ලඟට කිට්ටු කළ විල්සොන් රහසින් පැටවූ ගහන සත්තු දරුණු වෙන බවත්, මහත්තයා ලඟින් හෙලවිය යුතු නැති බවත් කියා අවවාද කළේය. සතුන්ගේ හැසිරීම් අකුරටම දන්නා ගයාන් කිසිඳු සතෙක්ට බය වුනේ නැත. ඔහු කුඩා කල සිටම සතුන්ට ලදී වුන අතර ප්‍රන්ශු විද්‍යාව ගැන වැඩිදුර හැදෑරුවේය.

විශේෂ මඩුවක සීතල රැකෙන පරිදි ගාල් කල රෝසි සිය විශාල ජිල් වැනි නෙතින් හාම්පුතා හැඳින දෙවිටක් පිම්බේය. ඉක්බිති පැටියා මුවා කළාය.

“ කෝ මගේ කෙල්ලේ ? කියමින් ඔහු රෝසිගේ හිස අතගෑවේය. ඕ හොම්බේ වූ සෙම හාම්පුතාගේ අත්වල ගාමින් සිප ගත්තාය.

ටෝච් එක ගසා පැහැදිලිව බලන ඔහු වැස්සි පැටියා ගැන බෙහෙවින් සතුටු විය. “දැන් ඉතින් බලන්න පුළුවන් මෙයා ලංකාවේ පරිසර තත්ව වලට ඔරොත්තු දෙනවද නැද්ද කියල” හැමෝම කියූ කාරනා බොරු වීම ගැන ඔහු අභිමානයට පත් විය.

“ සර් ..පැටවූ ගැහුවම ඇයි සත්තු සැර වෙන්නේ ? “ ඔහු එයට පිළිතුරු ලාබාල තිලිණට පැහැදිලිව කියා දුන්නේය. තිලින අන්ත දුප්පත් පවුලක ඉපිද එහිම විනාස වන්නට සිටියද දැන් ගමේ කවුරුත් ඔහුගේ නරකක් කියන්නේ නැත. ගයාන්ගේ කාරුණික ආදරය සමග තිලින වැඩදායී පුරවැසියෙක් විය. ඔහු තනිව උපයයි. ගොවි පොලේ හැම කටයුත්තක්ම මහත් වෙහෙසින් සංවිධානය කරයි.

දැන් රෝසිත් අම්මෙක්… ඔහු ආදරෙන් කල්පනා කළේය. ඒ සමග අනීෂා මතක් වී මුවට මද සිනාවක් නැගුණි. අනීෂා තරම් සැර පරුෂ ගැහැනියක් ඔහු ජීවිතේටම දැක නැත. සාමන්‍යයෙන් මනුෂ්‍ය ගැහැණු දරුවෝ දැඩි කරන්නේ පිරිමි සතාගේ රැකවල් මධ්‍යයේය. නමුත් කුඩා නෙතුකිට අම්මා සහ තාත්තා යන භූමිකා දෙකම රඟපාන ඇය මෙතරම් සැර පරුෂ ලෙස හැසිරෙන්නේ මන්ද යන්න ඔහුට පැහැදිලිය. ඔහු ඒ වෙනුවෙන් අනීශාට හද පතුලෙන්ම ගරු කළේය. දරුවාට අනතුරක් වෙන තැන හැපින්නක් මෙන් ඇය සාහසික වෙන බව ගයාන් දනී.

ගොවි නිවසට පැමිණි ගයාන් ආහාර ගන්නා අතර තිලින සහ විලිසොන් කුස්සියේ ආහාර ගත්හ. අපූරු කූනිස්සෝ මැල්ලුම සමග ඉඳිආප්ප ඔහුගේ රස නහර පිනවන්නට සමත් විය. පොල් වලින් සුප් කැටයක් වැනි පහසු විසඳුමක් සොයා ගැනීමට මේ දිනවල ගයාන් පරීක්ෂණ පවත්වමින් සිටියේය.

“ ලොකු නෝනා ඊයේ කතා කරලා මටත් බැන්නා “ විලිසොන් සෙමෙන් තිලිණට කීවේ වේදනාවෙනි.

“ මොකෝ ඒ ගමන ? උන්දා නම් නිතරම මූලක්ගින්න තද වෙලානේ ඉන්නේ මාමේ “

“ නැහැ බන් ..මේ අපේ එක්කෙනා එක්කෝ මේ මගුල දෙකෙන් එකක් ඉවර කරන්න ඕනේ. නැත්තන් පැත්තක ඉන්න මම තැලෙනවා “

“ අපේ අම්මල වුනත් අකමැති වෙනවනේ මාමේ ..මේ නෝනා ළමයෙක් ඉන්න ගෑණියක්. අනික් අතට මහත්තයට වඩා වැඩිමල්. සරුත් පැණි හැලියට වැටිච්ච ඇඹලයා වගේ එතනම එල්ලිලා ඉන්නවනේ. ලොකු නෝනා ඉන්නේ පුදුම තරහකින්. “

“ එක්කෝ ඕනේ දෙයක් පුතාට කියන්න ඕනේ. මට නම් මේ අම්මලාගේ පුතාගේ අතරේ ඔත්තු බැලිල්ල දැන් තිත්ත වෙලා “ කියමින් විලිසොන් බොමින් සිටි වතුර ජෝග්ගුව නවා තැබුවේය.   

සේවකයෙක් වුවද විලිසොන් ගයාන්ගේ පියාගේ ගමේ නෑ කෙනෙකි. ඔහුගේ මවට කරුණාවතී මැණිකේට විලිසොන් එතරම් කැමති නැත. තරුණ කල සිට සැමියාගේ දුප්පත් නෑයන් කෙරෙහි දැක්කුව නපුරු ආකල්පය නිසාම ඔහු ඇයට අප්‍රිය කළේය. කුඩා කල ගයාන් මුල් ඖරුදු 5 වචනයක් වත් කතා කලේ නැත. දකින දෙයක් දෙස බලා සිටීම ඔහුගේ සිරිතකි. ඇතැම් විට අධිකව කෝපයට පත් වන ඔහු නැලවීම අසීරුය. අතට හසු වන දෙයින් හේ හැමෝටම ගැසුවේය. ඔහුගේ රෝග තත්වය එකල හඳුනා නොගත් අතර ගයාන්ගේ මාපියෝ ඔහු කිසියම් මොලේ අබාධයකින් පෙලෙන බව තීරණය කර වෙනත් දරුවන් හදා වඩා නොගත්තේය. ගයාන්ගේ අයියා පාසල් යන විට ගයාන් වචනයක් වත් කතා නොකර සිටීම දෙමාපියන්ට මහත් දුකක් විය.

ඔහු සතුන්ට කැමති බව වටහාගත් පියා ගයාන්ට සතුටු වීමට බල්ලෙක් රැගෙන ආවේය. විලිසොන් ගමේ සිට ආවේ ගයාන්ගේ මේ කුඩා සුනඛයා බලා කියා ගැනීමටත් ගයාන් මිදුලේ සිටිනා විට අනතුරක් කර ගැනීම වැලැක්වීමටත් ය. එදා සිට දෙදෙනා අතර ඇති වූයේ නොබිඳිය හැකි සම්බන්ධයකි. වසර කීපයක් ඇතුලත ගයාන් ශීග්‍රයෙන් දියුණු විය. ඒ ඔහුගේ පියා විශේෂ අධ්‍යාපනය ගැන පත පොත කියවා ඔහුට ගෙදර සිටම අධ්‍යාපනය ලබා දීමට උනන්දු වූ බැවිනි. වසර කීයකින් ගයාන් සියලුම ආබාධ පාහේ මැඩගෙන නැගී සිටියේය. දක්ෂ ලෙස උගත්තේය. ඇතැම් පොත් පත් පිටු පිටින් පාඩම් හිටින තරම් ඔහුගේ මතකය තීවුර විය.

දිශාව හඳුනා නොගැනීම , දුර වැනි දේවල් තේරුම් නොගැනීම , පුද්ගල සබඳතා  ආදිය අඩුපාඩු කම් නොතිබුනා නොවේ. නමුත් ඔහු හොඳින් වැඩුනේය. මදක් ලොකු වෙන විට කරාටේ ක්‍රීඩාවට ඔහුව යොමු කිරීමට පියා සමත් විය.

“ හැමෝම ඔයාට කැමති වෙන්නේ නැහැ. ඒක තමා ඇත්ත. හැබයි ඒ නිසා නොසැලී ඉන්න ඕනේ “ හැම විටම ගාමිනි ගුණසේකර මහතා ගයාන්ට කියා දුන්නේය. සිය විවාහ ජීවිතයේ ඇති අතෘප්තිය ඔහු වසා ගත්තේ රෝගී ගයාන් ගැන වැඩි අවධානයක් දීමෙනි.

පිළිසඳර කතා කිරීම, කවි ගී වල තේරුම් කියා ගැනීම, ආදරය කිරීම වැනි සුන්දර මාතෘකා කරුණාවතී මැණිකේගේ ජීවිතයේ තිබුනෙම නැත. විනාඩියකට වචන විශාල ගණනක් පිට කරන ඇය කතා කලේද අප්‍රසන්න දේවල්ම පමණි. එක්කෝ කාට හෝ බැනීමකි. නැතහොත් ගයාන්ගේ රෝගය ගැන පැමිණිල්ලකි. එසේත් නැතහොත් සැමියා නොකළ දෙයක් ගැන චෝදනාවකි.

මගේ කරුමේ . මගේ සාපෙ ..කියමින් කුඩාකල ගයාන්ට බැන වැදුන නමුත් ලොකු වන විට ඔහුගේ අසීමාන්තික දක්ෂතාවයන් සමග කරුණාවතී මැණිකේ ඔහුට ඇලුම් කිරීමට පටන් ගත්තාය.

තමාට සිටි සමවයස්ක එකම යෙහෙළිය වූ රන්මලී ගේ මරණය ගයාන්ට දැඩිව බලපෑවේය. රන්මලීගේ පෙනුමට සමාන වීම නිසා අනීෂා කෙරෙහි ප්‍රේමයෙන් බැඳුන ඔහු අනීෂා සිය දරුවා වූ නෙතුකි කෙරෙහි දක්වන ප්‍රේමය නිසාම ඇය කෙරෙහි වශී විය. තමාට රෝගී බව නිසා නොලැබුන මවු සෙනෙහස පියෙක් නැති නෙතුකිට ලැබෙන අයුරු ඔහු ආශ්වාදනය කළේය. එසේම අනීෂා ගයාන් කරෙහි දක්කුවේද මවක් දරුවෙක් කෙරෙහි දක්වන්නාක් වැඩි දැඩි ආදරයකි. සුරතලයකි. එමෙන්ම සැර පරුෂ බවකි. මේ අහිංසක ගැහැණිය හා මිනිසා අතර පැවති ප්‍රේමය සාමන්‍ය කියන ලෝකයේ බහුතරයකගේ හෙලා දැකීමට පාත්‍ර විය.

මේ අතර අනීෂා හෙට දිනයට සූදානම් වූවාය. සිය දේශනා වලට ප්‍රසන්ටේෂන් සැකසුවාය. නෙතුකිට කාමරයේ කුඩා ඇඳට වෙලා ගුලිවී සිටින විට එහෙම්ම නින්ද ගොසිනි. ඇයට නෙට් එක දමා දොර අඩවල් කර අනීෂා කාමරයෙන් පිට වුවාය. ගයාන් පැමිණීම නිසා ඇගේ සිතේ හටගත්තේ දැඩි සැහැල්ලුවකි. ඔහු ඇගේ රෙදි සියල්ලම මැෂින් දමා සෝදා ළඟ තිබුන සුපිරි වෙළඳ සලින් බඩු ගෙනත් ශීතකරණයේ අසුරා තිබිණි.

ඒ දැකීමෙන් ඇගේ සිතේ හටගත්තේ මහත් වේදනාවකි. ඔවුන් දෙදෙනා තෝරා ගත් මාවත් වෙනස්ය. දරුවා නොවෙන්නට ගයාන් සමග විවහා වී ඔහු සමග ගොවිපොළේ පදිංචියට යාම පහසු තීරණයක් වන්නට තිබිණි. නමුත් තමා තම දෙපයින් හිට නොගතහොත් දවසක අනාගතේ නෙතුකිට අවාසියක් විය හැකි බව ඇයට සිතුනි.

ගයාන් සාමන්‍ය මිනිසෙක් මෙන් නගරයේ රැකියාවක් කරා නම් මේ ගැටලුව මෙතරම් සංකීර්ණ නොවන්නට ඉඩ තිබුණි.

“ කෙහෙල්මල් කඩදාසි කොලේ ..ඕක මොනාටද ආදරේ නම් ?” ඕ කෝපයෙන් සිතුවාය.

“ ආදරෙයි කියල උත්සව අරගෙන බඳින කීයෙන් කී දෙනෙක්ට අවුරුදු දෙක තුනකින් සතුටින් ඉන්නේ. ළමයි නිසයි..කොලේ නිසයි ඉන්නවා. අනියම් සම්බන්ධකම් පවත්වනවා. හැමෝම හැමෝටම බොරු කරනවා. එහෙම ලෝකෙක මම කොයි තරම් වාසනාවන්තද ?” මොන ගැටලුව ආවත් අවිවාහක ඔහු තමා හැර නොගිය බව මෙනෙහි කල ඇය සතුටට පත් වුනා.

( ලබන සතියට )