ප්‍රීතිමත් ළමා වියක් ගත කරන දරුවන්ගේ අනාගතය සරුසාර වීමට වැඩි ඉඩක් තිබෙනවා. වැඩිහිටි විය සාර්ථකව ගත කිරීමට හැකි වන්නේ ළමා වියේ ලබන අත්දැකීම් වල ගුණාත්මකභාවය අනුවයි. ළමා විය ප්‍රීතිමත්ව ගත කිරීම සඳහා මනා රුකුලක් වන්නේ දෙමව්පියන්ය. දෙමව්පියන්ගේ ආදරය සහ නිවැරදි ජීවන රටාව මත දරුවාගේ සිත ප්‍රීතියට පත් වෙනවාද, නැද්ද යන්න තීරණය වේ. ඉතින් අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ රහස් ගැන කතා කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


දරුවන් සමඟ කාලය ගත කිරීම

වර්තමානයේ ගොඩක් දෙමව්පියන් බොහොම කාර්යබහුලයි. ඔවුන්ට දරුවන් සමඟ ගත කිරීමට තිබෙන කාලය ඉතා අඩුයි. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් දරුවන්ට රූපවාහිනිය නැරඹීමට හුරු කරවනවා. කාර්ටුන් එකක් දාලා දීලා, දරුවා ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න අතරතුර දෙමව්පියන් තමන්ගේ වැඩ කටයුතු වල නියැලෙනවා.

නමුත් දරුවන්ටත්, දෙමව්පියන්ටත් එකට නියැලිය හැකි කාර්යයන් තෝරා ගැනීමෙන් දරුවා සතුටට පත් වේවි. ඔබේ මුළුතැන්ගෙයි සහ අනෙකුත් රාජකාරි වලට ඔබේ දරුවන්ව හවුල් කර ගන්න. දරුවා සමඟ පිටතට යාමට කාලය වෙන් කරන්න දරුවාට වැඩියෙන්ම මතක හිටින්නේ ඔබ දරුවාට මිලදීගෙන දුන් දේවල් නොව, ඔබ දරුවා සමඟ කාලය ගත කළ ආකාරයයි. කුඩා අවධියේදී මව්පියන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩ නඟා ගත දරුවන් වැඩිහිටි වියේදී ගොඩ නඟා ගන්නා සබඳතා ශක්තිමත් බව හෙළි වී තිබේ.

පවුලේ හැමෝම එකතු වෙලා ආහාර ලබා ගැනීම

සාමාන්‍යයෙන් යෞවන දරුවන් නිතිපතා පවුලේ ආහාර වේලට සම්බන්ධ වේ නම්, ඔවුන් මානසික අවපීඩනයට ගොදුරු වීමේ හා සියදිවි නසාගැනීම් වලට පෙළඹීමේ අවදානම අඩු වන බව විද්‍යාඥයින් නිගමනය කර තිබේ.

නිතරම පවුලේ ආහාර වේල එකට භුක්ති විඳින දරුවන් හා තම පවුලේ අය සමඟ එකට ආහාර නොගන්නා අය සසඳන විට, ආහාර වේල පවුලේ අය සමඟ එකට ලබා ගන්නා දරුවන්ගේ ජීවිතයේ වඩා ධනාත්මක සිතුවිලි පවතින බව පැවසෙනවා. ආහාර වේලක් එකට ලබා ගැනීම කියන්නේ දරුවන් සමඟ සමීප වීමට මව්පියන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. මේ නිසා ආහාර ගන්නා වෙලාවට රූපවාහිනිය නිවා දැමීමට අමතක කරන්න එපා.

අන් අය ගැන සැලකිලිමත් වීමට දරුවන්ට ඉගැන්වීම

ප්‍රීතිමත් දරුවන්ගේ දෙමව්පියන් අන් අය ගැන සැලකිලිමත් වීමට හා ඔවුන්ගේ ජීවිතයට උපකාරී වන මිනිසුන් වෙත කෘතඥතාව පළ කිරීමේ වැදගත් බව උගන්වයි. අධ්‍යනවලින් පෙනී යන්නේ කෘතඥතාව පළ කිරීමට , උපකාරශීලී වීමට, දයානුකම්පිත වීමට සහ සමාව දීමට පුරුදු පුහුණු වන දරුවන් වැඩිහිටි වියේදී සතුටින් හා සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වෙන බවයි.

දරුවන්ගේ තීරණ ගැනීමට ඔවුන්ටම ඉඩ දීම

දරුවාගේ තීරණ මව්පියන් විසින් පාලනය කිරීම නිසා දරුවා වැඩිහිටිවියේදී ලබා ගන්නා තීරණ අසාර්ථක වීමට, ඇති කර ගන්නා සබඳතා විනාශ වීමට  මග පාදයි. ඔබේ දරුවාව විශ්වාස කරන්න, ඔවුන්ගේම තීරණ ගැනීමට ඉඩ දෙන්න. කුඩා දේවල් වලින් පටන් ගන්න

උදා : උදෑසන ආහාරයට ගත යුතු දේ තෝරාගන්න ඔවුන්ට අවස්ථාව දෙන්න.

මේ අනුව, ඔබේ දරුවා ක්‍රමයෙන් ස්වාධීනව සිටීමට හා දරුවාගේ  ජීවිතයට සැබවින්ම අවශ්‍ය දේ තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. ඔබේ දරුවා ඔවුන්ගේ ප්‍රශ්න ඔබ සමඟ බෙදාගැනීමට තීරණය කළොත්, ඔවුන්ට හොඳ තීරණයක් ගැනීමට උපකාර කරන්න. ඔවුන් වෙනුවෙන් ඔබ තීරණය ගැනීම සිදු කරන්න එපා.

දරුවන්ගේ සන්නිවේදන හැකියාව ඉහල නංවා ගැනීමට උදව් කිරීම

පෙන්සිල්වේනියා සරසවියේ හා ඩියුක් සරසවියේ සිදු කළ පර්යේෂණයක් මඟින් දරුවන් 700 ක් වයස අවුරුදු 25 වන තුරු අධ්‍යනය කරන ලදී. තම මිතුරන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ සමාජශීලී දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමටත්, පූර්ණ කාලීන රැකියාවක් කිරීමටත් හැකියාව ලැබුණි.

සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමේ ගැටළු ඇති අය බොහෝ විට මත්පැන් පානයට හා අපරාධ වලට යොමු වීමට ඉඩ ඇති බව පැවසේ.


මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

ප්‍රීතිමත් දරුවන් ඇති දැඩි කරන මව්පියන්ගේ රහස් 12ක් – 02 කොටස

SHARE