සිය මංගල දිනයේදී බොහෝ යුවතියන් ප්‍රිය කරන්නේ උඩරට සාම්ප්‍රදායික මංගල ඇඳුම වන ඔසරියෙන් සැරසෙන්නයි. එයට හේතුව වන්නේ උඩරට ඔසරිය මඟින් ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රෞඩත්වය පිළිබිඹු කිරීමයි. මංගල ඔසරිය පුරා දිවෙන ශ්වේත වර්ණය මනමාලියගේ පවිත්‍රතාවයත්, රන් වර්ණයෙන් දිවෙන සියුම් විලාසිතාවන් මනාලියගේ කුලවත් බවත් සංකේතවත් කරනවා. මේ සාම්ප්‍රදායික ඔසරිය සමඟ සෑම මනාලියක්ම සුවිශේෂී ආභරණ කට්ටලයක් පළඳිනු ලබනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.
.


fb-like-beg


  • නළල් පටිය

මනාලියගේ මව විසින් මනාලියට පලනදවීම සිරිතය. මෙම  අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරනු ලබනවා.

  • ඉර හඳ ආභරණය

මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පළඳවනු ලබනවා. හිරුගේ ගති ගුණ මනාලයාගේ ගති ගුණ වලටත්, සඳුගේ ගති ගුණ මනාලියගේ ගති ගුණ වලටත් සමාන කරනවා. එමෙන්ම ඉර හඳ පවතින තුරු මංගල යුවලගේ බැඳීම පවතින බවත් එයින් සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැළඳීම නිසා, මනාලියට තමාගේ පතිවෘතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙන බවත් කියවෙනවා.

  • කොණ්ඩා කූරු

කොණ්ඩා කූරු පළඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැළඳිමෙන් මනාලියට සෞභාග්‍යය ලැබෙන බව සංකේතවත් කරනවා.

  • කරාබු

උඩරට මනාලිය පළඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” යන නමින්ය. මේවා පැළඳිමෙනුත් මනාලියට සෞභාග්‍යය ලැබෙන බව සංකේතවත් කරනවා.

  • වළලු

උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ බංගලි වළලු යනුවෙනුයි.

  • මුදු

උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පළඳිනවා. මෙම මුදු වලින් මනාලියට නිරෝගී සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.ළු

  • හවඩිය

හවඩිය පළඳින්නේ මනාලියගේ ඉනේ හැඩය ඔප් නංවා පෙන්වීම පිණිසය.

මංගල මාල කට්ටලය

  • උඩරට මනාලිය සාම්ප්‍රදායික ඔසරිය සමඟ පළඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය යැයි විශ්වාස කෙරෙනවා. එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි.
  • මේ මාල ඉතා දිගු වන අතර එයින් අදහස් කරන්නේ මනාලියට මුහුණ පෑමට සිදු වන විවිධ සෞඛ්‍ය ගැටළු මාලය දිගේ පොලව වෙත ඇදී යන බවයි. එමඟින් මනාලියට නීරෝගී සම්පත්තිය හිමි වන බව විශ්වාස කරනවා.
  • මනාලිය පළඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරන බවටත් මතයක් පවතිනවා.

 

  • හංස පූට්ටු මාලය

හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවල වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි.

හංස පූට්ටු තැල්ල රඳවන්නේ මනාලියගේ පපුව මතයි. මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.

  • පදක්කම් මාලය

මනාලියගේ පියා විසින් පදක්කම් මාලය මනාලියට පළඳවනු ලැබීම සිරිතයි. එමඟින් සංකේතවත් කරන්නේ මනාලිය මෙතෙක් කල් පියාගේ ගෞරවය ආරක්ෂා කළ බවත්, අනාගතයේදී සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන බවත්ය.

  • මකර මාලය

මකර මාලය පැළඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.

  • කිරි මාලය

කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහලිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැළඳගෙන සිටින බවයි.

  • අගස්ති මාලය

අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරු වන බව විශ්වාස කරනවා. මනාලියගේ ජිවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍යය උදා කරන්නට මේ අගස්ති මාලය සමත් වන බව විශ්වාස කරනවා.

  • ධාන්‍ය මාලය

ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍යය සංකේතවත් කරනු ලබනවා.

  • පෙති මාලය

පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාවය සංකේතවත් කරනු ලබනවා.

  • කර මාලය

මනාලයා විසින් මනාලියට මෙම කර මාලය පළඳවනු ලැබීම සිරිතයි.

 

SHARE