ඔබේ දරුවාට ගැලපෙනම තෑග්ග තෝරා ගන්නේ කොහොමද ?

පොඩි දරුවෝ තෑගී වලට හරිම කැමතියි. මාසයේ පඩි ලැබෙන දවසට, එහෙම නැත්තම් මොකක් හරි වාසියක් වුණාම දෙමව්පියන්ට මුලින්ම මතක් වෙන්නේ තමන්ගේ දරුවාව. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කොහේ හරි ගෙදරකට යනකොට, ඒ ගෙදර පොඩි දරුවෙක් ඉන්නවා කියලා මතක් වුණාම ඒ දරුවටත් මොනවා හරි අරන් යන්න පෙළඹෙනවා. තමන්ගේ දරුවට විතරක් නෙවෙයි, තමන්ගේ ඥාතී දරුවන්ට, මිතුරු මිතුරියන්ගේ දරුවන්ට තෑගී තොරද්දීත් goodhousekeeping.lk හරහා අද ඉදිරිපත් කරන මේ ලිපිය ඔබට උදව් වේවි.


fb-like-beg


01. වයස අවුරුද්දට අඩු දරුවන්ට

මේ වයස් වල දරුවන්ට සුදුසු ඔවුන්ගේ සංවේදනා උත්තේජනය කරන්න සමත් වෙන ත්‍යාගයි. ඒ සඳහා මේ ලක්ෂණ තියෙන තෑගි අරගෙන දෙන්න.

  • වර්ණවත් වීම
  • සිනිදු  වීම
  • තද කළ විට හෝ සෙලවූ විට ශබ්දයක් පැමිණීම

02. වයස අවුරුද්දත් දෙකත් අතර දරුවන්ට

මේ වයස් සීමාව දරුවන් තමා අවට ඇති දේ හඳුනා ගැනීමට උත්සාහ කරන කාලයයි. මේ වයස් සීමාවේ ඉන්න දරුවන්ට සුදුසු මේ වගේ දේවල්.

  • ඝන කාර්ඩ්බෝර්ඩ් වලින් හදපු පොත්
  • නාදයක් පැමිණෙන සෙල්ලම් බඩු
  • නොබිඳෙන කැඩපතක්
  • සෙල්ලම් දුරකථන
  • වැඩ කිරීමට මේසයක් සහ පුටුවක්
  • සෙල්ලම් කෝප්ප සහ පිරිසි
  • බෙර, නලා, පියානෝ වැනි සංගීත භාණ්ඩ

03. වයස අවුරුදු දෙකත් තුනත් අතර දරුවන්ට

මේ වයසේ දරුවන්ව නිර්මාණශීලී යමක් කිරීමට පෙළඹෙන අන්දමේ තෑගි දීම සුදුසුයි. එය දරුවන්ගේ නිර්මාණශීලි හැකියාව දියුණු කර ගැනීමට උපකාරී වෙනවා.

  • ක්ලේ
  • පාට පැන්සල් සහ චෝක්

ඒ වගේම මේ වයසේ දරුවන් කාර්ටූන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් දරුවා කැමති කාර්ටූන් චරිත සම්බන්ධ තෑගි අරන් දෙන්න.

  • කාර්ටූන් රූප සහිත ඇඳුම්
  • කාර්ටූන් රූප සහිත පොත්, වතුර බෝතල් සහ පිඟන්

මේ වයසේ දරුවන්ව ක්‍රියාශීලී වෙන්න පොළඹවන එක වැදගත්. ක්‍රියාශීලී ක්‍රීඩා මඟින් දරුවට ඉබේම ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වෙනුවෙන් මේ වගේ තෑගි අරන් දෙන්න පුළුවන්.

  • බෝල
  • වැලි සමඟ ක්‍රීඩා කිරීමට අවශ්‍ය වන භාණ්ඩ (ප්ලාස්ටික් කෝප්ප, සවල්, බාල්දි)
  • සෙල්ලම් වාහන

04. පෙර පාසැල් යන දරුවන්ට

මේ වයසේ දරුවන්ටත් ඔවුන්ගේ නිර්මාණශීලි හැකියාව වැඩි කළ හැකි තෑගී ලබා දෙන්න.

  • තියුණු නැති, කොළ කැපිය හැකි කතුරු
  • බිල්ඩින්ග් බ්ලොක්ස්
  • ප්ලැටිග්නම්
  • අත්කම් සිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

05. අවුරුදු හතරත් පහත් අතර දරුවන්ට

මේ වයස තමයි ඔවුන්ට සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන උගන්වන්න හොඳම කාලය. ඒ නිසා යාලුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන් විදිහේ තෑගි මේ වයසේ දරුවන්ට අරන් දෙන්න.

  • දාදු දැමීම සඳහා අවශ්‍ය උපකරණ
  • සෙල්ලම් නිවාස දැමීමට අවශ්‍ය උපකරණ

මේ ක්‍රීඩා මිතුරන්, සහෝදරයන් එක්ක එකතු වෙලා කරන්න ඔවුන්ව පොළඹවන්න.


06. පාසැල් යන දරුවන්ට

  • පාසැල් යාමට අවශ්‍ය පොත් පත්, බෑග්, වතුර බෝතල්, පැන්සල් පෙට්ටි අරන් දෙන්න ඔබට පුළුවන්.
  • නිවස තුල සෙල්ලම් කිරීම සඳහා වීඩියෝ ක්‍රීඩා, රිමෝට් මඟින් ක්‍රියාත්මක කළ හැකි වාහන අරන් දෙන්න ඔබට පුළුවන්.
  • පිටත සෙල්ලම් කිරීම සඳහා බයිසිකලයක්, සරුංගල් අරන් දෙන්න ඔබට පුළුවන්.

ක්‍රීඩා භාණ්ඩ ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

1. දරුවන්ට තෑගි ලබාදීමේදී ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

  • පොඩි දරුවෝ අතට අහුවෙන හැම දෙයක්ම කටේ දාන නිසා කුඩා දේවල් අරන් දෙන්න එපා.
  • උල් හෝ තියුණු දේවල් තෑගී දෙන්න එපා. ක්‍රීඩා භාණ්ඩ අරගෙන දෙද්දී ඒවායේ උල් තැන්, සීරෙන තැන් තියෙනවද කියලා හොඳින් පරීක්ෂා කර බලන්න. පුළුන් පිරවූ තෑගි වැඩිපුර අරන් දෙන්න.
  • දරුවට උස්සන්න අමාරු දේවල් අරන් දෙන්න එපා. ඒ වගේ ලොකු බරක් සහිත ක්‍රීඩා භාණ්ඩ එසවීමෙන් දරුවාගේ කොඳු ඇට පෙලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම වැරදීමකින් දරුවාගේ ඇඟට පෙරලෙන්නත් ඉඩ තියෙනවා.
  • දරුවෙක්ට තෑගි අරගෙන දෙද්දී ඒවායේ ගාලා තියෙන තීන්ත පහසුවෙන් ඉවත් වෙනවද කියලා බලන්න. මොකද දරුවා සෙල්ලම් බඩු කටේ දාද්දි, හපද්දී ඒ සායම් දරුවට කැවෙන්න ඉඩ තියෙනවා.
  • ලොම් සහිත තෑගී අරන් දෙද්දී ඒ ලොම් පහසුවෙන් ගැලවෙනවාද කියලා බලන්න. මොකද ඒ ලොම් ගැලවිලා දරුවාගේ නහයට ඇතුළු වුණොත් පීනසය, උගුරේ අබාධ වගේ රෝග ඇති වෙන්න පුළුවන්.
  • පිටත සෙල්ලම් කිරීමේදී ඔබේ දරුවා බයිසිකල් පදිනවා නම් ආරක්ෂක හෙල්මට් එකක් අරන් දෙන්න.

2. පාඩම් වැඩ වලට බාධාවක් නොවීමට වග බලා ගන්න.

පාසැල් යන වයසේ දරුවන්ට පාඩම් කිරීමට වෙලාවක් සහ ක්‍රීඩා කිරීමට වෙලාවක් වෙන් කර දෙන්න. ඩිජිටල් ක්‍රීඩා භාණ්ඩ වලට ඇබ්බැහි වෙන්න ඉඩ දෙන්න එපා.

3. දරුවන්ගේ මනසට හානි කරන දේවල් දෙන්න එපා

සමහර වීඩියෝ ගේම් තියෙනවා සත්තුන්ට වෙඩි තියන්න දෙන. ඒ වගේ ක්‍රීඩා වලින් දරුවා තුල කලහකාරී සිතුවිලි ඇති වෙන්න පුළුවන්.

SHARE