පි ප්රායෝගිකව ගත්තොත් ගොඩක් අම්මලා ඉන්නේ මානසිකව පීඩනයට ලක් වෙලා. රැකියාව, ගෙදර වැඩ, සමාජ ජීවිතය, දරුවෝ සහ සැමියා එක්ක තියන ගැටළු කාන්තා අපි හැමෝටම තියනවා. අපි අද ඉතිහාසයේ මිනිසා කවදාවත් නොගිය වේගයකින් ගමනක් යමින් ඉන්නේ. ඉතින් අපේ හෝර්මෝන වල වෙනස්වීම් සහ පාරිසරික සාධක වෙද්දී අද අපේ රටේ අම්මලා ගොඩක් ඉන්නේ මානසිකව ආතතියට ලක් වෙලා.


fb-like-beg


ඔබේ මානසික ආතතිය එලියට පේන්නේ මෙන්න මේ විදිහටයි

ඔබත් මාත් ඇතුළු ගොඩක් තරුණ අම්මලා ඉක්මනින් කේන්ති ගන්නවා. පුංචි වරදක් වුන ගමන් දරුවට පහර දෙනවා. චුට්ටක් ට්‍රැෆික් එක නිසා පරක්කු වුනත් සැමියාට බනිනවා. මේ හැසිරීම් අපි හිතල කරන දේවල් නෙවෙයි. අපි උහුලන වැඩ රාජකාරි එක්ක අපිට සුළු දේටත් කේන්ති යනවා.

ජීවිතේ එපා වුන බවක් අපිට සමහර වෙලාවට දැනෙනවා. කරන දේවල් වලින් පලක් නැහැ කියා හිතෙනවා. අලුතින් යමක් කරන්න කිසිම පෙළඹීමක් නැතිව යනවා. අධිකව වෙහෙස දැනෙනවා. වෙනදට කරන පුංචි වැඩක් වුනත් අපිට දැනෙන්නේ බාදාවක් ලෙසයි. අපි අද කතා කරමු මේ ගතිය මගහැරගන්නේ කොහොමද කියල.

ඔබව සතුටින් තියන්න වෙන කාටවත් බැහැ

අපි තේරුම් නොගන්නා පුංචි ඇත්තක් තියනවා. ඒ තමයි අපේ සතුට අපේම තීරණයක් කියන එක. ගැටළු තියන පීඩනයට ලක් වුන තරුණ කාන්තාවන් බහුතරේ එක්ක කතා කරහම ඔවුන් කියන්නේ

“ මගේ මේ අසතුටට හේතුව මගේ සැමියා . ඔහු මට ආදරේ කරා නම් මම සතුටින් ඉන්නවා “

“මගේ අසතුටට හේතුව මගේ නැන්දම්මා . ඇය හොඳින් හිටියා නම් මම සතුටින් ඉන්නවා “

“ මගේ අසතුටට හේතුව මගේ දරුවා. එයා දඟ නොකරා නම් මම හොඳින් ඉන්නවා “

මේ විදිහට අපි පුරුදු වෙලා ඉන්නේ අපේ අසතුටට හේතුව තව කෙනෙක් වෙතට තල්ලු කිරීමටයි. ඒ කෙනාගෙන් ඇහුවහම ඔහු/ ඇය කියන්නේ ඕකේ අනික් පැත්ත.

සැමියා වෙනස් වෙලා තියෙන්නේ ඔබේ හැසිරීම් නිසා විය හැකියි

බොහෝ ආතතියට පත් වුන බිරියන් නිසා සැමියන් මානසික ආතතියට ලක් වෙලා. විවාහයක අසතුට වර්ධනය වෙද්දී ඒකට දෙන්නගෙන් කාටවත් අත දිගු කරන්න බැහැ. මේ තත්වය දෙන්නගෙම හැසිරීම් නිසා වර්ධනය වුන තත්වයක්.

උදාහරණයකට එක කාන්තාවක් නිතරම කියනවා සැමියා ලිංගික ඇසුරට කැමැත්තක් නොදක්වා තමාගෙන් ඈත් වෙලා ඉන්නවා කියල. දෙදෙනාම ගෙන්වා කතා කර බලන විට සිදුවී තිබෙන්නේ මෙයයි.

බිරිඳ විවාහ වුන මුල් කාලේ ඉඳලා අධිකව පිරිසිඳු බවට ඇබ්බැහි වුන කෙනෙක්. ඇය සමග ලිංගික ඇසුරක් පවත්වද්දී නීති රීති ගොඩයි. සාමාන්ය සනීපාරක්ෂක පියවරවල් වලට වඩා ගොඩක් දේ ලිංගික ඇසුරට පෙර ඔහු කල යුතුව තිබුනා. නැත්නම් ඇය කෑ ගහනවා, බනිනවා, ඔහුව ප්රතික්ෂේප කරනවා. ලිංගික ඇසුරක් පවත්වන්නේ මානසිකව සැහැල්ලු වෙන්න වුනත් ඔහුට අන්තිමේදී එය ලොකු බරක් වෙලා. ඇගෙන් බැනුම් අහන්න වෙයි කියන බයට ඔහු සාමන්ය ගල් යුගයේ පටන් එන සහජ ඉවට අනුව ඇගෙන් පලා ගියා.

ලිංගික ඇසුරට පෙර විෂබීජ නාශක දියරයකින් සිරුර සෝදන එක වගේ දෙයක් කිරීමට වඩා එහි නොයෙදී ඇගෙන් ඉවත් වෙලා පාඩුවේ ලිංගික සිනමා පට බැලීමට ඔහු නැඹුරු වුණා. මෙහිදී ඇසුර නැති වීමේ පීඩනය දරා ගත නොහැකි බිරිඳ තවත් ඔහු සමග කළහ කරන්න පටන් ගත්තා. දෙදෙනා තව තව ඈත් වුනා. බැලූ බැල්මට මේක සැමියාගේ වරදක් ලෙස හැමෝටම පෙනුනත් ප්රශ්නයේ පටන් ගැනීම තිබ්බේ වෙන තැනක.

තමන්ගේ සතුට පාලනය කරන්නේ තමන්මයි

ජීවිතේ ගෙවද්දී අවසාන දවස වෙනතුරු මොන ගැටුම හමුවේ වුනත් ඔබට සතුටින් සිටිය හැකියි. ඒ වෙනුවෙන් පළමුවම ඔබ හිතන්න ඕනේ ඔබේ ජීවිතයේ සතුට ඔබේම තීරණයක් බව. දෙවනුව ඔබ පුද්ගලයෙක් ලෙස ස්වාධීන වෙන්න ඕනේ. මූල්යමය වශයෙන් විතරක් නෙවේ, මානසිකවත් ස්වාධීන විය යුතුයි. ඒ මානසිකව ස්වාධීන වෙන පිළිවෙල මම ඔබට ඊළඟ ලිපියෙන් කියා දෙන්නම්. හෙට මෙහි දෙවෙනි කොටස පල වෙනවා.

(දෙවන කොටසින් හමුවෙමු)

දෙවන කොටස සඳහා පිවිසෙන්න

SHARE