පි හැමෝගෙම ප්‍රාර්ථනය තමයි ජිවිත කාලය පුරාවටම සතුටින් ජිවත් වෙන එක. සතුට ලැබීම වෙනුවෙන් ඔබ ඕනෑම දෙයක් කිරීමට සුදානම් ඇති. හිතේ සැනසීම සහ සතුට පහසුවෙන්ම ලඟා කර ගත හැකි ක්‍රම කීපයක් තිබෙනවා. ඒ පුරුදු ප්‍රගුණ කිරීමෙන් ඔබේ ජීවිතය ගොඩක් සුවපහසු වේවි. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය වෙතින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සතුටින් සිටීමට උපකාරී වන හොඳ පුරුදු 5ක් පිළිබඳවයි.


fb-like-beg


1 භාවනාව

භාවනාව කියන්නේ ආගමික සංකල්පයක් නම් නෙවෙයි. එය ඔබේ ජීවිතය සුවපත් කිරීමට හේතු වන හොඳ පුරුද්දක් පමණයි. ඔබේ සිතේ ඇති සෘණාත්මක ආවේගයන් ඉවත් කර, ඔබේ අධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමට මෙම පුරුද්ද උපකාර කරනවා. භාවනාව මඟින් මනසට බලපාන යහපත් හොර්මෝනයන් උද්දීපනය කෙරෙනවා. විශාදය, මානසික පීඩනය අඩු කරවනවා. ඔබේ මනස සෘණාත්මක සිතුවිලි වලින් පීඩා විඳින මොහොතක ඔබ භාවනාවට යොමු වන්නේ නම්, එම සිතුවිලි වේගයෙන් ඉවත් වී යනවා. මනසේ ඇති වුනු හානි යතා තත්වයට නැවත ගෙන ඒමට භාවනාව උපකාරී වෙනවා.

2 ස්තුති කරන්න පුරුදු වෙන්න

ඔබට එදිනෙදා ජීවිතයේදී මොන තරම් මිනිස්සු උදව් කරනවද? ඒ හැමෝටම පුංචි හිනාවක් එක්ක “ස්තුතියි” කියන වචනය කියන්න මැලි වෙන්න එපා. ඔබ ස්තුතිපුර්වක වන විට ඔබේ මොළයේ Dopamine හෝමෝනය ශ්‍රාවය වෙන්නට පටන් ගන්නවා. එම හෝමෝනයට අපේ සිත තුල ඇති වන සෘණාත්මක සිතිවිලි සහ කාංසා සහගත හැඟීම් ඉවත් කර දැමීමේ හැකියාවක් පවතිනවා. ඔබ ස්තුති කරන්නට පුරුදු වන විට විශ්වය මඟින් ඔබේ ජිවිතයට තව තවත් ආශීර්වාදාත්මක සිදුවීම් ලබා දෙනවා. එය “Law of attraction – ආකර්ෂණ නිතිය” යටතේ සිදු වන සංසිද්ධියකි. ඔබ ස්තුතිපුර්වක ජිවිතයක් ගත කිරීම පුහුණු කල යුතුයි. ඔබ රාත්‍රී නින්දට පෙර දවස පුරා සිදු වූ යහපත් සිදුවීම් සිහි කරමින් ඒවාට සිතින් ස්තුති කරන්නට පුරුදු වන්න. ස්තුතිපුර්වක වීමේ පුරුද්ද ඔබ තුල ධනාත්මක චින්තනයක් ඇති කරවන්නට සමත් වෙනවා.

3 කරුණාවන්ත වන්න

පුංචි දේටත් කෝප වන, අනෙක් මිනිසුන්ගේ සිත් රිදවන්නට පුරුදු වී සිටින මිනිසුන්ටත් සතුටින් ජිවත් වීමට නොහැකියි. අනුන් රිදවන පුද්ගලයාගේ ජිවිතයෙන් සතුට පළා යනවා. අනුන්ට කරුණාවන්ත වන පුද්ගලයා තුල ප්‍රීතිමත් හැඟීම් නිරායාසයෙන් පහල වෙනවා. ඔවුන්ගේ ජිවිතයෙන් මානසික ආතතිය පළා යනවා. ඔබ යමෙකුට කරුණාවන්ත වූ විට, අන් අයත් ඔබට කරුණාවන්තව සලකනවා. කරුණාවන්ත වීමෙන් ඔබ අනුන්ට ස්තුති කරන්නටත් පෙළඹෙනවා. අනුන්ට කරුණාවන්තව සලකන විට, ඔබේ සිත තුල ඇති වන ආත්ම තෘප්තිය ඉහල යනවා.

4 ඔබ ඔබට සළකන්න

ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම් ඔබ ඔබටම සැලකිය යුතුයි. ඔබව සතුටු කිරීමට ඉහලම හැකියාව සහ වගකීම ඇත්තේ ඔබටයි. ඔබ කරන දෙයක් ඔබට අසතුට ගෙන එනවා නම්, නැවත ඒ දේ කරන්න එපා. ඔබේ කාලයෙන් කොටසක් ඔබේ විනෝදාංශ සහ ඔබ ප්‍රිය කරන දේවල් ඉටු කර ගැනීම වෙනුවෙන් යොදවන්න. ඔබ රස විඳීමට කැමති ආහාර මිලදී ගෙන රස විඳින්න. ඇතැම් මිනිසුන් ජිවිත කාලය පුරාවටම තමන්ට සැලකීම පස්සට දමනවා. අනුන් වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, මුදල් ඉතිරි කර ගැනීම වෙනුවෙන් වගේ විවිධ හේතු ඇති කරගෙන තමාව සතුටු කිරීමට අවශ්‍ය දෑ තමාට සැපයීම කල් දමනවා. කෙසේ වෙතත් ඔවුන් ජිවිත කාලයම ගෙවන්නේ අතෘප්තියෙන් සහ අසතුටින්.

5 ඔබට ගරු කරන්න

ඔබේ වීරයා ඔබම වන්න. කිසි විටෙකත් ඔබ ඔබේ වටිනාකම අවතක්සේරු කරන්නට යන්න එපා. ඔබ වටිනා පුද්ගලයෙකු බව ඔබ පිළිගන්න. දිනපතා ඔබේ දක්ෂතා, යහපත් ගතිගුණ ගැන සිතමින් නිහතමානිව සතුටු වන්න. ඔබ ඔබටම ගරු කිරීමෙන් විවිධ වූ ජයග්‍රහණ ලබා ගන්නට සහ සතුටින් ජිවත් වීමට ඔබ තුල පෙළඹවීමක් සහ උනන්දුවක් ඇති කෙරෙනවා. යම් දෙයක් වැරදෙන විට කඩාගෙන වැටෙන්න එපා. ඒ වෙනුවට “මට එය මෙහෙයවන්න පුළුවන්”, “එය විසඳගන්න මට හැකියාව තියෙනවා” යනුවෙන් සිතන්නට පුරුදු වන්න. ඔබ තුල ඔබ ගැන විශ්වාසයක් ඇති කර ගැනීමෙන් ඔබ ශක්තිමත් වෙනවා.

          

 

 

SHARE