පි දෙමාපියෝ කතා කරද්දී පරිස්සම් වෙන්න ඕනේ. මොකද දරුවෝ පුංචියි. කිසිම දෙයක හරි තත්වය තේරුම් ගන්න තරම් එයාලට පැසුන නුවණක් නැහැ. ඔවුන් ඉගෙන ගන්නවා අපි කතා කරන දේවල් වලින්. ගොඩක් වැඩිහිටියෝ දෙමාපියෝ දරුවෝ ඉස්සරහ කතා නොකළ යුතු දේවල් මොනවද කියල දන්නේ නැහැ. දැනගත්තත් සැලකිල්ලක් නැහැ. ඉතින් අපි මේ කතා දරුවෝ ඉස්සරහ නොකරන්න පරිස්සම් වෙමු.


fb-like-beg

 


1. ඔබේ ලිංගික ජීවිතයේ විහිලු තහළු, ඉඟි, රහස්

දෙමාපියෝ දෙන්නා ආදරෙන් ඉන්න බව දරුවන්ට හැගෙන්න කතා කරන්න ඕනේ. එකිනෙකා ආදරයෙන් කතා කිරීම දරුවන්ගේ අනාගතේට ගොඩක් වටිනවා. හැබයි ලිංගික කාරනා ඉඟියකින් වත් දරුවෝ ඉස්සරහ සන්නිවේදනය නොකරන්න ඔබ දෙමාපියෝ ලෙස පරිස්සම් වෙන්න ඕනේ. ඒවා ඇහුනොත් , දැනුනොත් පුංචි මනසට ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම යාළුවො එක්ක ඒ දේවල් බෙදා ගන්න ගිහින් යාළුවො අතරේ අපකීර්තියට පත් විය හැකියි.

2. වෛරය, ද්වේශය ඔබේ අමනාපකම්

හිතන්න ඔබ කා හරි එක්ක අමනාපයි කියල. ඒ දේවල් දරුවන්ගේ ඔලු වලට දාන්න එපා. ඒ වස විස එක්ක දරුවෝ තේරුම් ගන්නේ “ එයා මගේ අම්මා/ තාත්තා එක්ක තරහයි. මාත් එයා එක්ක තරහයි” එකිනෙකාට වෛර කරන පරිසරයක් පුංචි මනසක හදන එක ඔවුන්ගේ පෞර්ෂ වර්ධනයට ගොඩක් හානිදායකයි. එහි පලවිපාක දවසක පෙරලා ලැබෙන්නේ දෙමාපිය ඔබටමයි.

3. ජාතිවාදී අදහස්

මේ දිනවල තිබෙන පරිසරේ එක්ක වැඩිහිටියෝ හැම තැනකදීම වගේ ජාති වාදය ගැන කතා කරනවා. අර මනුස්සයට ගල් ගහල මරන්න ඕනේ, අර මිනිස්සු එලවන්න ඕනේ, අරයා වර්ජනය කරන්න ඕනේ වගේ දේවල් තමයි වැඩිහිටි අපි සහ ඇතැම් ගුරුවරු පවා උදේ සිට රාත්‍රී වෙනතුරු කතා කරන්නේ.

මේ දේවල් ඔබේ හය හතර නොදත් දරුවාගේ මනසට කොයි තරම් උචිතද කියල ඔබ මොහොතකට කල්පනා කලාද? මේ දේවල් ඇහෙද්දී ඔබේ දරුවාගේ පෞර්ෂය හානි වෙනවා. ඔවුන්ගේ ස්වභාවික පැවතුම් වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ දේවල් ගැන කතා කරද්දී දරුවන්ට ඇහෙන්නේ නැති බව තහවුරු කර ගමු. ඕනෙම ගැටළුවක් වෛරය මුල් කරගෙන විසඳන්න ඉගැන්වීම දරුවන්ගේ අනාගතේට ගොඩක්ම හානිකරයි.

4. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ වගේ දේවල්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ගොඩක් දරුවෝ බියපත් වුනා. කාමරෙන්, නානකමරයට පවා යන්න බය වෙන්න ගත්තා සමහර දරුවන්. අද කාලේ රූපවාහිනී වල තලු මර මරා පෙන්වන්නේ මිනීමැරුම්, ස්ත්රී දූෂණ වගේ දේවල්. සංස්කරණය නොකළ දර්ශන පවා පෙන්වනවා. මේ දේවල් දරුවන්ගේ මනසට එතරම් හිතකර නැහැ. එම නිසා ඒ දේවල් ළමයි ඉස්සරහ කතා කරන්න එපා, පෙන්වන්න එපා.

5. දරුවාගේ යාලුවන්ගේ පුද්ගලික දේවල්

හිතන්න දරුවාගේ පන්තියේ යාලුවෙක් ගැන ඕපදූප කතා අනික් අම්මලා එකතු වෙලා කතා කරනවා නම් ඒ දේවල් දරුවන්ට නෑහෙන විදිහට කරන්න පරිස්සම් වෙන්න.

“ ආ කමල්ගේ අම්මාද ? එයාට ඔෆිස් එකේ තව බෝයි ෆ්රෙන්ඩ් කෙනක් ඉන්නවා”

“ දුරානි ගේ සීයා ඔය දැන් පෝසත් වුනාට ..ඉස්සර පාන් පෙට්ටිය කරේ තියාගෙන ගියේ”

ඔය වගේ නරක කතා දරුවොන්ට ඇහෙන්න කීම ගොඩක් භයානකයි. දරුවෝ සමාජයේ ඔය වගේ දේවල් කියල කොන් වෙන්න පුළුවන්. ඒ වගේම දෙමාපියෝ ලෙස ඔබත් අපකීර්තියට ලක් වෙනවා. දරුවෝ මල් වගේ. ඔවුන් යහපත් ලෙස හදා වඩා ගැනීම අපගේ වගකීමක්.

SHARE