පේ රටේ දිනෙන් දින අහන්න දකින්න ලැබෙන සිද්ධි එක්ක දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් අපි ගොඩක් කල්පනාකාරීව සිටිය යුතු කාලයක් මේක. මෙවැනි අනාරක්ෂිත පරිසරයක දරුවෝ හදද්දි ළමා අපචාරකයන් (pedophiles) ගැන හෝදිසියෙන් සිටීම ගොඩක් වැදගත්. ඕනෑම කෙනෙක් ළමා අපචාරකයෙකු විය හැකියි. බොහෝ පුද්ගලයන් පළමුවෙන්ම කරන්නේ දරුවන්ගේ සහ පවුලේ විශ්වාසය දිනාගැනීම. නමුත් වැඩිහිටි ඇසුරට වඩා , ළමා ඇසුරට ප්‍රිය හැමෝම මේ අයුරින් හංවඩු ගැසීමත් වැරදියි.

ඒ නිසා අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම කළ යුතුමයි. දෙමපියෙකු වගේම වගකිව යුතු පුරවැසියෙකුවිදිහට අපේ රටේ මල් වැනි ළමා පරපුර රැක ගැනීමට ඔබේ දායකත්වය දිය හැකිවන්නේ එවිටයි.

fb-like-beg


ඕනෑම වැඩිහිටියෙකු ළමා අපචාරකයෙකු වීමට ඉඩ ඇත.

ඔවුනට විශේෂිත කායික ලක්ෂණයක්, පෙනුමක් , වෘත්තියක් හෝ පෞර්ෂයක් මොවුනට නැහැ. ළමා අපචාරකයෝ ඕනෑම ලිංගයකට, ජාතියකට, ආගමකට අයිතිවිය හැකි අතර හැම විටම ඉතාම සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙසින් සමාජයේ පෙනී සිටිනවා. ඒ නිසා කිසිවෙකු අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම නුවණට හුරු නැහැ.


ඔබ දන්නා කෙනෙකු වීමට ඉඩ ඇත.

අපචාරයට ලක්වූ දරුවන්ගෙන් 30% ක් පමණ පවුලේ සාමාජිකයෙකු විසිනුයි අතවරයට ලක් කර තිබෙන්නේ. 60% ක් පමණ පවුලේ සාමාජිකයෙක් නොවන දන්නා හඳුනන අයෙක් මගින් සිදුවෙලා තියෙනවා. නොදන්නා කෙනෙකු අතින් දරුවන් අපචාරයට ලක් වී ඇත්තේ 10% පමණ ප්‍රතිශතයක් පමණයි.

බොහෝ අවස්ථාවල අසල්වැසියන්, ගුරුවරු, ක්‍රීඩා උපදේශකවරු, පූජක පක්ෂය, දරුවන් බලන මෙහෙකරුවන් වැනි දන්නා පාර්ශව මෙම සාපරාධ ක්‍රියා වලට දායක වෙනවා. ඇතැම්විට දෙමාපිය, භාරකාර දෙමාපියන්, සීයා, සුළුපියා, ඥාති සොහොයුරන් වැනි පවුලේ සාමාජිකයන් අතින්ද දරුවන් අතවරයට ලක් වෙන බව ප්‍රසිද්ධ කරුණක්.


අපචාරකයන්ගේ පොදු ලක්ෂණ පිළිබඳව දැනුමත් වෙන්න.

ඕනෑම කෙනෙකු ළමා අපචාරකයෙකු වීමට ඉඩ ඇති අතරම ඒ අපචාරකයන් අතරින් බොහෝ දෙනා අයත් වෙන්නේ පිරිමි පාර්ශවයයි. ඔවුන් ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද බිලි ගැනීමට ඉඩ තියෙනවා. බොහෝ අපචාරකයන් වෙත තමාද අපචාරයට ලක් වූ අතීතයක් තිබෙන්නට පුළුවන්.. ඇතැමුන්ට ඇත්තේ පෞර්ෂ හා මානසික මට්ටමේ ඇති අසමතුලිතතාවනුයි.


ඔවුන්ගේ පොදු උපාය සහ ගොදුරු

බොහෝ ළමා අපචාරකයන් පෙනී සිටින්නේ දරුවන්ගේ සුභ සිද්ධිය පතන ආදරණීය වැඩිහිටියෙකු ලෙසටයි. ඔවුන් උපක්‍රමශීලීව දෙමාපියන් රවටා දරුවන් තමා සමග තනි කර ගන්නවා. ඔවුන් ඉලක්ක කරන්නේ වැඩිපුර අවධානය , ආදරය නොලබන දරුවනුයි. එම දරුවන්ට සුරක්ෂිත බවක් හඟවා තමාගේ පහත් අරමුණු සඳහා යොදා ගන්න එක තමයි සුලබවම දකින්නට ලැබෙන්නේ. බොහෝ විට ඔවුන් දරුවන්ට සලකන්නේ තමන්ගේ මිතුරන් විදිහටයි. එමගින් වැඩිහිටි බවක් කුඩා වුන්ට ආරෝපණය කරන්න ඔවුන් වග බලා ගන්නවා. මෙවැනි හැසිරීම් ඇත්තන් හමු වුවහොත් හැම විටම සැලකිලිමත් වීම වැඩිහිටියෙකු විදිහට ඔබගේ වගකීමක්.

දෙමාපියන් සහ සමාජය කෙරෙහි වගකීමක් ඇති වැඩිහිටියන් ලෙස ඔබේ සහ මගේ පරම යුතුකම වන්නේ අහිංසක දරුවන් රැක බලා ගැනීමයි. කුඩා කළ සිටම ළමා අපචාරකයන් පිළිබඳව ඔබේ දරුවාව දැනුවත් කරන්න. ඔවුන්ගේ අනාගතයේ යහපැවැත්ම සුරක්ෂිත කරන්නට වග බලාගන්න.

SHARE