විවාහක කතුන් නොසිතා කරන වැරදි නිසා සැමියාගේ සිත රිදෙන අවස්ථා තියෙනවා. දෙදෙනා එක් වූ පසු එකිනෙකා අතර පැවති ගරුත්වය දිගටම තබා ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් කාන්තාවන් දුර දිග නොබලා කරන ඇතැම් වැඩ වලින් එකිනෙකා අතර පැවති ගෞරවනීය බව ගිලිහී යනවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk හරහා ඔබට විවාහක කතුන් අතින් සිදු විය හැකි වැරදි කීපයක් ගැන කියා දෙන්නට.


fb-like-beg


උදව් හෑල්ලුවට ලක් කිරීම.

සමහර සැමියන් බිරිඳට උදව් කරන්න උත්සාහ කරද්දී සමහර බිරින්දෑවරු ඒවා වලක්වන්නේ අපහාසාත්මක වදන් එක්කයි.

“අපෝ ඔයා පැත්තකට වෙන්න, ඔයා ඕක කරනකොට මට දහ සැරයක් ඕක කරලා ඉවර කරගන්න පුළුවන්.”

“ඔයා ලිප පත්තු කරනවා කියලා ඇවිත්, මම පත්තු කරපු ලිපත් නිවලා දායි.”

“ඔයා දන්නවද එළවලු තෝරන්න. මම ගෙනාව නම් මීට වඩා ලාබෙට, මීට වඩා හොඳ එළවලු ගේනවනේ.”

ඒකෙන් වෙන්නේ ඔබේ සැමියා ඔබට ඕනෑ දෙයක් කර ගන්නට ඉඩ දීලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න පෙළඹෙන එකයි. බිරිඳට උදව් කරන්න ඇති වුනු යහපත් සිතුවිල්ල නැති වෙලා යන්නේ බිරිඳගේ මේ හැසිරීමත් එක්කමයි.


ත්‍යාගයන් හෑල්ලුවට ලක් කිරීම.

සැමියා ආසාවෙන් යමක් ගෙන දුන් විට එය හෑල්ලුවට ලක් කිරීම අපේ සමහර කාන්තාවන් තුල පවතින කැත පුරුද්දක්.

“අපෝ ඔය ගානට මීට වඩා වටින දෙයක් ගන්න තිබුණා.”

“මේ පාටට මම කැමති නැහැ. වෙන පාටකින් ගන්න තිබුණා.”

“අපෝ මේ කඩේ ඒවා බාලයි. ටවුන් එකේ අහවල් කඩෙන් ගත්ත නම් මීට වඩා හොඳ එකක් ගන්න තිබුණා.

ඔහු ත්‍යාගය ගෙන එන්නට ඇත්තේ මොන තරම් ආසවෙන්ද ? ඉතින් ඔබ මේ විදිහට ඒ උත්සාහය බාල කරලා කතා කරන එකෙන් වෙන්නේ ඔහුගේ සිත කලකිරීමයි.


ඥාතීන්ව ඈත් කිරීමට උත්සාහ කිරීම.

ඔබව හමු වෙන්නට පෙර ඔහු ජීවිතය බෙදා ගත්තේ ඔහුගේ ඥාතීන් එක්කයි. ඉතින් ඔබ එක සැරේ මැද්දට පැනලා ඒ බැඳීම් මකලා දාන්න කියලා ඔහුට බල කරනවා නම්, එතන ඉතුරු වෙන්නේ ලොකු ප්‍රශ්නයක්.

“ඔයා මටද, අම්මටද වැඩියෙන් ආදරේ?” වගේ ප්‍රශ්න අහන එකෙන් වළකින්න. ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඔබට කරදරයි නම් එය ඔහුට වටහා දෙන්න ඕනේ ප්‍රචණ්ඩකාරී විදිහට නෙවෙයි. ඒ බව ඔහුටම දැනෙන්න දෙන එකයි වඩාත් සුදුසු. ඔබ ඒ බැඳීම් අත අරින්න කියලා ඔබේ සැමියාට කරදර කරන්න ගියොත් එය ඔහුගේ සිත රිදවාවී.


ඉටු කර ගත නොහැකි දේ වෙනුවෙන් දබරවීම.

ඔහුට ලැබෙන මාසික වැටුපේ ප්‍රමාණයෙන් කල හැකි දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඔහුගේ වැටුපේ ප්‍රමාණයට ඉටු කර ගත නොහැකි දේ ඉටු කර දෙන්නැයි ඔහුට කරදර කිරීම සුදුසු නැහැ. එය ඔහු තුල ඇති කරන්නේ නොරිස්සුමක්. බොහෝ විට කාන්තාවන්ට මෙවැනි ආශාවන් ඇති වන්නේ අසල්වැසි නිවෙස් වලට මිලදී ගන්නා අලුත් භාණ්ඩ දැකීමෙන් පසුවයි. අසල්වාසීන් කල දෙයම කරන්නට අපේ කාන්තාවන්ට ඕනෑ වෙනවා. නමුත් අසල්වැසි නිවසේ ආදායම සහ තම නිවසේ ආදායම අතර ඇති වෙනස ගැන වැටහීමක් ඔවුන්ට නැහැ.


තමා ගැන උනන්දු නොවීම.

අප කවුරුත් සුන්දර දෙයට කැමතියි. ඔබේ සැමියාත් සුන්දර දෙයට කැමතියි. ඔබ විවාහයට පෙර රැකගත් සුන්දරත්වය රැක ගන්න දැන් උනන්දුවක් නැත් නම්, එය හොඳ ලකුණක් නොවේ. සැමියා නිවසේ සිටින විට ඔබ ලස්සනට අඳින්නේ නැත්නම්, ඔහු නිතරම ඔබව දකින්නේ රාත්‍රී නිදන ඇඳුම පිටින් පමණක් නම් ඔහුට ඔබ ගැන තිබෙන ආකර්ෂණය අඩු වේගෙන යනවා. ඒ නිසා විවාහයෙන් පසුවත් වෙනසක් නොමැතිවම ඔබේ රූපය ගැන උනන්දු වන්න.


නිදහස සීමා කිරීම.

බොහෝ කාන්තාවන් ආදරය විදිහට දකින්නේ සැමියා තමා අසලම රැඳීමයි. ඔහුට මිතුරන් ඇසුරු කරන්නට, අන්තර්ජාලයේ සැරිසරන්නට, විනෝදාංශ වල නිරත වීමට තහංචි දාන්න කාන්තාවන් ඉතාමත් දක්ෂයි. එත් ඒකෙන් වෙන්නේ තමන්ගේ නිදහස සීමා වීම නිසා සැමියන් කලකිරීමට පත් වීමයි. තම බිරිඳට දහසක් බොරු කියමින්, තමන් කැමති දේවල් වල නිරත වන්නට සැමියන්ට මඟ පාදන්නේ බිරින්දෑවරුන්ගේ මේ වැරදි පුරුද්දයි.

SHARE