ජීවිතය කියන්නේ පුදුමාකාර ගමනක්. හැමවෙලේම ඔබ සාර්ථක වීමට උත්සහ දැරිය යුතුයි. නැත්නම් මනුස්සයෝ ලෙස අපිට ඉදිරියට යන්න බැහැ. නමුත් ඒ එක්කම හිතේ තියා ගන්න ඕනේ සමහර වෙලාවට අනපේක්ෂිත දේවල් වලින් ජීවිතය ඔබට සංග්‍රහ කරන්න හැකි බව. ඒ අනියතකම උරුමය කර ගත්තු අපි ඒ සත්‍යය තේරුම් ගත්තොත් ගැහැනියක් ලෙස වඩා ශක්තිමත් වෙනවා.


fb-like-beg


සුනාමි රල පහර ඇවිත් සමහර අයගේ ව්‍යාපාර මුලින්ම හේදිලා ගියා. හදිසියේ ආදරණීය අය අපෙන් සමු ගන්නවා. ඇතැම් විට ඔබ වැඩ කරන ආයතනයේ සොර කමකට ඔබව හසු වෙන්න පුළුවන්. අනුන් කරන වැරදි වෙනුවෙන් ජීවිතකාලෙම හිරේ යන ගැහැණු ඉන්නවා. සමහර අයගේ දරුවෝ අංග විකල වෙනවා. මොනවා වුනත් ජීවිතේට සාර්ථකව ජීවත් වෙනකම් මුහුණ දෙන එක තමයි අපේ වගකීම විය යුත්තේ.

ඒ වගේම සාර්ථකත්වය අපි සොයාගෙන ආවහම අපි වඩාත් නිරහංකාර විය යුතුයි. අහංකාර වෙන්න ගියොත් අපි ඒ දේවල් යොදාගෙන අනුන් පෙලන්න ගියොත් ඒ දේවල් අපෙන් ගිලිහෙනවා බොහොම ඉක්මනට.

අපගේ ආයතනයේ උපදේශන සේවයට පැමිණි එක කාන්තාවක් ඉතාම තදින් මානසික අවපීඩනයට ලක් වී සිටියා. ඇයව මනෝ වෛද්‍ය උපදේශකයෙක් වෙත යොමු කර ඕෂධ සහ උපදේශන ප්‍රතිකාර සමග දැන් සුව අතට හැරී තිබෙනවා. ඇගේ කතාව ඔබ හැමෝටම වැදගත් වේවි. අපි ඇයව නීලා නමින් හඳුන්වමු.

නීලා ඉතා හොඳින් ඉගෙන ගත්තා. තමන්ගේ පෙම්වතා සමග විවාහ වුනා. ඔහු ඉතාම හොඳ සැමියෙක්. ඇය කියන දේවල් දේව කාරිය වගේ ඉටු කළා. ඔහු ඉතාම මහන්සියෙන් වැඩ කළා ගේ දොර හැදුවා. මෙහෙම කාලේ ගෙවෙද්දී නීලා ඉතාම අහංකාර වුනා. ඇය හැම දෙනාටම කීවේ සැමියාට හරි යන්නේ තමන්ගේ වාසනාව නිසා කියල. මේ අතරේ ඇය තමන්ගේ රැකියාව කරන ආයතනයේ අය සමග අමනාප වුනා. ඒ ඇය අපිට සල්ලි තියනවා. අපි වෙනස්, විශේෂයි වගේ ආකල්පෙකින් හැසිරුණ නිසා. ප්‍රධානියා සමග ප්‍රශ්නයක් ඇති කර ගෙන ඇය රැකියාවෙන් ඉවත් වුනේ තමන්ගේ ආර්ථික තත්වය හැමෝටම පේන්නත් එක්ක.

“අපෝ මම රස්සාව කරන්නේ ගෙදර ඉන්න බැරි කමට. මට නිකන් මේ මිනිස්සුන්ගේ කතා අහන්න බැහැ” කියලයි ඇය ඉවත් වුනේ.

ඇය සැමියාට සැලකුවෙත් මෙහෙ කාරයෙක්ට වගේ. ඔහුගේ දෙමාපියන්ට පවා ඉතාම අහංකාර ලෙස හැසිරුනා. පසුව ගෙදර වැඩ කිරීම තමා වගේ උගත් කාන්තාවකට ගැලපෙන්නේ නැහැ කියා ගෙදර වැඩත් සැමියා පිට පැටවුවා. සේවකයෝ ආවත් ඇය සමග ඉන්න සතුටු වුනේ නැහැ. ඇගේ අහංකාරය නිසා ඥාතීන් පවා තරහා වුන වෙලාවල් එමටයි. ඇගේ වචනය විතරයි මේ ලෝකයේ පැවතිය යුත්තේ කියන ආකල්පයෙන් තමා ඇය නිතරම හිටියේ. සැමියා කොහේවත් මිතුරෙක්වත් හමු වෙන්න දෙන්නේ නැතුව කොටු කරගෙන ඇය ගොඩක් ආඩම්බර වුනා.

“ අපෝ අපේ එක්කෙනාට නම් මම කොහෙවත් යන්න දෙන්නේ නැහැ. “ කියන දේ ඇය නිතරම අහන්කාරෙන් හැමෝටම කීවා.

ඇයට වැටහුනේ නැහැ මේ දේවල් නිසා තමාගේ සාර්ථකත්වය හේතුව තමාගෙන් දුරස් වේවි කියල. ඇය ගැන බලවත් කලකිරීමෙන් සිටි සැමියා හදිස්සියේ විදේශගත වුනා. ඔහු නැවත ලංකාවට පැමිණියේ නැහැ. ඔහුට ඇයව එපා වෙලා ඇයව අතහැර දැමුනා.

මුදල් තිබුනත් තමන්ගේ අහංකාරය එක මොහොතින් කඩා වැටුන නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක් වුනා. පසුව උපදේශන හා ඕෂධ ප්‍රතිකාර සමග ඇගේ පීඩනය දුරු කර ගත්තා. අදත් ඇය සාර්ථක වීම වෙනුවෙන් තනිවම ජීවිතේට මුහුණ දෙනවා. තමන්ගේ අසීමාන්තික අහංකාරය නිසා ජීවිතේ විනාශ වුන බව ඇය හැමවිටම සිතා පසු තැවෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. විනාශ වුන දේ විනාශ වෙලා ඉවරයි.

සාර්ථක වෙද්දී ඔබ වඩාත් නිරහංකාර වෙන්න. හරියද්දී හැමෝටම ස්තුතිවන්ත වෙන්න. ඔබ කාලා ඇඳලා යහතින් ඉන්නේ ඔබේ සැමියා නිසා නම්, ඔහුගේ දෙමාපියෝ නිසා නම්, ආයතනය නිසා නම් හැමවිටම ඔබෙන් විය යුතු යුතුකම් අඩු නැතුව ඉටු කරන්න. ඒ වගේම ඕනෙම දෙයක් ඕනෙම වෙලාවක කඩා වැටෙනවා කියන සත්‍යය අමතක කරන්න එපා.

SHARE