fb-like-beg


ඔබ වෙනුවෙන් – 4 කොටස

වුර්තීය ජීවිතේදී අපි දකිනවා ගොඩක් C ලෙවල් එකේ තනතුරු දරන්නේ පිරිමි. එයට එක හේතුවක් තමා ගැහැනුන් වන අපිට ස්වභාවිකව පැවරිලා ඇති රාජකාරිය. ඒ කියන්නේ ගේ දොර වගකීම් සහ අපේ පැටවුන් රැක බලා ගැනීමේ කායික වගකීම වැඩි මනක් පැවරිලා ඇත්තේ ගැහැනුන්ටයි. දැන් දැන් මේ චරිත තරමක් වෙනස් වෙමින් තිබෙනවා.

අපේ සීයා දරුවෙක්ගේ රෙද්දක් මාරු කරන්න, උයන්න දැන හිටියේ නැහැ. අපේ තාත්තා සැහෙන්න අම්මට උදවු කළා. දැන් මගේ සහෝදරයා දරුවෝ නාවනවා. රෙදි මාරු කරනවා. කිරි හදනවා. භාර්යාවෝ උපයන්න පටන් ගැනීම් සමග පිරිමිත් ගොඩක් දුරට අනුවර්තනය වෙලා. නමුත් තාමත් ගැබ් දැරීම සහ කිරි දීම එක්ක එන ශාරීරික දායක වීමත් එක්ක බොහෝ කාන්තාවන්ගේ වුර්තීය ජීවිතය පිරිමින්ට සාපේක්ෂව පහලට යනවා.

ඒ ජීව විද්‍යාත්මක හේතුවට අමතරව තවත් හේතු කීපයක් මා අධ්‍යනය කර තිබෙනවා.


01) කාන්තාවන්ට වුර්තීය ජීවිතේ ඉහල නගින්න සහෝදර ගැහැණුන්ගෙන් ලැබෙන උදවු අඩුයි

කිසියම් කාන්තාවක් දක්ෂ ලෙස සේවයේ යෙදෙද්දී අනික් කාන්තාවන්ගෙන් ලැබෙන කෙනෙහිලි ගොඩක් වැඩියි. කාන්තාවෝ සහජයෙන්ම අනික් කාන්තාවෝ දකින්නේ තමන්ගේ තරඟ කාරියක් ලෙසයි. ඒ ඉන්න පිරිමි අතරින් හොඳම කෙනා තමා වෙත ඇද ගැනීමේ සහජ නැමියාවෙන් පැමිනි සිරිතක්.

නමුත් අප සිතිය යුත්තේ දැන් ඒ කාලය ගෙවිලා ගිහින්. අපි දැන් ඉන්නේ අලුත්ම යුගයක. ගැහැණු ලෙස අපේ අරගලය දිනීමට නම් එකිනෙකා කෙරෙහි ඉරිසියා කිරීම සහ අකුල් හෙලීම පසෙක තබා අපේ බලය තර කර ගත යුතුයි.

බොහෝ විට ඉහළ පුටු වල ඉන්න ගැහැණු, නැගීගෙන එන තරුණ විධායිකාවන් එක්ක ගොඩක් තරහයි. කොහොම හරි ආයතනයෙන් එලවන්න බලාගෙන දක්ෂ කාන්තාවක් ඇත්නම් කෙනෙහිලි කරනවා. යමක් ඉගෙන ගන්නවා නම් එයට බාධා කරනවා. මෙයින් වෙන්නේ සීමිත ගණනක් වෙන ගැහැණු තව දුරටත් වුර්තීය ජීවිතයෙන් ඉවත් වෙනවා.


02) කාන්තාවක් ඉහලට යද්දී බොහෝ පිරිමි අයට දැනෙන්නේ මදිකමක් ලෙසයි

වුර්තියක් එපා පාරේ පිරිමියෙක්ව ඉස්සර කරලා හදිස්සියකට වාහනේ එලවන්න. එවිට ඔබට බලා ගන්න පුළුවන් පිරිමියෙක් කොතරම් අකමැතිද ගැහැනියක් ඉස්සර වෙනවට කියල. ව්‍යායාම වලට ඇවිදින්න යන ගැහැණු බොහෝ විට කුණුහරප ප්‍රහාර වලට මහා මාර්ග වලදි ලක් වෙනවා.

මොකද ඒ ආකල්පය තමයි “මුන් ගෙවල් වලට වෙලා නොයිඳ ලොකු වැඩ කරන්න යනවා. දෙන්නම් වැඩේ කියන “ ආකල්පය.

අපි ශිෂ්ට මිනිස්සු ලෙස මේ යක්ෂ ස්වභාවික නැමියාවල් දුරෙන් දුරු කළ යුතුයි. සමාජය ආපස්සට ගෙනයන මේ ආකල්ප වලින් මිදෙන්නට හිත ශක්තිමත් කර ගත යුතුයි.


03) වුර්තීය කරුණු වලට අපවාදය ගාවා ගැනීම

අපේ ආසියාතික සමාජයේදී අපවාද කියන දේවල් ගැහැණු උදවිය මහ ඉහලින් පිලිගන්නවා. මා වසර කීපයක් සමාජ මාධ්‍ය වල මගේ අදහස් ලියන කෙනෙක්. බොහෝ විට අදහසට ප්‍රති තර්ක කරන්න ශක්තියක් නැති වෙද්දී, බොහෝ දෙනෙක් එක්කෝ මගේ පෙනුමේ අඩුපාඩුවක්, වයස, හෝ ඉතාම කැත කුණුහරපයක්, බොරු මඩ ප්‍රචාරයක් බොහොම පහසුවෙන් යොදා ගන්නවා… මොකද ඔවුන් හොඳින් දන්නවා මෙවැනි දේවල් වලින් කාන්තාවක් නිහඩ කරන්න පහසුයි කියල.

පිරිමියෙක්ට අපහාසයක් කිරීම එතරම් ලොකුවට නොගන්න සමාජෙක කාන්තාවන්ට වෙන අපහාස මහ ඉහලින් සලකනවා. වුර්තීය ජීවිතේදීත් මෙහෙමයි. කිසියම් කාන්තාවක් දක්ෂ නම් පහසුම දේ ඕපදූපයක් පැතිරීම, ඒ මගින් ආයතනයෙන් ඒ කාන්තාව ඉවත් කිරීම, වෙන කෙනෙක් ලවා නිග්‍රහ කරවීම වගේ දේවල් ඉදිරියට එනවා.

මම නම් ගැහැනියක් වුනාට හැමදාම සහෝදර ගැහැනුන් වෙනුවෙන් මගේ අත හැම වෙලේම දිගු කරා. මොකද වුර්තීය ජීවිතේ එන පීඩනයන් මා තරම් හොඳින් දන්නා කෙනෙක් නැති නිසා. ඔබ තව කෙනෙක් නැගිට්ටද්දී අනිවාර්යෙන් ඒ ආශීර්වාදය ඔබ කරා එනවා. ඔබේ දරුවෝ කරා යනවා. කාන්තාවෝ වශයෙන් අපේ නියෝජනය ඉහල තැන් වල වැඩි කර ගැනීම අපේ වගකීමක්.

කුඩා සරු අංකුර දකිද්දී පොඩි කරන්න එපා. වතුර දාල පෝෂණය කරන්න. එය දවසක මහ ගසක් වේවි. එයින් ලෝකෙට සෙතක් සැලසේවි.

SHARE