කාන්තාව කියන පුද්ගලයාව අතීත සමාජයේ පිළිගනු ලැබුවේ කුස්සිය මුල්ලේ ඉන්න නියමිත චරිතයක් විදිහටයි. අද වෙද්දී ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා. අද ඉහලට ඉගෙනගෙන හොඳ රැකියා වල නිරත වන කාන්තාවන් වගේම, තමාගේම ව්‍යාපාර අරඹා දියුණු වුණු කාන්තාවනුත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් අපේ සමාජය තුලින් තවමත් අර පරණ මතය සම්පුර්ණයෙන්ම ගිලිහිලා නෑ. විවාහයත් එක්කම තමන්ගේ රැකියාවට සමු දෙන කාන්තාවෝ අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා. උයලා පිහලා, ගෙදර වැඩ ටික කරලා දවසම ටීවී බල බල කාලය ගෙවන කාන්තාවෝ අපේ රටේ ඉන්නවා. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා සාර්ථක කාන්තාවකගේ ලක්ෂණ ගැන කතා කරන්න.


fb-like-beg


බලාපොරොත්තුවක් ඇති කරගෙන එය ඉටු කර ගන්න වෙහෙසෙනවා

සාර්ථක කාන්තාවක් ජිවත් වෙන්නන් වාලේ ජිවත් නොවී, තමාගේ ජිවිතයට පුංචි පුංචි බලාපොරොත්තු ඇති කර ගන්නවා. විවාහයෙන් පසු කම්මැලි වෙන ගැහැණු බහුතරයක් අතරේ ඇය තමාගේ පවුලට හා රටට සවියක් විය හැකි මොනවා හෝ කරන්න පෙළඹෙනවා.

උදා : රැකියාවේ ඉහලට යෑම, තමාගේම ව්‍යාපාරයක් ඇරඹීම


ගැටලුවකදී ඉක්මන් සහ ස්ථිර තීරණ ගන්නවා

ගෙදර පොඩි ප්‍රශ්නයක් වුණාම, මොකක් හරි කැඩුනම, දරුවෙක් අසනීප වුණාම ඇය සැමියා නිවසට එන තුරු හඬමින් බලාගෙන ඉන්නේ නැහැ. ඒ ගැටළුව විසඳන්න ඇය ඇයට කළ හැකි දේ ඉක්මනින් කරනවා. රැකියාවේ හෝ ව්‍යාපාරයේ ගැටළුවක් ඇති වුණත් ඇය බිය වන්නේ නැහැ. බියක් ඇති වුණත් ඇය එය අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඇය නොසැලී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා.


ඇය ඇයව අමතක කරන්නේ නැහැ

සාර්ථකත්වය හොයා ගෙන යන කාන්තාවක් කවදාවත් තමාගේ සෞඛ්‍යය, පෙනුම සහ අනෙකුත් රාජකාරීන් අමතක කරන්නේ නැහැ. සාර්ථක කාන්තාවක් තමාගේ පෙනුම රැක ගන්න, භාවනා කරන්න සහ බර පාලනය කර ගන්න ඔවුන්ගේ කාලයෙන් ඉඩක් අනිවාර්යයෙන්ම වෙන් කරනවා.


ඔවුන් තම පවුලේ සාමාජිකයන්ව අමතක කරන්නේ නැහැ

ඔවුන් උත්සාහ කරන්නේ ඵලදායී යමක් කරන්න මිස, කාර්යබහුල වෙන්න නෙවේ. රැකියාවේ ඉහලට යන්න හෝ ස්වයං රැකියාව දියුණු කර ගන්න නම් ඇය ඇගේ වැඩ රාජකාරි හරියට කරනවා මිසක්, වැඩ කටයුතු වලට කාර්යබහුල වෙමින් නිවස සහ දරුවන්ව අමතක කරලා දාන්නේ නැහැ. කාන්තාවක් බාහිර වැඩ නිසා නිවස අමතක කළොත්, පවුලේ සාමාජිකයන් ඇගේ අරමුණට විරුද්ධ වෙන එක ස්ථිරයි. නමුත් සාර්ථක කාන්තාවක් ඵලදායී යමක් කර පෙන්වමින්, පවුලේ අයගේ අනුමැතිය සහ උපකාර ලබා ගන්න දක්ෂ වෙනවා.


ඔවුන් උගුල් වලට හසු වෙන්නේ නැහැ

ඇගේ අරමුණට හිනා වෙන, බාධා කරන අය ඇයට ඕනෑ තරම් මුණ ගැහෙන්න පුළුවන්. ඇගේ අවධානය වෙන අතකට යොමු කරවන්න ඕපාදුප කියවන්න එන අසල්වාසීන්ට ඇය හසු වෙන්නේ නැහැ. අරමුණට කැප වෙන වෙලාවේ ටීවී එකේ යන මොකක් හරි බොළඳ ටෙලි නාට්‍යයක් බලන්න කියලා ඇගේ මිතුරියන් ඇයව පොළඹවන්න උත්සාහ කරාවි. ඒත් ඇය ඒවාට සිනහමුසුව නිහඬ ප්‍රතිචාරයක් දක්වා කෙසේ හෝ ඇගේ අරමුණ වෙත ලඟා වෙනවා.


ඇය ඕනෑවට වඩා ඇගේ පහසුව ගැන හිතන්නේ නැහැ

රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර ගෙදර ඉන්න කාන්තාවකට ඇගේ දහවල් වරුව ටීවී සහ චිත්‍රපට නැරඹීමට, මිතුරියන් සමඟ විනෝද වීමට හෝ නිදා ගැනීමට යොදවන්න පුළුවන්. නමුත් සාර්ථක කාන්තාවක් ඇගේ පහසුව ගැන ඕනෑවට වඩා සලකන්න යන්නේ නැහැ. ඒ කාලය ඇය ඇගේ අරමුණ වෙනුවෙන් යොදවනවා.


පියවරෙන් පියවර ඉහලට නඟිනවා

තමන්ගේ අරමුණු ඇය ඉෂ්ඨ කර ගන්නේ පියවරෙන් පියවරයි. එක සැරේ දිනන්න බැහැ කියලා ඇය දන්නවා. එක සැරේ දිනන්න බැරි වීම ගැන ඇය දුක් වෙන්නෙත් නැහැ. ඒ වගේම, මේ වන විට තමන් සිටින තත්වය දැන ගැනීම පිණිස ඇය විටින් විට එය මැනලා බලනවා. තමන්ගේ අඩු පාඩු වලින් ඇය අළුත් යමක් ඉගෙන ගන්නවා.


ඇය කාලය ගත කරන්න නිවැරදි පුද්ගලයන්ව තෝරා ගන්නවා

ඇය ඇයව අධෛර්යට පත් කරන අය, ඇයගේ අරමුණ වෙනස් කරන්න හදන, ගැහැණියක් ගේ මුල්ලේ කොටු විය යුතුයි කියලා යල් පැන ගිය අදහස් දරණ අයගෙන් ඈත් වෙලා ඉන්නවා. ඒ වෙනුවට ඇය සමාජයේ සාර්ථක වෙලා ඉන්න චරිත ඇසුරු කරනවා. ඔවුන්ගෙන් ගත හැකි සියලු ආදර්ශ ලබා ගන්නවා.

SHARE