ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම්, එය සමබර කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. සමහරු සතුට හොයාගෙන යන්නේ එක අංශයක් ඔස්සේ පමණයි. ඔවුන් එම අංශයෙන් ඉදිරියටම ගියත්, සෙසු අංශ දිනා ගත නොහැකි වුනු නිසා ඔවුන් බලාපොරොත්තු වූ සතුට ලබා ගන්නට නොහැකි වෙනවා. මේ නිසා ඔබ ඔබේ ජිවිතයේ වැදගත්ම අංශ නිවැරදිව හඳුනාගෙන, ඒවා සියල්ලක්ම සමබරව දිනා ගැනීමට උත්සාහ කරන්න. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය වෙතින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.


fb-like-beg


1 පවුලේ සාමාජිකයන්

වෙනත් අරමුණු ඉටු කර ගන්නට යන ගමනේදී බොහෝ දෙනෙක්ට අමතක වන කොටස තමයි තමන්ගේ පවුල. අධ්‍යාපනය, රැකියාව වැනි අරමුණු ඔස්සේ දිව යන විට, ඔබ ඔබේ පවුලේ සාමාජිකයන්ව අතපසු කරනවා නම් ඔබට කවදාවත් සතුටු වන්නට ලැබෙන්නේ නැහැ. හැල්මේ ජීවිතය හඹා ගොස්, අවසානයේ හරි බලන විට පවුලේ සාමාජිකයන් අහිමි වි තිබීම නිසා දුක් විඳින මිනිසුන් ඕනෑ තරම් සිටිනවා. මනුෂ්‍යයා තනිව ජිවත් විය හැකි සත්වයෙක් නොවේ. මනුෂ්‍යයාගේ මානසික තත්වය යහපත් වීමට නම් ඔහුට ආදරය, උණුසුම, රැකවරණය හා සෙනෙහස ආදිය ලැබිය යුතුමයි. මේවා ලබා ගත හැකි මාර්ගය පවුලයි. මේ නිසා ඔබේ ජිවිතයේ අනෙක් අරමුණු වලට දෙනවා හා සමාන තැනක් ඔබ පවුල වෙනුවෙන් දිය යුතුයි.

2  අධ්‍යාපනය/ රැකියාව/ ව්‍යාපාරය

ජිවිතයේ අනෙක් සෑම අරමුණක්ම ඉටු කර ගැනීම වඩාත් පහසු වන්නේ හොඳ මුල්‍ය ශක්තියක් ඇති විටයි. මේ වෙනුවෙන් හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමත්, හොඳ රැකියාවක හෝ තමාගේම ව්‍යාපාරයක නිරත වීමත් වැදගත් වෙනවා. හොඳ පවුල් ජිවිතයක් ගෙවීම සඳහා හොඳ ආර්ථික තත්වයක් හා ස්ථාවරත්වයක් අවශ්‍යයි. මේ නිසා ඔබ අධ්‍යාපනය ලබන වයසේ අයෙක් නම් ඒ වෙනුවෙනුත්, නැති නම් ඔබේ මුල්‍ය ස්ථාවරත්වය සකසා ගැනීම වෙනුවෙනුත් අනෙක් අරමුණු හා සමානවම හොඳ උත්සාහයක් යෙදිය යුතුයි.

3 සමාජීය කටයුතු

ඔබේ පවුලයි, ඔබේ මුදල් වලටයි පමණක් ඔබේ ජීවිතය තනිව සුන්දර කරන්න බැහැ. මනුෂ්‍යයා තමා ජිවත් වන පරිසරයේම කොටසක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඔහුට සිදු වෙනවා තමා අවට ඇති සමාජය හා පරිසරය සමඟ ගැටෙන්නට. සෙසු අරමුණු වලට වෙහෙස වීමේදී ඇති වන විඩාව සමනය කර ගන්නට ඔහුට උපකාර වන්නේ සෙසු සමාජය සහ පරිසරයයි. ඒ වෙනුවෙන් ඔහු හොඳ මිතුරු ඇසුරක් පවත්වා ගැනීමත්, තමා අවට ඇති සවාභාවික පරිසරය විනාශ වෙන්නට නොදී රැක ගැනීමත් කල යුතු වෙනවා. තමා අවට සමාජයේ ඇති සමිති සමාගම් සහ පොදු වැඩ වලින් ඈත් වී සිටීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවේ.

4 අධ්‍යාත්මික කටයුතු

ආගම් වලින් මිනිසාව හුරු කරන්නේ යහපත් ලෙස ජිවත් වීමටයි. වැරදි දේ සහ නිවැරදි දේ වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාව මිනිසාට ලබා දෙන්නේ ආගම විසිනුයි. තමා අදහන ආගමකට අනුව ජිවත් වීමෙන් මිනිසුන්ට මානසික සතුට අත් වෙනවා. අද කාලයේ ආගම් නොඅදහන පිරිසකුත් සිටිනවා. කෙසේ වෙතත් අන් අයට යහපත කිරීමට පෙළඹීම, උපකාර අවශ්‍ය අයට උපකාර ලබා දීම, දයාව අවශ්‍ය තැනට දයාව ලබා දීම වැනි යහගුණ වල නිරත වීමෙන් ඔබට සුවිසල් මානසික සහනයක් අත් කර ගත හැකි වෙනවා. ආගම් සහ පිළිවෙත් අනුව ක්‍රියා නොකලත්, අනුනට සෙත සැලසිය හැකි නම් එය ඔබේ ජිවිත ගමනට ශක්තියක් වෙන්නේ ඔබටත් නොදැනීමයි.

5 තම සෞඛ්‍යය

අනෙක් අරමුණු හඹා යන විට තමාගේ සෞඛ්‍යය අමතක කිරීමෙන් විපතට පත් වන බොහෝ අය සිටිනවා. තමන්ගේ සිහින ඉටු කර ගැනීමට ඔන්න මෙන්න තියා තිබියදී ලෙඩ ඇඳට වැටී, සියලු බලාපොරොත්තු සුන් වුවන් බොහෝ අය සිටිනවා. මෙසේ වන්නේ තම සෞඛ්‍යය ගැන නොසිතා අනෙක් අරමුණු වෙනුවෙන් වැඩ කිරීම නිසායි. මේ නිසා නිරන්තරයෙන්ම ඔබේ මානසික සහ කායික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. නින්ද, විවේකය, ව්‍යායාම කිරීම, විනෝදය ලබා ගැනීම, භාවනා කිරීම සහ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම මඟින් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබ සතුය.

SHARE