තැම් අය තමන්ට වරදක් කළ අයෙකුට ලේසියෙන් සමාව දෙන්නේ නැහැ. කරපු වරද හිතේ තියාගෙන, අනිත් කෙනාට වෛර කරමින් ජීවත්වීම ඔබ හිතන තරම් හොඳ නැහැ. තවත් සමහරු ඉන්නවා, සමාව දුන් බව පවසමින් වරද මතක තබාගෙන ඉන්න. ඒත් නිවැරදි සමාව දීමකින් සිදු කෙරන්නේ, සිදු වූ වරද සම්පුර්ණයෙන්ම අමතක කර දැමීමයි. සිතේ පැසවෙමින් තිබෙන වෛරය ඔබේ මනස සහ ශරීරය රෝගී කරවන බව ඔබ දන්නවාද? ඉතින් සමාව දීමේ වැදගත්කම ගැන ඔබට goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ලිපියක් ඉදිරිපත් කරන්න අද අපි තීරණය කළා.

අනුන් තමාට කළ වැරදි දිගින් දිගටම සිතේ තබාගෙන සිටීමෙන් අහිතකර ප්‍රතිඵල රැසක් ඔබට අත් වෙනවා.


fb-like-beg


ඔබේ සිත තුල අප්‍රසන්නශීලී හැඟීම් දළුලනවා

ඔබ කුමන කටයුත්තක් කිරීමට උත්සාහ කළත් ඔබේ සිත තුල තිබෙන්නේ තරහවක්. ඔබට වැරදි කළ පුද්ගලයා හා ඔහු සම්බන්ධ ඕනෑම දෙයක් ඔබේ ඇස ගැටුණු සැනින් ඔබට සිහි වන්නේ ඒ පැරණි සිදුවීමයි. ඔබේ සිත තුල නිරන්තරයෙන් කෝප සහගත හැඟීම් ඇති වෙද්දී, ඔබ නොසන්සුන් වෙනවා. ඔබේ සමීපයෙන් සිටින අනෙක් අයවත් ඔබට රුස්සන්නේ නැහැ. කවුරුන් හෝ අනෙකාගේ හොඳක් කිවත් ඔබට ඇති වන්නේ නොරිස්සුමක්. ඔබේ සිත තුල ඉතිරි වන්නේ වේදනාවක් පමණයි.


ඔබේ නිදහස අහිමි වී යනවා

නිදහසේ ඉන්න වෙලාවල් වල අපිට ජීවිතය ගැන, පරිසරය ගැන සහ අපේ ආදරණියයන් ගැන විවිධ සිතුවිලි හට ගන්නවා. නමුත් වෛරයෙන් සිටින අයෙකුගේ සිතට නිදහස් වේලාවන් වල පැමිණෙන්නේ වෛරී සිතුවිලියි. පෙර ඇති වූ වේදනාකාරී සිදුවීම සිහි කරමින් ඔවුන් නිරන්තරයෙන්ම කල් ගෙවනවා. විනෝද වීමට, නිදහසේ පොතක් කියවීමට හෝ රූපවාහිනිය නැරඹීමට ඔවුන්ට අපහසුයි. ඒ සෑම වෙලාවකදීම වේදනාත්මක සිතුවිලි ඔවුන්ට බාධා ඇති කරවනවා.


තරහෙන් ඉන්න අයට නින්ද යන්නේ නැහැ

සුවදායි නින්දක් ලබා ගැනීමට නම්, ඔබගේ මනස සුවදායි විය යුතුයි. නමුත් ඔබේ සිතේ තරහව සහ වෛරය පැසවෙමින් පවතිනවා නම්, ඔබට සුවදායි නින්දක් ලබා ගන්න බැරි වෙනවා. නිදා ගැනීම සඳහා ඇඳට ගොස්, විදුලු බුබුල නිවා දැමූ පසු ඔබේ සිතට නැඟෙන්නේ ඔබේ තරහකරුගේ මුහුණයි. ඉතින් ඔබ වෙත නින්ද ඒමට ගොඩක් වෙලා යනවා.


වර්තමානයේ ජිවත් වීමේ අවස්ථාව අහිමි වීම

පැරණි සිදුවීම් හිතේ තියාගෙන ඉන්න තරමට ඔබට ජිවත් වීමට සිදු වන්නේ අතීතයේයි. අතීතයේ වේදනාත්මක සිදුවීම් ගැන සිතමින් සිටිනා තරමට, ඔබට වර්තමානයේ ජිවත් වීමට ඇති අවස්ථාව අහිමි වී යනවා. අතීතයේ වේදනාවන් නිසා බොහෝ අයට වර්තමානයේ ඇති සතුට අත් විඳීමට නොහැකි වෙනවා. ඔබ වටා ප්‍රීති වීමේ කාරණා දහසක් තිබුණත්, සිතේ ඇති තරහව නිසා ඔබට ඒවා නොපෙනී යනවා.


ඔබේ හිතවතුන් ඔබට අහිමි වී යාම

මෙසේ වීමට හේතු වන්නේ ඔබ ඔවුන්ගෙන් වෙන වැරදි වලට සමාව නොදී, පලි ගැනීමට සහ වෛර කිරීමට පෙළඹීමයි. සිතේ තරහව රඳවාගෙන සිටීමේදී ඔබ ඔබේ බැල්මෙන් හා වචන වලින් පවා ඔබටත් නොදනිම ඔබ ඔවුන්ව රිදවනවා. ඉතින් එකිනෙකා ඔබෙන් දුරස්ව යන්නේ ඔබටත් නොදැනීමයි. මීට අමතරව ඔබ වෙනත් කෙනෙකු සමඟ අමනාපයෙන් සිටියදී වුවත්, ඔබ පසු වන්නේ නොරිස්සුම්සහගත විලාශයකින්. ඔබ වැඩිදුර නොසිතුවත්, ඔබ වටා සිටින අයට මෙය දැනෙනවා. සිතේ ඇති නොරිස්සුමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට වරදක් නොකළ අය සමඟ පවා නිතරම තරහා ඇති වෙනවා. ඉතින් ඔබ වටා සිටිනා හිතවතුන් ඔබෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙනවා.


රෝගී වීම

සිතේ පවතින දිගු කාලීන තරහවේ ප්‍රතිඵලයක් ලෙස ඔබේ මනස සහ ශරීරය රෝගී වෙනවා. ඔබේ ආහාර රුචිය අහිමි වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. වෛරයෙන් පසු වන පුද්ගලයාගේ සිරුරේ සීනි මට්ටම ඉහල යාමටත්, රුධිර නාල වල බැඳෙන මේද ප්‍රමාණය වැඩි වීමත්, හදවත් රෝග වැළඳීමටත්, අධි රුධිර පීඩනය වැළඳීමටත්, සිරුරේ හෝමෝන වෙනස් වීමටත් වැඩි අවදානමක් පවතිනවා.

ඉතින් මේ විදිහේ ගැටළු ඇති නොවීමට නම්, ඔබ ඔබට වැරදි කළ අයට සමාව දී ඒවා අමතක කළ යුතුයි.

SHARE