“අපේ දරුවා අනිත් දරුවන්ට සාපේක්ෂව කතා කරනවා වැඩියි. හරිම කතා පෙට්ටියක්. ඕනේ දේවලුයි, එපා දේවලුයි ඔක්කොම කියවනවා.” මෙහෙම මැසිවිලි නඟන දෙමව්පියෝ ඕනේ තරම් ඔබට මුණ ගැහිලා ඇති. ඇත්තටම මොකද්ද මේ පමණට වඩා කතා කිරීමේ ලක්ෂණය? මේ තත්වය බය වෙන්න ඕනේ දෙයක්ද? දෙමව්පියන්ට මෙය විසඳා ගත හැකි මඟක් තියෙනවාද? අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.


fb-like-beg


 

පමණට වඩා කතා කිරීමට හුරු වීමේ අවාසි වගේම වාසිත් තියෙනවා.

වාසි

  • මේ වගේ දරුවන් විවෘත කරපු පොතක් වගෙයි. ඔවුන්ගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔවුන් දෙමව්පියන්ට හෙළි කරනවා. දෙමව්පියන්ට ආයේ අමුතුවෙන් තමන්ගේ දරුවාව තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ වෙන්නේ නැහැ.
  • කතා කරන දරුවන් හරිම විනෝදජනකයි. ඔවුන් තමා අවට සිටින හැම දෙනාවම සතුටට පත් කරවනවා. දෙමව්පියන්ට මේ දරුවෝ එක්ක ඉද්දි පාළුවක් දැනෙන්නේ නැහැ.
  • මේ දරුවන් හරිම මිත්‍රශීලියි. කොහේ ගියත්, කවුරු හමු වුනත් ඔවුන් එක්ක මිතුරු වෙන්න මේ අය හරිම දක්ෂයි. ඔබ දරුවා එක්ක යන ගමන් වලදී මිතුරන් ඇති කර ගැනීමේ කාර්යයට ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔබේ පුංචි පැටියා ඔබට මුණ ගැහෙන හැම දෙනාවම එක මොහොතින් මිතුරු කරලා දේවි.
  • මෙවැනි දරුවන් වචන පිට කරන්නේ හරිම අවංකව. තමන්ට හිතෙන දේ කියලා දාන ගතියක් මේ දරුවන් තුල සැඟවිලා තියෙනවා. ඔබට මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් දරුවා දක්වන අදහස විමසන්න අවශ්‍ය වුනෝතින් අනිවාර්යයෙන්ම දරුවා ඔබට පවසන්නේ ඔහුගේ අවංකම අදහසයි.

උදා: ඔබ අඳින ඇඳුම පිළිබඳව දරුවාගෙන් අදහස් විමසීම  

  • මෙවැනි දරුවන් ඉතා ඉක්මනින් සාර්ථකත්වය වෙත පිය නගනවා. මිතුරන් ඇති කර ගැනීමේ හැකියාව, දකින දකින දේවල් ගැන ප්‍රශ්න කර ඒවා අවබෝධ කර ගන්නට උත්සාහ කිරීම, සමාජශීලි බව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව වැනි හැකියාවන් උපතින්ම පිහිටන නිසා මේ දරුවන්ට සාර්ථක වෙන්න ගොඩක් ලේසියි.

අවාසි

  • ඔබට මේ වගේ දරුවෙක් එක්ක කවදාවත් නිශ්ශබ්දතාවය රස විඳින්න නම් ලැබෙන්නේ නැහැ. කොයි වෙලෙත් අහන ප්‍රශ්න, කියන කතා වලින් ඔබ හෙම්බත් වේවි. ඔබට නිහඬව ඉන්න අවස්තාව ලැබෙන්නේ නින්දේදී පමණක් වේවි.
  • පොඩි දරුවන් කොහොමත් දකින දකින දේ ගැන ප්‍රශ්න අහනවා. ඒත් වැඩිපුර කතා කරන දරුවන්ගේ ප්‍රශ්න වල සීමාවක් නම් නැති වෙයි. ඔබ එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න කලින් තව ප්‍රශ්නයක් අහන එක මේ දරුවන්ගේ ලක්ෂණයක්.
  • සමහර වෙලාවට ඔබට කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙම නැහැ. මේ දරුවන් නොනවත්වා කතා කරන විට ඔබට ඉන්නට වෙන්නේ නිහඬ වෙලයි.
  • මේ දරුවන් තුල සවන් දීමේ පුරුද්ද හරිම අඩුයි. ඔබ අවවාදයක් දුන්නත්, යමක් කියලා දෙන්න උත්සාහ කලත් දරුවා එයට අවධානය යොමු කරන්නේ නැහැ.
  • ඔබ දරුවා සමඟ එක මාතෘකාවක් ගැන කතා කරන්නට පටන් ගත්තත්, ඔබේ කතාව අවසන් වෙන්නේ වෙනත් දිසාවකින්. එයට හේතුව තමයි අතරමඟදී ඔබේ දරුවා වෙනත් වෙනත් දේවල් කතා කරමින් කතාව වෙනත් දිශාවන්ට රැගෙන යාම.

ඔබ මෙය විසඳා ගත යුත්තේ කොහොමද?

  • ඔබේ දරුවාට “කතා පෙට්ටිය” වගේ නම් පට බඳින්න, බැන වදින්න එපා. එයින් දරුවාගේ ආත්ම අභිමානය නැති වෙනවා. දරුවාගේ ඉදිරිපත් වීමේ හැකියාව බිඳ දමන්නට ඔබේ වචන වලට පුළුවන්.
  • දරුවා ඉවසීමෙන් කතා කරන විට, අනෙක් අයට කතා කරන්න අවස්තාව දෙන විට දරුවාව ප්‍රශංසාවට ලක් කරන්න. නිවැරදි දෙය ප්‍රශංසාව හරහා වටහා දෙන්න.
  • ඔබට  පුළුවන් දරුවාට සීමාවන් පනවන්න. දරුවාගේ පෞද්ගලික විස්තර අන් අය හා නොකියන ලෙසටත්, කතා නොකළ යුතු ස්ථානත් (පාඩම් කරන කාමරය හෝ පුස්තකාලය) දරුවාට දැනුම් දෙන්න.
  • පුංචි ක්‍රීඩාවක් මඟින් නිහඬතාවය රස විඳින හැටි දරුවාට උගන්වන්නට ඔබට පුළුවන්. පවුලේ හැමෝම විනාඩි 15ක් නිහඬව සිටිය යුතු බව දරුවාට පවසන්න. මුලින්ම නිහඬතාවය බිඳින තැනැත්තා පරාජය වන බව පවසන්න.   
SHARE