fb-like-beg


ඔබ වෙනුවෙන් – 12 කොටස

Jennifer Aniston කියන්නේ මම ආසම පෙනුමක් තියන , දක්ෂතාවයක් තියන හැම දේටම වඩා දාහකින් එක්කෙනෙක්ට නැති පෞර්ෂයක් තිබෙන ගැහැණියක්. හොලිවුඩ් සිනමාවේ තරුවක් වුනත් උගත් චරිත ශක්තියක් ඇති ගැහැනියක් ලෙස ඇය හැම මොහොතේම බබලනවා. ඒ වගේම රැජිනක වගේ ඔලුව කෙලින් තියාගෙන ජීවන ගමන යන අභිමානවත් ගැහැණියක්.

අගේ සැමියා ජස්ටින් තෙරෝක්ස් සමග විවාහ වුන අලුත ඇය මුහුදු වෙරළක ඔහු සමග නානවා පැපරාසි චායාරූපයට ගන්නවා. පීනුම් ඇඳුම නිසා මදක් උඩට ඉස්සිලා පේන බඩේ සමීප රූපයක් ගන්නා ඔවුන් ඇය ගර්භනී වෙලා කියල බොරු ආරංචියක් පත්තරේ ලියනවා.

පස්සේ දවසක ප්‍රෙස් කොන් එකකදී ඇය ඒ සියලු දෙනා වෙනුවෙන් අපූරු අදහසක් පල කරනවා. ලෝකය අපිව හැම මොහොතේම ජජ් කරනවා. ඔවුන් ජීවිතේ සම්පූර්ණයි කියා නිර්ණායක හදාගෙන ඉන්නවා. මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න නම් බඳින්න ඕනේ, ළමයි ඉන්න ඕනේ, ගෙයක් තියෙන්න ඕනේ, ළමයි අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ වගේ. අපේ වගේ ආසියාතික රටක ඔය තත්වේ වැඩියි.

අප්පෝ අරයා බැඳලා නැහැ… ඒ වුනාට මොකද කොල්ලෝ 10 ක් එක්ක විතර ගියා.

අප්පෝ එයාට බැන්දට ළමයි නැහැනේ . මොනවා තිබ්බත් මොකටද ?

ඉගෙන ගෙන කඩයක් කරනවා . අපරාදේ නේද ?

ගේ ලොකුවට හැදුවට මොකෝ කිසිම සිරියාවක් නැහැ.

මූණ ලස්සන වුනාට ඇඟ හෙන මහතයි නේද ?

අප්පෝ හරි කෙට්ටුයි. කෙල්ලෙක් වුනාම අතට අහු වෙන්න ඉන්න එපාය.

මේවා තමන් අතරේ කතා කරනවා විතරක් නෙවේ . අදාළ කෙනා හම්බ වුන විගසම මූනට දමා ගසන්න මැලි වෙන්නෙත් නැහැ.

කවුරු කුමක් කීවත් අපි වටහා ගත යුතුයි සම්පූර්ණ ජීවිතය කියා එයක් නැති බව. එක්කෙන්ක්ට සම්පූර්ණ වෙන ජීවිතේ තව කෙනෙක්ට සම්පූර්ණ නැහැ. උදාහරණයකට දරුවන්ට අකමැති කෙනෙක් දරුවෝ හදන්නේ නැහැ කියා තීරණයක් ගන්නවා නම් ඒ ජීවිතේ ඔහුට හෝ ඇයට සම්පූර්ණ ජීවිතයක් වෙනවා. බැන්දත් නැතත්, දරුවෝ හිටියත් නැතත් ඔබ සතුටින් තාක් අනුන්ට කරදරයක් නෙවෙන තාක් ඔබේ ජීවිතේ සර්ව සම්පූර්ණයි.

ඔබ අසම්පූර්ණ බව පෙන්වා දෙන්න ඉස්සරහට එන මිනිස්සුන්ට ලෝභ නැතුව වචන වලින් එක පාරින්ම කපා දාන්න. හිත රිදෙයි කියා ඉන්න එපා. එතනින් නොනැවතී “නැන්දේ ..අක්කේ…යාලුවේ… අනුන්ගේ ජීවිතේ පුද්ගලික දේවල් අහන එක මහ කැත පුරුද්දක්..මැරෙන්න කලින් ඒ වරද හදා ගන්න කියා කෙලින්ම කියන්න “

සම්පූර්ණ ජීවිතය කියා මොඩල් එකක් නැහැ. අපි එකිනෙකා ජීවත් වෙන පිළිවෙල තමයි අපිට සම්පූර්ණ වෙන්නේ.

SHARE