1986 වසරේ සැප්තැම්බර් 5 වෙනිදායි. Pan Am Flight 73 ගුවන් යානය මුම්බායි වල සිට නිව්යෝර්ක් දක්වා ගමන් කරමින් තිබුණි. කරච්චි නුවරදී එය Jinnah ජාත්‍යන්තර ගුවන්තොටුපළට මඳ වෙලාවක් සඳහා ගොඩ බස්වන ලදී. කිසිදු අනතුරක සේයාවක් කාටවත්ම හැඟුනේ නැත. නමුත් අවාසනාවකට එය එහිදී Abu Nidal ත්‍රස්තවාදී ග්‍රහණයට හසු විණි. නිර්භයව මඟීන්ගේ ආරක්ෂාව සහ සහනය වෙනුවෙන් කැපවුණු නීර්ජා අවසානයේදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරකට ලක් වී මෙලොවින් සමු ගත්තාය. මේ ඇගේ කතාවයි.


fb-like-beg


මේ ගුවන් යානයේ ඉන්දියානුවන්, පකිස්ථානුවන්, ඇමරිකානුවන්, ජර්මන් පුද්ගලයන් ඇතුළු රැසකගෙන් සමන්විතව තිබුණි.

ගුවන් යානය

ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් ලෙස වෙස්වලාගත් සන්නද්ධ ත්‍රස්තවාදීන් හතර දෙනෙකු ගුවන් යානයට ස්වයංක්රීය ගිනි අවියකින් වෙඩි තබමින් ගුවන් යානය අල්ලා ගත්හ. ඔවුන්ගේ අදහස වුයේ ගුවන් නියමුවන් ලවා ගුවන් යානය තමන්ට අවශ්‍ය ස්ථානයට ගෙන යාමටයි.

නීර්ජා එහි ජේෂ්ඨ ගුවන් සේවිකාව වූවාය.

ගුවන් යානය ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වූ විගසම ඇය වහාම ගුවන් නියමු කුටියට ඒ බව දැන්වූවාය. එමඟින් ගුවන් නියමුවන් හට පලා යන්නට අවස්ථාවත්, යානය ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වී ඇති බව වහා ඉහලට දැනුම් දීමේ අවස්ථාවත් හිමි වුණි. එමෙන්ම ගුවන් නියමුවන් නොමැති නිසා ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වූ පරිදි ගුවන් යානය ඔවුන්ට අවශ්‍ය ස්ථානයට ගෙන යෑමේ ඉඩ කඩත් ඔවුන්ට අහිමි වුණා.

ත්‍රස්තවාදීන් ප්‍රථමයෙන්ම ඝාතනය කරන්නට සැරසෙන්නේ ඇමරිකානුවන් බව ඇසුණු නීර්ජා ඔවුන්ව මරණයෙන් ගලවා ගැනීම සඳහාත් අපූරු උපායක් යෙදුවාය. ත්‍රස්තවාදීන් පාස්පෝර්ට් එකතු කරන්නට ගුවන් සේවිකාවන්ට අණ කල විට, ඇමරිකානු පාස්පෝර්ට් එකතු නොකර ඇය ඒවා සැඟවූවාය.

එහි ඇමරිකානු මගින් 42ක් සිටියත් මිය ගියේ දෙදෙනෙක් පමණි.

එමෙන්ම රඳවාගෙන සිටින කාලය පුරාවට මගීන්ට ආහාර සහ කෝපි බෙදා දෙන්නට නීර්ජා ඉදිරිපත් වූයේ ත්‍රස්තවාදීන්ගේ කෝපය නොසලකායි.

ඉල්ලීම් කරමින් පැය 17ක් පුරාවට මගීන් රඳවා සිටි ත්‍රස්තවාදීන්, යානයේ ඉන්ධන අවසන් වී ගුවන් යානය අඳුරු වී යාමත් සමඟම හතර අතට වෙඩි තබන්නට පටන් ගත්තෝය.

අඳුරු බව නිසා ත්‍රස්තවාදීන්ට කිසිත් නොපෙනෙන බව වටහා ගත් නීර්ජා වහා හදිසි දොරටු විවෘත කර “Get out, run” යනුවෙන් කෑ ගසමින් මගීන්ට පලා යන මෙන් උපදෙස් දී තිබුණා.

පළමුව පලා යන්නට නීර්ජාට අවස්තාව තිබියදීත්, මගීන් රැසකට පලා යාමට ඉඩ සලසා දුන් ඇය ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් දරුවන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා එම දරුවන්ව ආවරණය කරමින් නිර්භයව වෙඩි උණ්ඩයට මුහුණ දුන්නාය.

ඇය එසේ අවසන් හුස්ම හෙළුවේ ඇගේ 23 වන උපන් දිනයට පැය 25ක් තිබියදීය.

මේ වීරවරියගේ මරණයෙන් පසු ඇයට වීර සම්මාන කිහිපයක්ම ලැබුණා.

  • ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ආරක්ෂාව සඳහා පදනමේ වීරත්ව සම්මානය (Flight Safety Foundation Heroism Award 1987, United States)
  • පකිස්තානයේ තම්ඛා ඊ ඉසානියාත්  (Tamgha-e-Insaaniyat)
  • ඉන්දියාවේ අශෝක චක්‍ර සම්මානය (Ashoka Chakra)
  • Justice for Crimes Award 2005, United States Attorney’s Office for the District of Columbia, United States
  • Special Courage Award 2006, United States Department of Justice, United States
  • Aviation Ministry Award 2011, India
  • Gaurav Award presented at the House of Commons, UK Parliament on July 2, 2016

2016 වසරේදී මේ කතා පුවත අලලා චිත්‍රපටයක් නිර්මාණය වුනා. එය “Neerja”. මෙහි නීර්ජාගේ චරිතයට පණ පොවන්නේ සොනාම් කපූර් විසිනි.

නීර්ජාගේ රුව යෙදූ මුද්දරයක්

  

SHARE