පේ කාන්තාව මේ වෙනකොට පුරුදු වෙලා ඉන්නවා ටීවී එකේ යන ආදරය සහ ප්‍රහසනය කැටි වුණු චිත්‍රපට නරඹන්න. ඒවා බලන එකේ වරදක් නැහැ. ඒත් කාන්තා ඔබේ ජිවිතයට ආදර්ශ දහසක් ගත හැකි චිත්‍රපටත් ඕනෑ තරම් ඇති බව ඔබ දන්නවද ? ඔබට ඔබේ ජීවිතය දෙස අලුතින් බලන්නට මේ චිත්‍රපට ඔබට උදව් වේවි. කාන්තාවක් කියන්නේ මුළු ගැන්විය යුතු චරිතයක් නොවන බවත්, ඕනෑම දෙයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇයට තිබිය යුතු බවත් මේ චිත්‍රපට ඔබට කියා දෙවි. හැමදාම හොඳ දේවල් ඔබ වෙත ගෙන එන වෙබ් අඩවියක් විදිහට goodhousekeeping.lk අද ඔබ වෙත මේ චිත්‍රපට ගැන විස්තර ගෙන එන්න තීරණය කළා.


fb-like-beg


The Lady (2011)

මේ චිත්‍රපටය නිපදවෙන්නේ සැබෑ කථාවක් ඇසුරෙන්. ඔබ අහලා ඇති මියන්මාරයේ හිටපු විපක්ෂ නායිකාව අවුට්සාන් සුකී මහත්මිය පිළිබඳව. ඒ කාලයේ මියන්මාරයේ තිබුණේ ඒකාධිපති හමුදා පාලනයක්. අවුට්සාන් සුකී මහත්මිය ජනතාව වෙනුවෙන්, මේ ඒකාධිපති පාලනයට එරෙහිව කැරළි ගැසූ ආකාරය මේ චිත්‍රපටයේ මනාව පෙන්නුම් කරනවා. ඇය රට වෙනුවෙන් සටන් කිරීම නිසා දැඩි තාඩන පීඩන වලට ලක් වී, දේශපාලන සිරකාරියක් ලෙස වසර ගණනක් නිවාස අඩස්සියේ සිටින්නට සිදු වුණා. නමුත් අවසානයේදී ඇයට නොබෙල් ත්‍යාගය පවා හිමි වුණා.


Lady Bird (2017)

දරුවෙක් තරුණ වියට එළඹෙනකොට ගොඩාක් වෙලාවට හැම දේම වෙනස් වෙනවා. දරුවට දැනෙන්නේ දෙමව්පියෝ තමන්ට අවශ්‍ය නිදහස ලබා දෙන්නේ නෑ කියලයි. මව්පියන්ට දැනෙන්නේ තමන්ගේ වෙනද හිටපු කීකරු දරුවා එන්න එන්නම අකීකරු වෙනවා කියලයි. මේ චිත්‍රපටයත් ඒ වගේ අම්මා කෙනෙක්ගෙයි, දුවෙක්ගෙයි කතාවක්. සැමියාගේ රැකියාව අහිමි වුණු නිසා පවුලේ බර කරට ගත්තු කාර්යබහුල අම්මා කෙනෙක්ගෙයි, තරුණවියට එළඹීමත් සමඟ තමන්ගේ සිහින ඉටු කර ගැනීම වෙනුවෙන් අරගල කරන තරුණ දියණියකගෙයි කතාවක් තමයි මේ.


Haseena Parkar (2017)

මේ චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය කථාවක් ඇසුරින්. සාමාන්‍ය ලෝකයේ ස්වරූපය තමයි, කෙනෙක් වරදක් කළාම වරදකරුව සහ වරදකරුගේ පවුලේ සාමාජිකයන්ව සමාජයෙන් කොන් කිරීම. මේ කතාවෙන් කියවෙන්නේ දරුණු ත්‍රස්තවාදියෙකුගේ සහෝදරියකගේ ජිවිත කථාවක් පිළිබඳවයි. සහෝදරයාගේ වරදට සමාජය දෝෂාරෝපණය එල්ල කරන්නේ මේ සහෝදරියටයි. සාමාන්‍යයෙන් මෙවැනි තත්වයකට මුහුණ දුන් කාන්තාවක් හැසිරෙන විදිහට නෙවෙයි මේ සහෝදරිය හැසිරෙන්නේ. ඇය සමාජයේ ගැරහුම් වලින් සැලෙන්නේ නැහැ. ඇයට ගරහන ජනතාවව, තමාට ගරු කරන තත්වයට ඇය පත් කරවා ගන්නවා.


Not Without My Daughter (1991)

මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ පුදුමාකාර මවක් පිළිබඳවයි. ඇය ඇමරිකානු කාන්තාවක්. කලින් විවාහයේ පුතුන් දෙදෙනෙකු සමඟ තනිකඩව සිටින ඇය ඉරානයේ මුස්ලිම් වෛද්‍යවරයෙකු (ඇමරිකාවේ පදිංචි වී සිටින) සමඟ විවාහ වෙනවා. ඔහු පුතුන් දෙදෙනාට හොඳින් සලකන අතර, ඔවුන්ට කුඩා දියණියක් ලැබෙනවා. දිනක් ඔහු හදිසියේම සති දෙකක සංචාරයක් සඳහා ඉරානයට යාමට ඇයට ඇරයුම් කළත් ඇය එයට බිය වෙනවා. නමුත් වෛද්‍යවරයා කුරානයේ අත තබා, ඇයට හෝ දරුවාට කිසිදු අනතුරක් එහිදී සිදු වෙන්නට ඉඩ නොදෙන බව දිවුරනවා. ඇය එහි ගිය පසු ඔහුගේ වෙස් පෙරලෙන්නේ හිතුවෙවත් නැති විදිහට. ඔහු තම බිරිඳව සහ දියණියව ඉරානයේ හිර කර ගෙන, වධ හිංසා කරන්නට පටන් ගන්නේ නැවත ඔවුන්ට ඇමරිකාවට ඒමට ඉඩ නොදෙමින්. ඇමරිකාවේ සිට ඇගේ පුතුන් දෙදෙනාත්, රෝගී දෙමව්පියනුත් ඇය එනතුරු බලා සිටිනවා. ඉරාන නීතියට අනුව ඇය නැවත ඇමරිකාවට යනවා නම්, ඇය තම කුඩා දියණියව ඉරානයේ තබා යා යුතු වෙනවා. නමුත් ඇය කෙසේවත් තම නිදහස වෙනුවෙන් දියණියව අත් හරින්නේ නැහැ. ඇය පුදුමාකාර සටනකින් පසුව, නීති විරෝධී මාර්ගයකින් දියණිය සමඟම නැවත ඇමරිකාවට යනවා.


Desert Flower (2009)

මේ චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය කථාවක් ඇසුරින්. මෙහි කතා නායිකාව සෝමාලියානු ජාතික තරුණියක්. එය ලොවට රහසේ කාන්තාවන් සඳහා අමානුෂික චාරිත්‍රයක් අනුගමනය කළ ප්‍රදේශයක්. ඒ තමයි කාන්තා සුන්නත් කිරීම. මෙහිදී දැරියන්ගේ භගමනිය මුවහත් තලයකින් කපා දමා, ලිංගික පෙදෙස මසා දමනවා. දැරිය කවදා හෝ විවාහ වූ විට ඇගේ සැමියා මැහුම් කපා දමා එය නැවත විවෘත කරනවා. මෙය කුඩා දැරියකට ඉතා වේදනාකාරී අත්දැකීමක් වන අතර, අධික ලෙස රුධිරය වහනය වීම නිසා මිය යන දැරියන්ද සිටිනවා. මෙම චිත්‍රපටයේ කතා නායිකාව මේ දරුණු අත්දැකීමට මුහුණ දෙන්නේ ඇගේ වයස අවුරුදු තුනේදීයි. ඇය මේ දරුණු ප්‍රදේශයෙන් පැන ගොස්, දක්ෂ නිරූපණ ශිල්පිනියක සහ එක්සත් ජාතික සංවිධානයේ විශේෂ නියෝජිතවරියක වී මේ ගැන ලොවටම හෙලි කරනවා.

SHARE