fb-like-beg


ඔබ වෙනුවෙන් – 9 කොටස

ඉස්සර කාලයේ විවාහ මගුල් කියා දෙයක් තිබුනේ නැත. කොල්ලෙක් නම් හේනක් කොටා ගන්න පුළුවන් වෙන වයසේදී හිත ගත් කෙල්ල හම්බ වෙලා….

” වරෙන් රන්මලී නගා මාත් එක්ක සහේට..උඹ මනාපයි නම් අමුණේ කුඹුරේ වී බෙර තුන වපුරලා එගොඩහ හේනක් කොටලා අපි දෙන්න පැල් කොටයක් අටෝගම්මු . ” කියනවය. මෙහෙම වෙන්නේ බොහෝ විට ගෙට වෙලා පෝයක් හෝ දෙපෝයක් ගිය තැනය.

ඊටත් පස්සේ ඔන්න හේන කුඹුර කොටාගෙන අසීමිත උත්සාහයෙන් දරුවෝ හදාගෙන ජීවිතේ එක්ක හැප්පෙනවා ය. ඉස්සර කසාද බැඳීම්, මගුල් කෑම් තිබුනේ රාජකීයයන් , වලවූ කාරයන් වගේ ධනවතුන් අතර මිස සාමන්‍ය ජනයා අතර නොවේ.

නමුත් වටිනාම දෙය දුවා දරුවෝ වැලේ ගෙඩි වැලට බර නැහැ කියා හැදුවා මිස , “මගේ දෙයියෝ සුනංගු නොවී එන්ට . කොටි හපුවා මුලිච්චි වේවි” කියා ආදරෙන් කතා කළා මිස ප්‍රශ්නත් එතරම් තිබ්බේ නැත. හොර මගුලක් වෙතොත් ඒවා ජීවිතේ කොටස් ලෙස මිස මරා කොටා ගන්නට කාටවත් හේතු නොවීය.

අද විවාහ වල අතෘප්තිය එදාට වඩා වැඩිය. ඒ මනුස්සයාගේ දියුණුවත් එක්ක එන තන්හාවේ වේගයයි. අපේ රටවල දෙන්නෙක් යාලු වුන විගහට දැන් ආශ්වාදයෙන් මෙනෙහි කරන්නේ එක වහලක් යටට ගොස් එකිනෙකාට ප්‍රේම කිරීම නොවේ.

හා කියූ දවසේ සිට ඔන්න විවාහ උත්සවය සැලසුම් කරනවාය. අරයට දෙවෙනි මන්මලියෝ 3 දෙනයි…ඒ නිසා මම 4 ක් ගන්නවා පේන්න එක්ක….. අප්පෝ ඒ ගොල්ල සින්ගපුරු නේ හනිමූන් ගියේ අපි පුකට් යම්මු….ඔය හැමෝම යන තැන් වලට යන්න ඕනේ නැහැනේ…….

දෙන්නා දෙමහල්ලන්ගේ ගති ගුණ , විවාහයෙන් පසු අවුරුදු 10 සැලසුම් කරන්නේ කොහොමද ?, ආර්ථික තත්වයන් මොනවද ? මුකුත් නැහැ…එකම සිහිය වෙඩින් එක දවස විතරමයි.

වෙඩින් එක ලස්සනට ගන්න ඕනේ. නමුත් ඒ වෙඩින් එකේ ශ්‍රී විභූතිය කවදාවත් විවාහ ජීවිතේ සාර්ථකත්වය එක්ක සම්බන්ධයක් නැහැ. එකිනෙකාගේ දැන හඳුනා ගැනීම මත, අවබෝධය මත තමා විවාහයක් කල් පවතින්නේ. ඒ වගේම කල් පැවතුනත් සතුට තහවුරු වෙන්නේ. අපේ විවාහ දික්කසාද වෙනවා අඩුයි. මොකද අපි සලකන්නේ දික්කසාදයක් හරියට මරණයක් වගේ නරක දෙයක් ලෙසයි. ඒ නිසා නයි පොලොඟු වගේ එකට ඉන්නවා. ඉඳල හිටලා FB එකේ ෆොටෝ එකක් කොහේ හරි ගිහින් අප්ලෝඩ් කරහම සාර්ථකයි කියා හිත රවටා ගන්නවා.

නමුත් මේ ක්‍රමය පසෙක තියල විවාහයට පෙර දෙදෙනා ගැන දැන හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම විවාහ වුන මුල ණය තුරුස් වලට වැටෙන්න වෙන විදිහට නය වෙලා ලෝකෙට පරකාස වෙඩින් ගන්න එපා. ඔබේ අතේ ඇති මුදලට ලස්සනට අලුතින් හිතලා කරන්න පුළුවන්. ඔබේම ආරෙකට. බොහෝ දෙනෙක් ඒ වෙනස් මගුල් ගේ ගැන කතා කරාවි.

අනාගතේට ගෙයක් හදාගන්න, ව්‍යාපාරයකට ආයෝජනය කරන්න , වාහනයක් ගන්න තිබෙන මුදල නිකරුනේ එක දවසකට වැය කිරීම මම නම් දකින්නේ ඉතාම බොළඳ දෙයක් ලෙසයි.

SHARE