fb-like-beg


ඔබ වෙනුවෙන් – 5 කොටස

ඇය වයස 26 ක විතර කෙට්ටු තරුණ ගැහැනියක්. දුප්පත් බව බැලූ බැල්මට පේනවා. හිඟන්නෝ වගේ නෙවෙයි හොඳින් ඇඳගෙන හිටියේ. වයස 7 ක විතර දුවෙක් හිටියා. තව වයස 50 ට අඩු අම්මෙකුත් හිටියා.

” නෝනා…අනේ දවස් දෙකකින් කෑවේ නැහැ.”

ඔවුන් මගෙන් සල්ලි ඉල්ලනවා. සාමාන්‍යයෙන් අනුන්ගේ පුංචි දරුවෝ මත් පෙති පොවලා වඩාගෙන එන කාටවත් මම සල්ලි දෙන්නේ නැහැ. හැකි නම් වෙලාවක් ඇත්නම් බනිනවා.

නමුත් මේ දරුවා ඒ ගැහැනියගේ බව පෙනුනා. ඒවගේම ජරාව ඇඳගෙන හිටියෙත් නැති නිසා සල්ලි දුන්නා. ඇරපු දොරෙන් වාහනේට එබුන දරුවා තොර තෝංචියක් නැතව වාහනේ දොරේ තිබුන ඔටෝ ලොක් එක ඔබන්න පටන් ගත්තා.

රස්සාවක් කරන්න බැරිද? කියා ඇහුවහම ඇගේ උත්තරේ උනේ.

“මේ ළමයා එක්ක මොන රස්සාවක්ද නෝනා” කියල.

මේ ළමයා ලොකුයි. අත්තම්මෙක් ඉන්නවා. මේ ගැහැනියගේ ඇඟේ කිසිම ලෙඩක් දුකක් නැහැ. තරුණයි. ගෙවල් වල වැඩට ගැහැණු නැහැ දැන්.

මම ඔට්ටුවක් දානවා රැකියාවක් දුන්නොත් මේ ගැහැණිය කරන්නේ නැහැ. මොකද රට පහේ ඇවිදින්න, රස්තියාදු ගහන්න , ඉල්ලන් කන්න ඔවුන් ඇබ්බැහි වෙලා.

කෙනෙක් ගෙදරක වැඩ කලොත් කන්න බොන්න , ඉඳුම් හිටුම් දීලත් රුපියල් 20 දාහක් පඩි දෙනවා. ක්ලීනින් සර්විස් එකක නම් 25 දාහක් වගේ ගෙවනවා.

බොහෝ දෙනෙක් වැඩ කරන්න කැමති නැහැ. නිකන් කන්න පමණයි ඔවුනගේ ආශාව තියෙන්නේ. අපේ රටේ ගොඩක් අය මෙහෙමයි. ආර්ථික ප්‍රශ්න ඇත්නම් ඊට එදිරිව සටන් කරන්නේ නැහැ. කාට හෝ දොස් පවරමින් ජීවත් වෙන්න බලනවා. නැත්නම් පිනට ලබන්න උත්සහ දරනවා. ඔවුන් තේරුම් ගන්නේ නැහැ මනුස්සයෙක්ට යමක් ඇත්නම් ඒ තිබෙන්නේ අවුවේ, වැස්සේ වැඩ කරලා මහන්සි වෙලා කියලා. ( හොරු , දේශපාලුවෝ සහ පරම්පරාගත ධනවත්තු ඉන්නවා තමයි. නමුත් ටිකයි)

ගැහැනියක් වීම අනුන්ගෙන් කන්න හේතුවක් නෙවෙයි. අපිටත් අත් දෙකක් තිබෙනවා. මොලයක් තිබෙනවා. අපිත් වැඩ කරන්න ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් සක්‍රිය මනුෂ්‍යයෝ.

ගීතා තන්ඩන්, JK රෝලින්ස්, සොෆියා ලොරේන් මේ ලිස්ට් එකේ තව ගොඩක් ඉන්නවා. සේරම දරුවෝ එක්ක තනිවුණ අම්මලා. නමුත් ජීවිතේ බාධක බිඳගෙන ඉදිරියට ගිය ගැහැණු.

සැමියෙක් හිටියත් නැතත් අපි අපි වෙනුවෙන් ඉපයිය යුතුයි. මොන දේ කෙරුවත් කමක් නැහැ. මම හැම වෙලේම කියන්නේ අත් දෙක උස්සලා හොරකමක් , අනුන්ට අකටයුතක් නොකරන තාක් කල් තමන් තනියෙන් ඉපයීම කියන්නේ බොහොම ගෞරවනීය ක්‍රියාවක්.

SHARE