සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


09 කොටස

“ අනීෂා ..මම කියන දේ අහල ඒ මනුස්සයව එක පාරක් බලන්න යන්න “ කියමින් ගයාන් ඇගේ අතක් ගෙන සිප ගත්තේය. ඇයට ඇති මානසික ඝට්ටනය සමග කායිකවත් දුබල වෙලා හිටියේ. නිරෝෂාන් කනකරත්න කියන්නේ ඇය කුලුඳුලේ පෙම් බැඳ ගත් මිනිසා. ඔහු සමග කැදැල්ලක් තනන්න හැම තරුණියක්ම වගේ අනීෂත් සිහින මැවුවා. ඔහු ඇයට වඩා වයසින් වැඩිමල්. විශ්ව විද්‍යාලයට යන්න තේරුනත් හිත තිබුනේ හමුදා සේවයේ නිසා කොතලාවල ආරක්ෂක විද්යාපීටයට බැඳෙන්න ඔහු කැමති වුණා. ඉන් පස්සේ ඔවුන් දෙදෙනා ගතින් ඈත් වුනත් හිතෙන් ඈත් වුනේ නැහැ.

නිවාඩු ලැබෙන විට ඔවුන් දෙදෙනා හමු වුණා. ඔහු ඇකඩමියෙන් ඉවත් වෙද්දී අනීෂා විශ්වවිද්‍යාලයට බැඳුණා. ඇය එයින් ඉවත් වුන විගස විවාහ දිවියට ඇතුල් වීම ඔවුනගේ එකම බලාපොරොත්තුව වුනේ. ලස්සන හමුදා වෙඩින් එකක් ගන්න හැටි ගැන ඔවුන් දෙදෙනා නිතරම කතා කළා. නමුත් මේ සේරම වතුරේ ගියේ ඔහු එක නිවාඩුවකට ඇවිත් ගිහාම නැවත කෝල් එකක් නොදීම නිසයි. ඔහුට අනතුරක් බව දැනගත් ඇය ඔහුගේ නිවසට ගියා. ඒ වනවිට ඇය ගැන ඔහුගේ ගෙදරින් දැනගෙන හිටියා. තරමක් රදල පවුලක් නිසා ඇගේ පවුලට පමණයි මේ සම්බන්ධය රහසක් වුනේ.

ඔහු අතුරුදහන් වී ඇති ගොඩට වැටුණා. මුල් දිනවල ඔහුගේ ආරක්ෂාව ගැන කරදර වෙමින් සිටිය නිසා ඇයට දැනුනේ නැහැ තමන්ට දරුවෙක් ලැබෙන්න බව. ඒ ගැන දන ගනිද්දී පුංචි නෙතුකි එක්ක ඇය මාස තුනක ගැබිණියක්. මුලින්ම වෙච්ච දේ ගැන අඬා වැටුන ඇය , නිරෝශාන්ගේ මව තමාට උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වුනා. ඒ වෙද්දී ඇගේ අවසන් විභාගයට තිබුනේ මාස පහක් වගේ කාලයක්. නමුත් මෙය දැනගත් විගසම නිරෝශාන්ගේ අම්මා සහ සොයුරිය ඇයට බැන වැදුනා. කාගේ හෝ ළමයෙක් නිරෝශාන්ගේ කරේ එල්ලලා මුදල් ගන්න එනවා කියා. ඔවුනට ඕනේ වුනේ නිරෝශාන්ගේ වැටුප සම්පූර්ණයෙන් තමන්ට අයිති කර ගන්න. ඒ වගේම අක්කා අම්මට ඒත්තු ගැන්නුවා නිරෝශාන්ගේ ළමයෙක් නම් මෙතරම් කල් ගිහින් ඉපදෙන්න බැහැ කියල.

අනීෂා මේ පහරවලින් මානසිකව වැටුණා. ඉන් පස්සේ ඇගේ පවුල වෙත ගියත් ඔවුනුත් ඇයව පවුලෙන් පිටමන් කළා. ඒ දරුවා ගබ්සා කරන්නට අකමැති නිසා. ඔවුනට ඕනේ වුනේ දරුවා නැති කර දැමීමයි. මොකද්දෝ හේතුවකට අනීෂට ඒ දුෂ්ට වැඩේ කරන්න හිත හදා ගන්න බැරි වුණා. ඒ ඇගේ නිරෝශාන්ගේ රුධිරය. එය උදරයේ දඟලනකොට ඇය ඒ දරුවාට වඩා ආදරය කළා. මියගිය මිනිසාගෙන් ඉතුරු වුන එකම ශේෂය ලෙස නෙතුකි කොහොම හරි ලොකු කර ගන්නා දැඩි අධිශ්ටානය ඇගේ සිතට ආවා. ඒ සමගම හිත තැම්පත් කරගෙන පාඩම් කරේ කොළඹ ඉන්න යාලුවෙක්ගේ ගෙදරක නැවතිලා. නිම්මි සහ ඇගේ මව මේ අමාරු කාලයේ අනීෂා ගෙදරට අරගෙන ඇයට රැකවරණය , ආදරය සහ පෝෂණය ලබා දුන්නා.

නෙතුකි බිහි වෙන්න මාසෙකට පෙර අනීෂා ඉතාම හොඳින් විභාගය ඉවර කළා. තමන්ගේ නමට තිබුන ඉඩමක් විකුනලා ඒ මුදල් රැකියාවක් ලැබෙන තුරු පරිස්සමෙන් පරිහරණය කරන්න ගිණුම් ගත කළා. මේ කාලේ තමයි ඇයට මුදල් කියන දෙයින් ශක්තිමත් වෙන්න ඕනේ කියන පණිවිඩේ හොඳින්ම තේරුනේ. දරුවා ලැබෙන්න රෝහල් ගත වෙන්න පෙර කුඩා ඇනෙක්ස් එකක් අරගෙන නන්දාවතී මාතාව එක්ක පදිංචි වෙන්න ගියේ හදිස්සියේ උදවු කල නිම්මිට තවත් බරක් වීම සුදුසු නැති නිසා. හොඳම දේ හැමදාම වගේ මෙවරත් ඇය උපරිමෙන් විභාගය කළා.

අනීෂා ඉපදුන මුල් කාලේ මහා දුකක් , පාළුවක් ඇයට දැනුණා. මියගිය නිරෝශාන්ගේ සමේ ඇති දැඩි පැහැපත් බව මේ දරුවාට ඒ අයුරින්ම ලැබී තිබුණා. දරුවා දකින්නත් පෙර ඔහු මිය ගිහින්. හැම දේම නරකට සිදු වුනත් නන්දාවතී මාතාව ගේ සැලකිල්ල එක්ක කරදර අඩු වුනා. නමුත් ප්‍රසූතියෙන් පස්සේ අනීශා මානසික අවපීඩනයට වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සුව වුනා. ඉන් පස්සේ පළමු පන්තියේ සාමාර්ථයක් ගත් නිසා ඇයට විශ්ව විද්‍යාලයටම ඉගැන්වීමට ඇතුලත් විය හැකි වුනා. එයින්ම කුඩා නිල නිවසක් ලැබුනා. ඇය අධ්‍යාපන කටයුතු, රැකියාව , දියණිය එක්ක ජීවිතේට දිරියෙන් මූණ දෙද්දී තමයි ගයාන් ඇගේ ජීවිතේට ආවේ.

පුරා අටවසරක් තිස්සේ නිරෝෂාන් වෙනුවෙන් පිදු ආලය දරුවෙක් වගේ මුදුමොලොක් ගයාන් වෙත දෙන්න ඇය තීරණය කළා. ගයාන් නිරෝෂාන් වගේ නෙවෙයි. සහමුලින්ම වෙනස්. නමුත් ඇය ඔහුට ආදරෙන් වගේම , කරුණාවෙන් සැලකුවා. ඔහුගේ විශේෂ රෝග තත්වය නිසා අම්මගෙන් හරි හමන් ආදරයක් නොලැබුන ඔහුට දෙවෙනි මවක් වගේ අනීෂා හැම වෙලේම ක්‍රියා කළා. නැති දේටම ලොබ බඳින එක මනුස්ස ස්වභාවය කියන්නාක් මෙන් ගයාන් මේ ආදරේට ගොඩක් හුරු වුනා. ඔහුට අනීෂා දැනුනේ මවක් වගේ. තමාට වඩා වයසින් වැඩි ඇයට ඔහු පුදුම විදිහට ලොබ බැන්දා.

ඔවුන් දෙදෙනා මේ විදිහට ගිනි ගොඩක් මැදින් ප්‍රවේශමෙන් අඩි තබමින් ජීවිතේ ඉදිරියට එද්දී තමයි හදිස්සියේ අතීතයේ වැලලුන මිනිසා නැවත කරලියට ආවේ. නිරෝෂන්ට නැවත ජීවිතේට ආරාධනා කිරීම කියන්නේ අමුම ආත්මාර්තකාමී වැඩක් බව අනීෂා දැන සිටියා. එහි අසාධාරණය වෙන්නේ ගයාන්ට. තමන්ට විපතේදී පිහිට වුන සත්ගුණවත් ඔහු අතහැර දැමීම මොන තරම් දුර්ජන ක්‍රියාවක්ද කියා ඇගේ හිතේ ලැගුම් ගත්තා.

ඒ වගේම නිරෝෂාන්..අසරණ නිරෝෂාන්…තමාට කිසිම වරදක් නොකළ ඔහු අන්තිම අමාරු අඩියක සිට ජීවිතේ එල්ලෙන්නට උත්සහ දරමින් සිටියි. මේ වෙලේ ඔහුට පිටුපෑම කොතරම් දුෂ්ට ක්‍රියාවක්ද ? ඒ හැම දේම අතරේ තමා දරුවෙක් එක්ක තනි වුන වෙලාවේ තමාව පිටුවහල් කළ නිරෝශාන්ගේ පවුලෙන් පලි ගැනීමට කදිම අවස්තාවක් බවත් ඇය දන සිටියා.

මෙන්න මේ උභතෝකෝටික ගැටලුව නිසා කවදාවත් නැති විදිහට අනීෂා මේ වෙද්දී මානසිකව වැටිලා හිටියේ.

අනීෂා සහ නෙතුකි තමාට සදහටම අහිමි වේවි කියන බය කොයි තරම් සිතේ වැඩ කරත් මේ වෙලේ ඇය දැඩිව ක්‍රියාකර රඳවා ගැනීම නොමනුස්සකමක් කියන තීරණයට ගයාන් පිවිසුනේ එදා රෝහලෙන් නික්මෙද්දීමයි. තම සිත මැඩගෙන ඔහුට යලිත් ජීවිතය වෙත ගෙන ඒමට ඕනෙම උපකාරයක් කිරීමට ඔහු දැඩිව අධිෂ්ටාන කරා.

“කැප්ටන් උඹ මේ දේවල් කියනවද නැද්ද ? “

කුණු ගෑවුන නිල ඇඳුමක් ඇඳ සිටි ත්‍රස්තයෙක් ඉංග්‍රීසි බසින් අහනවා. ඒ පාලු කාමරේ වහලය පොඩියි. අපාය වගේ උණුසුම්. අඳුර මදක් දුරු වුනේ වහලයේ එල්ලලා තිබ්බ පොඩි විදුලි බල්බයකින්. අසල කුටි වලින් කෙඳිරිලි හඬ වගේම දැඩි මුත්‍රා ගන්ධයක් හැමුවා. පෙර දිනයේ අධිකව පහර කෑම නිසා දුබලව සිටි නිරෝශාන්ට තමන්ගේ පැළුන දෙතොලින් ලේ රසක් එනවා දැනුණා.

ඔහු හෙමිහිට දකුණු අතින් පිපිරුණ තොල අතගාල බැලුවා. ඔහුගේ දෙතොලේ මැවුනේ උපහාසාත්මක හිනාවක්. ඔහු වචනයක් වත් නොකියන තැන නායක ත්‍රස්තයාගේ විධානයෙන් නැවත වධක රංචුව කාමරයට වැදුනා. පොලු වලින් ඔහුට පහර දෙද්දී ඔහු නිතැනින්ම හිස අත් දෙකින් ආවරණය කර ගත්තා. සිහින් ආලෝකයක් එනවා වගේ. ඔහුගේ නෙත් නිලන්කාරයි. ඒ අතරින් අනීෂා ගේ මුහුණ පෙනුණා. නොමැරී සිටින්න ඕනේ කියල ඔහුගේ කපාලය හරහා විදුලියක් වගේ ගියා.

“ මගේ කෙල්ල … මාව විස්වාස කරපු කෙල්ල කසාද බඳින්න ඕනේ. …..එතකන් මම පන රැක ගන්නවා. මුන්ට අල්ලාගෙන හැමදාම ඉන්න බැහැ”

තමන්ගේ කණ්ඩායම එක්ක වනය ඇතුලත මෙහෙයුමක ඉද්දි ඔහුගේ කණ්ඩායමේ 4 දෙනාගෙන් දෙදෙනක් මිය ගියා. ඉතුරු සොල්දාදුවා අරගෙන දහවල ගොඩබිමෙන් කඳවුර වෙතට යන එක  අනතුරුදායක නිසා ඔහු රාත්‍රී වෙනතුරු බලාගෙන සිටියා. මියගිය දෙදෙනාගේ බොඩිස් ගෙන එන්න නොහැකි නිසා ඔහු ඔවුනගේ භාර්යාවන්ට දෙන්න කරේ තිබුන හමුදා අංකය සහිත පෙන්ඩන්ට් වලින් එක ගානේ ගලවා ගත්තා. රාත්‍රී වෙන තුරු පඳුරකට මුවා වෙලා ඉද්දි අනික් සගයා කෙඳිරියක් වත් නොනැගුවේ ළඟ ලඟම ගොදුරු සොයමින් ඇවිදින ත්‍රස්තයන්ගේ අඩි හඬ නිසයි.

රාත්‍රී අඳුර එක්ක කලපුවට බඩගා කලපුව හරහා වර්ට්ස් 32 ක් පමණ තුවාල කාරයා කරේ තබාගෙන පීනා හමුදා පාලන ප්‍රදේශය වෙත යාම මේ වෙලේ ගත හැකි ඥානාන්විතම තීරණය බව ඔහු වටහා ගත්තා. මේ ප්‍රදේශයේ ගොඩබිමෙන් බඩගායාම අනතුරුදායක වුනේ අඩියෙන් අඩිය ජොනී බට්ටන් පිපිරෙන නිසයි.

පාසල් කාලයේ දක්ෂ ක්‍රීඩකයෙක් වුන නිරෝෂන් ගේ හීනය වුනේ මේ යුද්ධය හැකි ඉක්මණින්  ඉවර කිරීමයි. ඉන් පස්සේ හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන රතුකුරුස සංවිධනය එක්ක සම්බන්ධ වෙලා බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම පිළිබඳව තම විශේසඥ දැනුම ලෝකයේම යුද්ධ පවතින රටවලට ලබා දීමට ඔහුට ඇවැසි වුනා. ඒ වෙද්දී රතු කුරුසය ඉතා ඉහල වැටුපකට ඔහුට කතා කරලා තිබ්බත් ඔහුට ඕනේ වුනේ නැහැ යුද්ධය අතරමග දාල පැනල එන්න.

රටට කල යුතු යුතුකම් කරලා ඉන් පස්සේ අනීෂා එක්ක ලෝකේ පුරාම සංචාරය කරන්න ඔහුට ඕනේ වුණා. තමා නැතුව සිටීම මැසිවිලි නොනගා ඇය ඉවසුවත් ඇයට එය ඉතාම අසීරු බව ඔහු දැන සිටියා. විශ්ව විද්‍යාලේ අධ්‍යාපනයෙන් පීඩාවට පත් වෙලා සිටි ඇයට අනික් කෙල්ලන්ට වගේ බත් එක ගෙනත් දෙන්න, ටියුට් ප්‍රින්ට් අවුට් ගන්න, හවසට කාර් එකෙන් එක්ක යන්න තමන්ගේ කොල්ල ළඟ හිටියේ නැහැ. මේ සේරම දැන සිටි නිරෝෂාන් අනීශාට බෙහෙවින්ම ප්‍රේම කළා.

ඔවුන් යාලු වුනේ ඇය සාමන්‍ය පෙළ විභාගය කරද්දී ඔහු අන්තිමට ඇය දකිද්දී 25 හැවිරිදි වියේ සිටියේ. නව වසරක සම්බන්ධයක් කියන්නේ ලේසි දෙයක් නොවේ. අන්තිමට හමු වුන දවසේ ඔහු නිවාඩුවට ගෙදර ඇවිත් සිටියේ. මේ කාලවල කොච්චර පාඩු වුනත් ලෙක්චර්ස් කට් කරගෙන ඇය වැඩි හරියක් ඔහු එක්ක හිටියේ. බෝඩිමට ගියේ රාත්‍රී 11 ට විතර අන්තිම මොහොතේ. ගොඩක් අකමැත්තෙන්.

නැතිව ඉන්න මාස තුනට , හතරට හරියන්න වගේ තරුණ ජවසම්පන්න පෙම්වතුන් දෙදෙනා කෙළවරක් නැතුව ආදරේ කරා. එකිනෙකාගේ පීඩනේ පිට දමන මාර්ගය වුනේ මේ කෙටි නිවාඩු කාල විතරයි. ඔහුගේ නිරුවත් පපුව උඩ බොහෝ දිනයට ඇය කෙටි වෙලාවක් එහෙම වැටිලා නින්ද යනවා. හෝටල් කාමරේ ජනේලෙන් ප්‍රනීත හිරු එලිය පෙනෙද්දී නිරෝෂාන් නිහඩව භක්තිමත්ව තමන්ගේ අතට අනාගතය භාර දීල සැනසිල්ලේ නිදන පෙම්වතියගේ නින්දට බාධා වෙයි කියල හෙලවෙන්නේ වත් නැතුව එහෙම්ම ඉන්නවා. ප්‍රනීත ආහාර සහ කෙළවරක් නැති ප්‍රේමාලින්ගන එක්ක ගෙවෙන මේ දවස් ටිකට හරියන්න ඇගේ පපුව හැම වෙලේම තමාට අනතුරක් දෝ කියල තැවෙමින් ඉන්න බව දන්නා නිසා ඔහු තවත් ඇය ගැන කනගාටු වෙනවා.

ඔහු බොහෝ වෙලාවට ඇගේ ඇඟ සෝදවනවා. ඇඳුම් අන්දවනවා. ඇය සමහර වෙලාවට ඇගේ මේකප් පෙට්ටියෙන් බඩු අරගෙන ඔහුව මේකප් කරලා හිනා වෙනවා. ඔවුන් දෙදෙනා වැඩිහිටි පෙම් යුවලක් වුනත් ඒ වෙද්දී අනීෂා අද වගේ ජීවිතෙන් බැට කාල නැති නිසා හරිම මුදු මොලොක්. නිරෝශාන්ගෙන් තොරව ජීවත් වීමක් ඇයට හිතා ගන්න බැරි වුනා.

ඊට පස්සේ පැමිණි රාජකාරි කාලයේ සතියක් යන්නත් පෙර කොටින්ගේ පාලන කලාපයක විශේෂ මෙහෙයුමකට ගිය වෙලේ තමයි නිරෝෂාන් මේ අකරතැබ්බට මුහුණ දුන්නේ. ජීවිතේ කීප වරක්ම මේ වගේ අනතුරු වලින් බේරිලා ආව ඔහුගේ නිර්භීත හිත දැඩිව විශ්වාස කරා එදා රාත්‍රියේ තමා සහ තුවාල ලත් සගයා ගැලවෙන බව.

නමුත් අවාසනාවට යාලුවා කරේ තබාගෙන කලපුව හරහා පිහිනන ඔහු මුහුදු කොටි නායිකා අකිලාගේ විශේෂ බල ඇණියක ඩෝරා යාත්‍රාවක් මගින් අත්අඩංගුවට පත් වුනා.

( ලබන සතියට )