සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


08 කොටස

වැතිර සිටි මිනිසාගේ මුහුණ දෙස ගයාන් බලාගෙන සිටියේය. ඔහුගේ මුළු සිරුරම මැෂින් වලට සම්බන්ධ කරලාය. ලබා දුන් නිද්‍රා ජනක ඔසුව නිසා ඔහු දැඩි සත්කාර ඒකකයේ නිදයි. පොරවා ඇති සුදු පැහැති ඇතිරිල්ල එසවෙන්නේ ඔහුගේ පපුව උස් පහත් වන වේගයටය. සමීපයේ ඇති මැෂින් වලින් නැගෙන ආගන්තුක හඬ නොතකා ගයාන්ගේ සියුම් කනට ඔහුගේ සුසුම් වැටීමේ සාන්ත නමුත් දුබල හඬ ඇසේ.

රෝගීව ඇටසැකිල්ලක් මෙන් යහන මත වැතිර සිටින මිනිසා ගැන ඔහු තක්සේරුවකට හෙමින් එළඹුනේය. ඔහු ගයාන් තරම් උස නැත. නමුත් මධ්‍යම ප්‍රමාණයේ දේහයකින් යුතු ඉතාම පැහැපත් සමක් ඇති කෙනෙකි. නමුත් නිරන්තර දුක් පීඩා සහ අවු රශ්මිය නිසා සම අඳුරු වී කිහිප පොලක් පිලිස්සී තිබුණි. ඔලුවේ තැනින් තැන කොටට කැපු කොණ්ඩය පසා කරගෙන තුවාල කැළැල් පෙනේ. පසුගිය කාලය මුළුල්ලේ දැඩි දුකක් විඳි බව පෙන්වන මුහුණ කටු පෑදී සිහින් වී ඇත. ඔහුගේ දෙතොල් සහ කම්මුල දකින ගයාන් කුඩා නෙතුකිගේ මුහුණ තුලද මේ සලකුණු ඇති බව මෙනෙහි කළේය.

ගයාන්ගේ ජීවිතේ ලොකුම භීතිය වූයේ මේජර් නිරෝෂාන් කනකරත්න ගේ යලි පැමිණීමයි. ඔහු මියගොස් සිටියා නම් මැනවයි බොහෝ විට කල්පනා කලද රට වෙනුවනේ අනන්ත ගැහැට විඳි මේ උත්තම පුරුෂයා අසරණව දැඩි සත්කාරයේ වැතිරී සිටින අයුරු දකින ගයාන්ගේ සිත ඔහු කෙරෙහි උණු වී ගියේය. සුසුමක් හෙලමින් එයින් පිට වුන ඔහු තමාට ඇඳීමට ලබා දුන් විශේෂ ආවරණය සහ සෙරප්පු ගලවා හෙදියට භාර දුන්නේය. තරුන හෙදිය නැවත වරක් සතුටින් ඔහු දෙස බැලුවාය.

සිනාසී එතනින් පිට වූයේ ඇගේ භාවහාව ලීලාවන් පවා නොතකමිනි. මේ අසීරු අවස්ථාවේ අනීශාගේ තීරණය කුමක් වේද ඔහු සිතුවේය. ඇය තාමත් නිරෝෂන් බලන්නට වත් නොගියාය. එසේ කරන මෙන් ගයාන් ඉල්ලුවත් දැඩි සිතක් ඇති ඇය එසේ කිරීම තරයේම ප්‍රතික්ෂේප කළාය. මේ හැසිරීම ගයාන්ට හිතා ගත නොහැකි විය.

හරි විදිහට නම් දැන් අනීශාගේ නරක කාලය ගෙවී ගොසිනි. වුර්තියෙන් ඇය ඉහලටම පැමිණ ඇත. හොඳ ආදායමක් ලබයි. ඒ අතර ඇයට දරුවෙක් දී අතරමන් කළ මිනිසා නැවත මතු වී තිබේ. ඔහු මතුව ඇත්තේ අතිශය මානුෂික හේතුවක් මතය. එබැවින් ඔහු සිටින්නේ සමාව ලැබිය යුතු මට්ටමකය. ඔවුනට නැවත පවුලක් ලෙස එකතු විය හැක. ඇගේ අතීතයේ කුණු සියල්ලම රණවිරුවෙක් වෙනුවෙන් කැප කල ගැහැනියක් ලෙස එක මොහොතින් සේදී යනු ඇත. හරි නම් තමා ඇයට නිරෝෂන් සමග විවාහ වීමට උපකාර කල යුතු නොවේද ?

ඔහුගේ පපුව හෝස් ගා පත්තු වී ගියේය. මදක් වාහනය ගසක් අයිනට කර නතර කළ ඔහු ස්ටියරින් වීල් එක උඩ හිස තබාගෙන කුඩා දරුවක් මෙන් වැලපුනේය. එතකොට ඔහු තනි වෙනවා නේද ? අනීෂා පමණක් නොව මෙතෙක් කල් ආදරෙන් හදන ලද නෙතුකි ද සදහටම තමාට අහිමි වෙනවා නේද සිතමින් වැලපුනේය.

අනීශා මේ පිළිබඳව තීරණයකට එළඹියේ නැතත් නිරෝෂන් සහ අනීෂා විවාහ වෙනු මනසින් දකිමින් ඔහු ඉකි බින්දේය. හිත මදක් සන්සුන්  වූ පසු නාවල දෙසට සෙමෙන් වාහනය පදවන්නට පටන් ගත්තේය. මගින් පොත් හලෙන් බැස නෙතුකිට අවශ්‍ය පොත් පත් කීපයක් මිලට ගත්තේය. ගයාන් සතියම ඔවුන් සමග සිටීම සතුටක් වුවත් අම්මා සහ තත්තා මොකකට හෝ අසතුටින් සිටිනා බව අවබෝධ කරගත් නෙතුකි කුතුහලයෙන් පිරී ගියාය. මේ සේරටම හේතුව තමා සංගීතයට ලකුණු අඩුවෙන් ගැනීම යයි සිතු ඇය වඩාත් පශ්චත්තාප විය.

තමා කුඩා කල අම්මා ගේ නපුරු කම සහ සිය රෝග තත්වය ගැන දෙස් දෙවොල් තැබීම නිසා කම්පාවෙන් සිටි හැටි ගයාන්ට මතක් විය. ඒ නිසා මේ දිනවල ඔහු නෙතුකි කැමැති දේවල් මිලට ගෙන දීමෙන් ඇගේ හිත හැදුවේය. අනීශාට නම් නෙතුකි ගැන වත් එතරම් කල්පනාවක් නොවීය. ඒ ගැන ගයාන් අනීශාට නොමදව සිතෙන් දොස් නැගුවේය.

ඔහු දෙකට පමණ ගෙදරට ලඟා වන විටත් අනීෂා කෑමක් වත් නොහදා ඇඳේ දිගා වී සිටියාය.

“ ඔයාට කොහොමද ?  “ අසා අගේ හිස අතගා ඔහු නෙතුකි සොයා ගියේය. ඇය කෑම කාමරයේ පුටුවක් උඩ වාඩි වී සමපෝෂ ටිකකට කිරි ටිකක් දාගෙන කමින් සිටියාය. දුෂ්පෝෂිත අහිංසක දරුවා උදේ කොර්න් ෆ්ලෙක්ස් කෑ බව මතක් කළ ගයාන්ට අනීෂා කෙරෙහි අධික කෝපයක් හට ගත්තේය. ඔහු ඇඳගෙන සිටි ඇඳුම් ගලවා කොට කලිසම පිටින් අවුත් වහාම චිකන් ඩෙවල් එකක් හදා ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවේය. සෝෆාවේ නින්දට වැටී සිටි නෙතුකි වඩාගෙන අවුත් කතා නැතුවම කුස්සියේ සින්ක් එක ලඟින් වාඩි කරවා බත් කැවුවේය. ඉක්බිති වතුරද පොවා නැවත යහනට ගෙන ගිය ඔහු දොර අඩවල් කරගෙන අනීශාගේ කාමරයට ආවේ කෝපයෙන් පිපිරෙමිනි. කෝපය මැඩගෙන “ ඔයාත් කෑවා නම් හරි “ යයි අනීෂා දෙස නොබලා ජනේලයෙන් ඉවත බලමින් කීවේය. නෙතුකි විසින් බිම දමා තිබුන පවුඩර් බෝතලයක් දුටු අනීශාගේ කෝපය යලිත් උත්සන්න විය.

“ නෙතුකි..නෙතුකි..මෙහේ එන්න… “ කියා යටි ගිරියෙන් කෑ ගැසුවාය.

ඇගේ එක අතක් වේගයෙන් අල්ලා අඹරා ඇඳ උඩ වාඩි කළ ගයාන් කෝපයෙන් වෙවුලන්නට විය.

“ බත් ටිකක් කාල යන්තම් ඇඳට දැම්ම විතරයි. ළමයට කරදර කරලා..බැනල මගේ යකා අවුස්සන්න එපා “ ඔහු රොස් වෙමින් ඇයට කීවේය.

“ මේ මොකද ?” ඕ කෝපයෙන් එකටෙක කියමින් පැන්නාය. ඇගේ නියපොතු වලට ගයාන්ගේ අත සීරී ලේ ගලන්නට විය.

“ ඒ දරුවා තමුසේ පාරේ යද්දී ඇඟේ එල්ලුනේ නැහැනේ. තමුසේ මිනිහෙක් එක්ක බුදියල තමා ඒ ළමය ජාතක කර ගත්තේ. තමන්ගේ පවු වලට දරුවට වද දෙන්න එපා…” ඔහු බුරා හැලුනේය.

“උදේ ඉඳල රට පුරා ඇවිදලා ඇවිත් තමුසේ මට උගන්වනවාද ?” ඇය පෙරලා ඇසුවාය.

“ මම එනකන් තමුසේ පොල් ගෑවද ? අඩුම ගානේ ළමයට කන්න දෙයක් දුන්නේ නැහැ. උදේට කොර්න් ෆ්ලෙක්ස්, දවල්ට සමපෝෂ, රෑට පාන් පෙත්තකට බටර් ගාල. ඕයි තමුසෙට පවු කියල හිතෙන්නේ නැද්ද ? ඒ ළමයාගේ බර අඩුයි. හරියට හදන්න බැරි නම් මට දෙනවා. මම නැති දවසට ළමයට කන්න දෙන හැටි මට හිතා ගන්න පුළුවන් තමුසේ “

තමාගේ වරද බව දැන සිටියත් මේ වෙලේ අධිකව පීඩනෙන් සිටි අනීෂා තවත් කෝප වූවාය. “ ඒ ළමයා තමුසෙගෙ නෙවෙයි. ඒ ළමයා ……” ඇය තමා අතින් පිටවූ සාහසික වදන ගැන ලජ්ජාවෙන් නිහඬ වූවාය.

ඔහු ඇගේ බෙල්ලෙන් අල්ලාගෙන බිත්තියට තබා තද කළේය.

“ ආ… තමුසෙට ඕනේ වෙලා තියෙන්නේ එක නම් තමුන්ගේ පවුල හදා ගන්නවා. හැබයි ඒක කෙලින් කියනවා. තමුසේ මහ කමකට නැති ගෑනියෙක් “ කියා ඇය අත්හල ඔහු ඇඳ උඩ වාඩි වී දනිස්ස අස්සේ මුහුණ ඔබා ගත්තේය.

එහා කාමරයෙන් ආ ශබ්දයෙන් නින්දෙන් ඇහැරුණ නෙතුකි කාමරයට දුව ආවාය. කෙස් වැටිය කඩාගෙන ඉන්න අම්මාත්, ඇඳ උඩ සිටින තාත්තාත්, ඔහුගේ අතින් ලේ ගලනුත් දුටු නෙතුකි වහා ගයාන්ගේ බෙල්ලේ එල්ලී මහා හඬින් හඬන්නට පටන් ගත්තීය. තමාගේ කමිසයේ අතින් ඔහුගේ ලේ ගලන නියපොතු පහරවල් පිසිමින් “ අපි යමු තාත්තී ..අපි යන්නම යමු..අපිට ගහනවා “ කියමින් ඉකි බිඳින්නට වූවාය.

ඔහු නෙතුකි එක්ක එළියේ බැල්කනියට ගිහින් ඇය උර මත තබාගෙන නිදි කළේය. එක ඇඟිල්ලක් කටේ ඔබාගෙන නිදා හුන් ඇගේ දෙනෙත් වල කඳුළු කැට තවමත් දිලිසේ. ගයාන්ද සිටියේ අධික වේදනාවෙනි. ඇයට නිරෝෂාන් සමග විවාහ වීමට අවැසි නම් එය නොකියන්නේ මන්ද ? අසරණ කුඩා දරුවා හා තමා මේ ලෙස පීඩාවට පත් නොකර පහසුවෙන් කළ හැකිය. එයට ඕනෙම මොහොතක උපකාර කිරීමට තමා සූදානම් බව ඔහු ප්‍රත්‍යක්ෂ කළේය. නින්දට වැටුන නෙතුකි එහෙම්ම උරහිස මත එල්ලාගෙන ඔහු දිගටම සක්මනේ යෙදුනේය.

මනසේ මීදුම පහව යත්ම තමා කළ වරදේ තරම අවබෝධ කරගත් අනීෂා ඔහු වෙතට පැමිණියාය. වෙනදාට උදේ නැගිටින විටම මූණ සෝදා ඇඳුම් මාරු කරන ඇය මේ දවස් වල පුරුදු පරිදි සිටියේද නයිටිය පිටිනි. පියයුරු දෙපැත්තට විසිරී තිබුන අතර දෙනෙත් වල තාම කබය. ඒ සියල්ල මදිවාට ගැලු කඳුළු නිසා ඇගේ මුහුණ භයානක විලාසයක් ගත්තේය. මානසික අවපීඩනය වැඩි වුන වෙලාවට මිනිසුන්ගේ ස්වභාවික හැසිරීම වෙනස් වෙති.

සාමන්‍යයෙන් අහිංසක , හොඳ ගැහැනියක ලෙස හැසිරුනත් මානසික අවපීඩන තත්වය උත්සන්න වන විට ඇය හැම දෙයක්ම අතහරියි. නිකරුනේ හඬයි. මෙතරම් සමීපව සිටියත් එය ගයාන්ට අවබෝධ කර ගැනීම අසීරුය.

තමාට නැවත වසර දෙකකට පෙර පරිදි මානසික අවපීඩනය වැළදී ඇති බව ඇයට තේරුම් ගියත් සිටියේ හඬමින් නිසා ඇගේ මනස නිරවුල්ද නොවීය. පිටුපසින් පැමිණ මුළු ජීවිතේටම තමාට සිටින එකම ආරක්ෂකයා වූ ගයාන්ගේ දැවැන්ත පිට තරයේ බදා ගත්තාය. ඇගේ කඳුලින් ඔහුගේ පිට තෙත් විය. ඔහු සීරුවෙන් එක අතක් ගෙන ඇය බදා ගත්තේය. ඉක්බිති කුඩා නෙතුකි කාමරයට ගිහින් ඇඳේ පරිස්සමෙන් තබා මුහුනද සිපගෙන ඔහු අනීෂා දෙසට හැරුනේය.

ඇය ඔසවාගෙන සාලයේ සෝෆාවට ගිය ගයාන් ඇය එහි ඉන්දවා පහලින් බිම වාඩි විය. ඇය නොනවත්වා ඉකි බිඳිමින් හඬයි.

“ ඔයාට මොනවද ඕනේ කියන්න මට ? ඕනෙම තීරණයක් ගන්න. මම උදවු කරන්නම්. පින් සිද්ධ වෙයි මේ ළමයයි මායි මරන්න හදන්න එපා….”

“ දෙවියන්ගේ නමින් හරි වචනයක් කියන්න අනීෂා. බලාගෙන ඉඳල අපිට පිස්සු හැදේවි”

අනීෂා සිටියේ කිසිම තීරණයට ආ හැකි මානසික මට්ටමක නොවේ. අසරණ ගැහැනියක් වූ ඇගේ හිස තවත් පහතට කඩා වැටින.

“ මට දැනෙන්නේ ..මට දැනෙන්නේ හරියට මම සුළි කුනාටුවකට අහු වෙලා වගේ… මට සනීප නැහැ..ආයෙත්…මාව ඩොක්ටර් ගාවට ගෙනියන්න..මට මැරෙන්න හිතෙනවා “ ඇය තවත් ඉකි බිඳින්නට වූවාය.

සවස ඔවුන් දෙදෙනා පහල ගෙදරට නෙතුකි භාර දී මනෝ වෛද්‍ය වරයා හමු වීමට විධාන යෙදූහ. මේ අතර චීනයෙන් ගෙනා වී වේලන අලුත්ම මැෂිම කිසියම් ලෙඩක් දෙන බවත් ඒ නිසා වේ වේලීම ඇනහිට ඇති බවත් තිලින කතා කොට ගයාන්ව දැනුමත් කළේය.

“ දැනට වී ටික ගමේ අම්මලා ගෙන්නලා දවසේ පඩියට පැදුරු වල දාල වේලවන්න. මම එන දවසක් කියන්න බැහැ “ කියා දුරකථනය විසන්ධි කළේය.

මෙවැනි අසරණ මොහොතක අනීෂා සහ නෙතුකි දමා ඔහු කොහොම යන්නද ? කොහේ යන්නද ?

සසර සැරිසරන මිනිසා බැඳීම් සමග කොතරම් අසරණ වෙනවාද ..ගයාන් නිහඩව කල්පනා කළේය.

( ලබන සතියට )