සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


07 කොටස

එදා අනීෂා ගෙදර සිටිය සෙනසුරාදාවක් වුනේ ගොඩක් කාලෙකින්. අම්මි ටික කාලෙකට මුළු සති අන්තයම තමන් එක්ක ඉන්න බව අහපු නෙතුකි ගොඩක් සතුටු වුනා. ඊළඟ සතියේ ඔවුන් තුන් දෙනාම එකට සති අන්තය ගයාන්ගේ වතු යායේ ගත කරන්නත් සැලසුම් හදාගෙන සිටියේ.

අනීෂා නෙතුකිගෙයි ගයාන්ගෙයි ඔලු වල තෙල් ගාල හොඳින් මසාජ් කරා. ඔලුවේ තෙල් ගානවට නෙතුකි කොහෙත්ම කැමති නැහැ. අනීෂා ගොඩක් කුඩා නිසා ගයාන්ව පඩි පෙලේ පඩි තුනක්ම පහලට බස්සවල ඉන්දවාගෙන තමයි ඔහුගේ ඔලුවේ තෙල් ගාන්නේ. උඩම පඩියේ සිටියේ අනීෂා. නෙතුකි අවසානයට ගයාන්ගේ කකුල් දෙක අතර වාඩි වෙලා සිටියා. ඔහු නොයෙක් ආකාර විලාසිතා නෙතුකිගේ කොණ්ඩෙට නොදමන්න මේ දඟ මල්ල කොහොම හරි පනිනවා.

ඇත්තටම මේ කාලෙකින් ආව සුන්දරම සෙනසුරාදාවක්. අනීෂාගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණා. ඒ වගේම ගයාන් ඇයට යෝජනා කළා විවාහය සිදු කරන්නට. දෙපැත්තෙන් කිසිම නෑයෙක් නැතුව ඔවුන් දෙදෙනා, නෙතුකි සහ අත්සන් කරන යාළුවො දෙන්නෙක් එක්ක ගිහින් මේ විවාහය සිදු කරන්න ඔවුන් තීරණය කළා. ඉන් පස්සේ වෙනම හිතවතුන්ට පාටියක් දීල මේ විදිහටම ජීවිතේ නිවාස දෙකක ගත කරන්නත් ඔවුන් දෙදෙනා සම්මුතියට එළඹුනා.

හදිස්සියේ යමක් වෙලා තමාට අනතුරක් වුනොත් හෝ මිය ගියහොත් එවිට අනීෂට අඩුම තරමේ තමාගේ දේපොළ වත් ලැබේවිනේ කියන විශ්වාසයෙන් ගයාන් සතුටු වුණා. ඒ වගේම විවාහයෙන් පස්සේ ඇයට අඩම්තෙට්ටම් කිරීම් නවතීවි කියන බලාපොරොත්තුවත් ඔහුගේ සිතේ තිබුණා. ඔවුන් තුන් දෙනා මේ සහනදායී පරිසරේ සුවය විඳිමින් බැල්කනියේ කුඩා පුටු තුනක වාඩි වෙලා නාන්න සුදුසු වෙලාව එනකන් බලාගෙන සිටියේ.

දොරේ සීනුව නාද වුනේ ඒ වෙලාවේදී. මේ වෙලාවේ කවුද කියල පුදුමයෙන් ගයාන් ඉස්සරහට ගියේ දොර හරින්න. බොහෝ විට මහල් නිවාස සංකීර්ණයේ වෙනත් ගෙයක් කියා වැරදිලා කවුරු හෝ සීනුව නාද කළා විය යුතුයි.

“ මිස් අනීෂා ඉන්නවද ?” පොලිස් නිලධාරියෙක් ඇහුවේ තරමක් පුදුම වෙලා වගේ ගයාන් දෙස බලමින්.

“ ඔවු. මොකද්ද වුවමනාව ? “ ගයාන් පෙරලා ඇසුවා.

“ එයා කවුද ඔයාගේ ?” ඔහු ඇහුවේ ගේ ඇතුලට එබෙමින්.

“ මොකද්ද ගැටලුව කියන්න රාලහාමි “ එවර සැරෙන් ගයාන් විමසුවා.

“ මේක OIC මහත්තයාගේ විශේෂ ඉල්ලීමක්. අපි එක්ක පොලිසියට යන්න අනීෂා මිස්ට කියන්න පුලුවනිද ?”

පුදුම වුන ගයාන් නිශ්ශබ්දව ගෙට ගියා. පොලිස් නිල රථය ඉදිරියෙන් යද්දී ගයාන්ගේ ජීප් රියේ නැගුන ගයාන් සහ අනීෂා පිටත් වුනා. නෙතුකිව පහල තට්ටුවේ සිටි ඔවුන්ගේ හිතවත් මහලු මිසිස් තිලකරත්නට දුන්නා ටික වෙලාවක් බලා ගන්න.

පොලිසිය කුමක් නිසා තමාට එන්න කීවද කියා අනීෂා මදක් බයෙන් සිටියේ. “ ඔයා වරදක් කරලා නැහැනේ “ කියමින් ගයාන් ඇය අස්වැසුවා. හැම දේම තනියම කර ගත්තත් මේ වගේ වෙලාවක අනීෂා ගොඩක් අසරණ වුණා. පියෙක් නැති දරුවෙක් ඉන්න තමාව පොලිසිය වගේ ආයතන වල ඉන්න කුහක නිලධාරීන් අතින් ගොඩක් සමච්චලයට සහ හිරිහැරයට ලක් වෙන බව ඇය දැන සිටියා. මේ හැම මොහොතකම ඇගේ ආරක්ෂාවට හිටි එකම හයිය  වුනේ විශ්වවිද්‍යාල ගුරු වුර්තියේ හැඳුනුම්පතයි. ඒ උගත්කම ඉදිරියේ මේ සමාජයේ ජීවත් වුන අසරණ ගැහැනියකගෙන් ප්‍රයෝජන ගන්න බය ගන්වන නිහීනයෝ හැම මොහොතකම පසුබා ගියා.

ඔවුන් දෙදෙනා පොලිසියට ඇතුල් වෙද්දී හැමෝම ඔවුන් දිහා බැලුවා. අනීෂා ගණන් නොගෙන ගයාන් සමග ස්ථානාධිපති ගේ කාමරයට ඇතුල් වුණා.

“ මිස් ගේ නම අනීෂා පරණහෙවා ද ?” ඔහු ඇහුවේ ඔවුන් දෙදෙනාට ඉඳගැනීමට සන් කරමින්.

“ මේ කවුද ? “ ඔහු ගයාන්ව පෙන්නලා අනීශාගෙන් ඇහුවේ තරමක් අධිකාරි බවක් ආරූඩ කරගෙන.

“ මගේ .. මගේ ..” අනීෂා මොහොතකට පැකිලුනේ ඔහු කවුරු කියා හඳුන්වලා දෙන්නද කියන චකිතයෙන්.

“ මමයි මෙයාව බඳින්න ඉන්නේ. මම තමයි ගයාන් ගුණසේකර” ඔහු කෙලින්ම ස්ථානාධිපතිට තමන්ව හඳුන්වා දුන්නා.

“ බඳින්න ඉන්නේ ? තාම බැඳලා නැද්ද “ ඔහු ඇහුවේ දෙදෙනාගේ වයස පරතරය පැහැදිලිව පෙනුන නිසයි.

“ මහත්මයා අපිට එන්න කීවේ ? “ ගයාන් කෙලින්ම ඔහු දෙස බලා ඇසුවා.

“ අඃ..ඒක මේ පුද්ගලික මට්ටමේ කාරණාවක්. පොලිසියට එන්න කීවේ ගෙදරට ඇවිත් කරදර කරන එක සුදුසු නැති නිසා.”

ඔවුන් දෙදෙනා කුතුහලයෙන් බලාගෙන ඉද්දි ස්ථානාධිපති කරුණ විස්තර කරන්න පටන් ගත්තා “ මිස් අනීෂා ඔයා කාලෙකට පෙර නිරෝෂාන් කනකරත්න කියල හමුදා නිලධාරියෙක් එක්ක සමබන්ධයක් පැවත්තුවද ? “

ගයාන් අනීශාගේ මුහුණ දෙස බලද්දී අනීෂා කම්පනයෙන් ඔලුව වැනුවා.

“මට ආරංචි විදිහට ඔබ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදී පවත්වපු සම්බන්ධයෙන් දැන් දරුවෙකුත් ඉන්නවා නේද ? නැත්නම් ඒ ලැබෙන්න හිටිය දරුවා නැති කළාද ? දැන් ඔය හදා වඩා ගන්නා දරුවා වෙන කෙනෙක්ගේද ? ”

“ ඇයි මේ පුද්ගලික දේවල් අහන්නේ “ අනීශා ඇසුවේ දුගඳ හමන අමිහිරි අතීතෙක සුන්බුන් මතු කරන්නේ ඇයි කියන ගැටලුවත් එක්කමයි.

මේ දේවල් ඕපදූප කියන මිනිස්සුන්ට කිවීම පහසු වුනත් නැවත හාරන කොට දැනෙන අමාරුව ඇය විඳිමින් සිටියා.

“ නැහැ . නැහැ..එයා තමා මගේ ලොකු අම්මගේ එකම පුතා”

“ ඒ සේරම අතීතයට ගිහින්. මම මගේ දරුවා කොහොම හරි හදා ගත්තා. ඔය පවුලේ අම්මට සහ සහෝදරයන්ට මම වැඳ වැටුනා මේ දරුවා නිරෝෂන් ගේ කියල. හැබැයි හැමෝම මාව එලෝගත්තා. ඔයාගේ ලොකු අම්මා මට ගණිකාව කියල බැනල තමා ගෙයින් එලියට දැම්මේ. දැන් මොනාටද ඔයාල ඒ මැරුණ මනුස්සයගේ දරුවෝ ගැන හොයන්නේ ?” ඈ ඇසුවේ දැඩි කෝපයකින්.

“ නංගි… මම කියන දේ අහන්නකො “ කියමින් ස්ථානාධිපති මදක් නැවතුණා.

“ දැන් වෙලා තියෙන්නේ මේකයි. නිරෝෂාන් කොටින්ට අහුවෙලා කොහෙද දූපතක කොටු වෙලා දැන් වසර 5 කින් ඇවිත්. එයාගේ සෞක්‍ය තත්වය ඇත්තටම හොඳ මට්ටමක නැහැ. තව මාස 4 ක් වත් ඉස්පිරිතාලේ නවත්වලා බෙහෙත් කරන්න වෙනවා. ඇඟ පුරාම තුවාල. මන්ද පෝෂණය. පණු රෝග. ශරීරෙ දුර්වල වෙලා…. එයා මැරුණා කියල අපි දානත් දීල ඉවර වෙලා නේ හිටියේ.”

අනීශාගේ දෙනෙතින් කඳුළු කඩා වැටුණා. ඈ ගයාන්ගේ අත තරයේ අල්ලා ගෙන තද කර ගත්තා. අතීතයේ තමා ජීවිතය දෙවෙනි කොට කුළුඳුල් ප්‍රේමය පිදු මිනිසා , ඔහුගේ නමින් අපමණ නින්දා අපහාස වලට මුහුණ දීමට සිදු කළ මිනිසා ,මළා යයි දාන දුන් මිනිසා අතීතය පසාරු කරගෙන මතු වී තිබේ. අමාරුවෙන් මතකයේ හැංගු මතක ඇගේ මොලය හරහා වේගයෙන් දුවන්න පටන් ගත්තා.

“ එයා ඉන්නේ දැඩි සත්කාරේ. නිතරම නින්දෙන් බය වෙනවා. අසිහියට එනවා. හැම වෙලාවකම ඔයාගේ නම මතක් කරනවා. එයාට වැටහීමක් නැහැ අවුරුදු 5 ක් ගෙවිලා කියල. මේ වෙලේ ඔයා මැදිහත් වෙනවා නම් එයාව ගොඩ ගන්න පහසු වෙනවා. ඒ වගේම සනීප වුනාම ඔයාලට විවාහ වෙන්නත් අපි ඉඩ දෙන්නම්.”

මේ වෙලේ අනීශාගේ කෝපය නැවත නැගුණා.

“ ඔයාලට එපා වෙලාවට ගණිකාව කියල එළවන්නයි. ඕනේ වෙලාවට ආයේ එන්න කියන්නයි මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ ?”

ස්ථානාධිපති වරයා ලජ්ජාවෙන් බිම බලා ගත්තා.

“ අනේ නංගි.. එහෙම කියන්න එපා. නිරෝෂාන් මල්ලි වෙනුවෙන් වත් එයාව බලන්න යන්න. ඔය ළමයා එයාගේ නෙවේ වුනත් කමක් නැහැ. අපි මුකුත් කියන්නේ නැහැ” ඔහු කීවේ චාටුවෙන්.

“ මට කාගෙන්වත් මුකුත් කිවීම් වැඩක්ම නැහැ මිස්ටර්. මට අහන්න ඕනේ හැම ජරා කතාවක්ම අහන්න සිදු වුණා. නමුත් ඒවා දැන් වැඩක් නැහැ. ඔයාගේ ලොකු අම්මට කියන්න එදා කල අපරාද තමා අද පල දෙන්නේ කියල. මම දැන් යනවා “ කියමින් ගයාන්ගේ අත තරයේ අල්ලාගෙන ඇය නැගිට්ටා.

“ මල්ලි ඉන්නේ කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ” ඔහු උත්තර දුන්නේ අනීශා සමග වාද කිරීමෙන් වැඩක් නොමැති බව දැනගෙනයි.

“ එදා මම මේ දරුවෙක් බඩේ තියාගෙන තනි වුන වෙලේ ඔයගොල්ලෝ කවුරුත් මනුස්සයෝ ලෙස හැසිරුනේ නැහැ. ඔහොම ජරා පවුලක් එක්ක ගනුදෙනුවක් මට නැහැ” කියා ඇය පිටවුණා.

වාහනය වෙත දුවගෙන ආව ඇය ඉදිරිපස අසුනේ සිට හඬා වැලපුණා. ගයාන් වේගයෙන් රිය පැදවූයේ හැකි ඉක්මනින් පොලිසියේ වැට මායිමෙන් එලියට ගන්න. වැලි පාරක් එක දෙසට වේගයෙන් ධාවනය කළ ඔහු අතුරු මගකට හරවලා වහනය නැවැත්තුවා. තවමත් හඬමින් ඉන්න අනීශාගේ හිස අතගා සැනසුවා. මේ වගේ වෙලාවට ඔහුගේ කටට  වචන එන්නේ නැහැ. නමුත් ඈ වෙනුවෙන් තමා සිටින බව පෙන්වන්න මෙන් හැමදාම වගේ විශාල ශක්තිමත් අත්ල නොනවත්වා ඇගේ කෙස් අතරින් ගමන් කළා.

නෙතුකිට වෙනසක් නොපෙනෙන්න ගෙදර යන්න ඕනේ නිසා ඔවුන් දෙදෙනා ගෝල් ෆේස් දෙසට ගියා.

“ එක ප්‍රශ්නයක් ඉවර වෙද්දී තව එකක් එනවා” ගයාන් කල්පනා කළේ සුසුමක් හෙලමින්.

( ලබන සතියට )