සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


06 කොටස

 

“ පුතේ ඇයි මේ පිජාමා එක ඇඳ උඩ දාල ? “ අනීෂා ඇහුවේ තරමක් සැරෙන් .

“ සොරි අම්මි “ කියපු නෙතුකි වහාම කිළුටු ඇඳුම් දාන බාස්කට් එකට ඇඳුම් දැම්මා.

කොයි තරම් කුඩා වුනත් තමන්ගේ වැඩ සේරම තනිව කර ගත්තු නෙතුකි ගැන අනීෂා ආඩම්බර වුනා. මම හෙට මැරුණත් මගේ කෙල්ල ජීවත් වෙන්න ඕනේ. මෙයාව හදන්න ඕනේ ඒ විදිහට. පවුලක් නෑයෙක් නැති ඇය ශක්තිමත්ව හදන්න ඕනේ කියන අදහස අනීෂා නිතරම තමාගේ ඔලුවට දැම්මා.

එදා අනීෂට නිවාඩුවක් දාන්න සිදු වුණා. ඒ නිසා නෙතුකිත් වේලාසනින් ගෙදර ඇවිත් හිටියේ. ඇගේ අවසාන නිබන්ධනය භාර දීම ගැන ඇය ගොඩක් සතුටින් හිටියේ. මේ කාලයේ දුව මගහැරුණ නිසා ඉතුරු දවස් ටිකේ ඇය එක්ක තනිවම නිවාඩුවක් ගත කරන්න කැමැත්තෙන් හිටියේ. ගයාන්ට වැඩ බහුල නිසා ඔහු ඒ ගමනට නොඑන බව මුලින්ම දන්වලා තිබුණා.

ඔවුන් දෙදෙනා ගියේ බෙලිහුල් ඔය අද්දර තිබුන කුඩා නිවාඩු නිකේතනයකට. අනීෂා තමන්ගේ මුදල් වල තත්වය ගැන උදේම ගණනය කළා. කොහොම උනත් තමන්ගේ මුදල් පරිපාලනය හොඳ බවත් රැකියාවක් නොකර වුනත් වසරක් පමණ ජීවත් වීමට මුදල් ඇති බවත් මෙනෙහි කළේ සතුටින්.

PHD එක ඉවර වෙලා ඇය රට යන්න හිතාගෙන හිටියේ. හැබැයි දැන් ගයාන් නිසා ඒ දේ කරන්නත් ඇයට ලොබ හිතුනා. ඒ වගේම ඔහු තමා නැතුව විනාස වේවිද කියන බයත් අනීෂගේ හිතේ නිතරම හොල්මන් කළා. එකතු වෙන්න නොහැකි දහසක් බාධක තිබෙද්දී වෙන් නොවෙන්න හිත හදා ගන්න එකත් ලොකු සටනක්.

හැබැයි මේ වගේ වෙලාවල ජීවිතේ ගොඩනැගෙන පීඩනය අපේ මානසික ශක්තිය අහිමි කරවනවා. කොහොම වුනත් තමන්ට උපන් දරුවා හොඳින් හදා වඩා ගැනීම හැම දේටම වඩා වටිනා බව ඇය සිතුවා. මේ රටේ ඇයට අවජාතක යන ලේබල් එක වැදුනට බටහිර රටක තමන් දෙදෙනාට කිසිම කරදරයක් නැතුව පහසුවෙන් ජීවත් විය හැකි නොවේද කියා ඇය කල්පනා කරමින් සිටියේ.

මේ අතරේ අනීශා සහ නෙතුකි රට යන්න නොදී රඳවා තබා ගැනීම නරක වැඩක් ලෙසයි ගයාන් සිතුවේ. ඔහුට ඇය විවාහ කර ගැනීම ගැන පවුලෙන් නැගෙන ගැටලුව විසඳන්න බැරි වීම ගැන ඔහු ගොඩක් කනගාටු වුනා. මේ සේරම මැද ඔහුගේ ගොවිපොළේ කටයුතු වලින් කාර්ය බහුල නිසා ඔහුගේ හිතට මේ ගැටළු ලොකු වෙනසක් කලෙත් නැහැ.

ඔහු එදා මාපියන් දකින්න ගියේ මේ ගැන කෙලින් කතා කරලා තීරණයක් ගැනීමේ අදහස ඇතිවයි . ඔහු යද්දී අම්මා මිදුලේ වැඩක් කරමින් ඉන්නවා ඈත තියාම දුටුවා. පුතා එනු දුටු කරුණාවතී මැණිකේ අත් දෙක ඉනේ ගහගෙන බලාගෙන සිටියේ තමාගේ මෙවර පොල් ගැහිල්ල සාර්ථක වෙලාදෝ කියන පුදුමයෙන්.

ඔහු කෙලින්ම ඉස්තෝප්පුවට ගිහින් පුටුවේ වාඩි වුණා. මේ වෙලාවේ කාමරේ ලියමින් සිටි ගාමිණි මහතා එලියට ආවෙත් ගයාන්ගේ වාහනේ සද්දේ ඇහිලයි.

“ වාඩි වෙන්න චූටි පුතේ “ ඔහු දයාවෙන් ගයාන්ට කීවා.

“ කවුද එන්න පාර කීවේ ?” කරුණාවතී මැණිකේ ඇහුවේ උපහාසයෙන්. ගාමිණි මහතා ඇය දෙස රවා බැලුවේ නිහඩ වෙන්න කරන අණක් වශයෙන්.

“ ඔයා ගිහින් තැඹිලි ගෙඩියක් කපාගෙන ආවා නම්..පුතාට මහන්සි පාටයි “ ඔහු ඇයට කීවා.

තැඹිලි ගෙඩිය පුතාට වීදුරුවකට දාල දෙන අතරේ ඇය ඔහුගේ මුහුණ බැලුවා. ඔහු හරිම කඩවසම්. ඒ ගැන ආඩම්බරෙන් හිත පිරුණත් ඇය කවදාවත් දරුවන් අගය කරන්නේ නැහැ. අහංකාරය පිට මිනිස්සු එක්ක හැම වෙලේම කියෙවුවට දකින තැන දරුවන්ට බැනීම ඇගේ සිරිත වුනා. පහුගිය තුන් වසරේ ඇය දරුවෝ එක්ක තිබ්බ සම්බන්ධකම් ගොඩක් පලුදු වෙලා තිබුණේ. එයට හේතු වුනේ ලොකු පුතා විදේශික කාන්තාවක් සරණ කර ගැනීම සහ පොඩි පුතා අනීෂා සමග ප්‍රේමයෙන් බැඳීම.

“ තාත්තේ මම ආවේ කසාදේ ගැන තීන්දුවක් ගන්න “ ඔහු මව නොතකා හරිමින් පියාට කීවා.

ගාමිණී මහතාට හුස්මක් ගන්න බැරි වුනේ එක පාරටම කරුණාවතී මැණිකේ කඩාගෙන පැනපු නිසයි.

“ උඹ රෙද්දක් ඇඳගෙන ආවේ අපෙන් කසාද අහන්න? ඔය අවලම් බැල්ලිට මම ජීවතුන් අතර ඉන්නතාක් මේ ගෙදර පස් පාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඕකිව ගෙනෙන් මගේ මරණෙන් පස්සේ “ ඇය වියරුවෙන් කෑ ගැසුවා.

“ අම්මගේ ගෙදෙට්ට කොහොමත් එයාව ගේන්නේ නැහැ. එයාට ඉන්න ගෙයක් තියනවා “ ගයාන් මුහුණ රොස් කරගෙන කීවා.

“ නෝනා පොඩ්ඩක් පුතා කියන දේ අහන්නකො “ ගාමිණී මහතා හරස් කැපුවා.

“ මොනවා අහන්නද ? තමුසේ තමා මේ මීහරකව නරක් කරේ. ඕනේ ඕනේ පදේට නටලා. තාත්තල පුතාල වල් ගෑනු මේ ගෙදරට ගෙන්න හැදුවොත් අම්මපා මම වස බොනවා. “

මී හරකා කියන වචනේ අහද්දී ගයාන්ට කුඩා කල අම්මගේ බැනුම් නිසා හටගත් වේදනාව නැවත ඇති වුණා. ඇය කුඩා කල තමාව පිස්සෙක් ලෙස හැංගුව හැටි ඔහුට මතක් වුණා. දිනක් ඔහු උද්‍යානයේ ගසකින් වැටිලා අත කැඩිලා රෝහල ගෙන යන අතරතුර “ මගේ කරුමේ..මගේ පාපෙට උපන් කාලකනියා කියමින් ඔහුට බැන වැදුන හැටි ඔහුගේ මතක පටයට පිවිසුණා”

වයස 26 දීත් ඔහුගේ නෙතින් කඳුළු කඩා වැටුණා.

“ අම්මේ ..අම්ම මට පොඩි කාලේ කිවුවේ ..පිස්සා , ගොනා , මීහරකා කියල . අම්ම ඒ කාලේ මාව හංගනවා ලැජ්ජාවට. මම දක්ෂ වෙද්දී තමා අම්ම මාව පිලි ගත්තේ. තාත්තා නැත්තන් මම ඇත්තටම පිස්සෙක් ..කාලකන්නියෙක් වෙලා තමා නවතින්නේ. අනීෂා ට මම ආදරේ කරේ එයාගෙන් තමා මම පලවෙනි වතාවට අම්මෙක්ගේ ඇත්ත ආදරේ වින්දේ. අම්මෙක් කියන්නේ දරුව හොඳ වුනත් නරක වුනත් දරුවාගේ පැත්තට වැඩ කරන කෙනෙක්. ”

“ පුතේ ..මම කියන දේ දවසක තේරේවි. ඕකි උඹේ කනෙන් රිංගලා ඉවර වුනාම ආයෙත් උඹට වදපු අම්මව මතක් වෙයි “ කියමින් ඇය කම්පාවෙන් හඬා වැටුනා.

“ වෙන දේ මම බලාගන්නම්. අපායට වුනත් දිව්ය ලෝකෙට වුනත් මම කැමැත්තෙන් යනවා. මට එයාව අතහරින්න බැහැ. අම්මලා අකමැති නම් මම ගෙදර එන්නේ නැහැ. ඔයාල වෙඩින් එකට එන්න ඕනෙත් නැහැ.” ඔහු අපහසුවෙන් කතාව ඉවර කරන්න නැගිට්ටා.

ගාමිණී මහතා ඇවිත් ගයාන්ව වැළඳගෙන නැවත වාඩි කෙරෙවුවා. කරුණාවතී මැණිකේ වැලපෙමින් ගේ ඇතුලට ගියා. “ මගේ එකෙක්ගේ වත් මගුලක් මට දකින්න බැරි වුණා. හැමෝගේම ළමයි ලස්සනට පෝරු වල නැගලා වැදගත් විදිහට බැන්දා . නිශාදිගේ පුතා බැන්දේ කොයි තරම් වැදගත් පවුලකින්ද ? ඒ දෙන්නා අවුරුද්දකින් දික්කසාද වුනා තමයි. ඒත් මේ වගේ නාකි හෝන්තුවක් ළමයෙක් එක්ක බැඳලා මේ බුරුවා මගේ මූනේ දැලි ගාන්නේ ඇයි ? “

“ මගේ පුතේ. ඔයා ඒ ළමයට කැමති නම්..ජීවිතේම එයා එක්ක ඉන්න පුළුවන් කියා හිතනවා නම් එයාව බඳින්න. මම ඒ ළමය හම්බ වෙන්න ආවොත් අම්ම ලොකු කලබලයක් කරනවා. ඒ  නිසා මම එන්නේ නැහැ. මගේ පුතා කැමති දේ කරන්න. මම පුතාට හැමදාම වගේ ආශිර්වාද කරනවා පුතේ.” ඔහු හදේ ඇවිලෙන වේදනාවෙන් ගයාන්ගේ ඔලුව අතගෑවා. හැමදාම වගේ ඔහුට පුතා ගැන දැනුනේ පුදුම වේදනාවක්.

“ අම්ම ඇත්තටම වස බොයිද තාත්තේ ? මට ජීවිත කාලෙම විඳවන්න වේවි නේද ?”

ගාමිණී මහතාගේ දෙතොල උපහාසාත්මක හිනාවකින් වක් වුණා.

“ පුතේ … අපි කවුරු වුනාත් කාට හරි ඇත්තටම ආදරේ නම් ඒ කෙනාගේ තීරණ ගැනීමේ අයිතියට ගරු කරනවා. ඒ අයිතියට ගරු නොකරන්නේ ආදරේ නැති මිනිස්සු. අම්මා තරුණ කාලේ ඉඳල ඔය හිතුවක්කාර කතා කියනවා. ඒ එයාගේ හැටි. ඔයා දන්නවනේ මම කොයි තරම් අමාරුවෙන්ද ඉහ ගහගෙන හිටියේ කියල . ඒ නිසා අම්ම ඇත්තම වස බීවත් පුතා කනගාටු වෙන්න දෙයක් නැහැ. පුතා කරන්නේ හරි දේ කියල පුතාට විශ්වාස නම් , ආපහු හැරෙන්න එපා පුතේ “

තාත්තට වැඳපු ඔහු ගෙදරින් පිට වුණා. තාත්තගේ වචන වලින් ඔහුගේ හිත සැනසුනා. අම්ම ගේ හැසිරීම් ගැන ඇති වුන වේදනාව අමතක කරන්න ඔහු වේගයෙන් රිය පැදවුවා. අනීෂා සහ නෙතුකි බෙලිහුල්ඔය ඉඳල ආපසු එද්දී මේ ගැන අවසාන කතාවට එන්න ඔහු තීරණය කළා.

සමහර විට ඔවුන් දෙන්නට එකට ඉන්නට දෛවය ඉඩ දෙන්නේ නැතුව ඇති. නමුත් විවාහ වීම ඔවුන් දෙදෙනා අතර ඇති වන ගැටුම් අවම වෙන්න හේතු වේවි කියල ඔහු බලාපොරොත්තු වුණා. සම්බන්ධයෙ ඇති අස්ථිර බව නිසා අනීෂා නිතරම කෝප වෙන බව ඔහු දැනගෙන සිටියා.

මේ දවස් වල ගොවිපොළේ කටයුතු සාර්ථකව සිදු වුණා. ලොකු ගානකට රැකියා ලැබුණා. ඔහු බොහෝ විට සිය නිෂ්පාදන පිට රටට යැවුවා. ආදායම සරු වෙද්දී වෙනත් නිෂ්පාදන හඳුන්වා දුන්නා. හරි හමන් දැක්මක් නැතුව සිටි ගමේ අහිංසක ළමයි බහුතරේ ගයාන්ගේ චරිතය ආදර්ශයට ගත්තා. ගොවිතැන කියන්නේ අතහැරෙමින් පැවතී වුර්තියක් ලෙස සලකලා ගංජා ගසමින් , සමුර්ධියෙන් කමින්, රජයට බනිමින් සිටි තරුණයෝ බහුතරේ ගයාන් එක්ක එකතු වෙලා දිවා රාත්‍රී නැතුව පොලව සරු කරන්න දහදිය හෙලුවා.

බඩවැටියෙන් මෙහාට රිංගුව දරුණු ගොනෙක් තප්පු ලමින් වත්තේ ඇවිදින නිසා හරක් පට්ටියේ වටිනා හරක් එලියට ගැනීම අසීරු වුණා. මූ අසල වනපෙතින් පැන්න කුළු හරකෙක්. දවාලේ වෙන එකක් තබා එලියට යාම වුනත් බොහෝ දෙනෙක්ට කල නොහැකියි. ඌ නිදහසේ එළවලු පාත්ති බුදිමින් රාජකීය ලීලාවෙන් හැසිරුණා.

එදා ඔහු වනජීවී එකට කතා කර මේ ගොනාව අල්ලාගෙන යන්න ඉල්ලා සිටියා. මේ ගොන් භීශනේ නිසා මේ දිනවල ගොවි ගෙදර කටයුතු නිසි ලෙස සිදු වුනේ නැහැ. නමුත් වනජීවී එකෙන් මේ ගොනා අල්ලන්න ආවෙත් නැහැ. මේ සේරම අමතක වෙච්චි ගයාන් විවාහය ගැන සිතමින් ගේ දෙසට ඇදුනා. ඔහුට හූස් ගාන සද්දේ ඇහුනේ ගොනා ඔහුට වඩා මීටර 20 ක් වගේ ඈතින් ඉද්දි. එතකොට පරක්කු වැඩියි ගොනා ඉදිරියට එනවා. ඔහු නගින්න අසල ගසක් බලද්දී එක වරම ඉදිරියට පැමිණි ගොනා නැවතුනා. ගයාන් පුදුමයෙන් බලද්දී ගොනා වේදනාවෙන් බිමට පෙරලුනා.

බලද්දී විලිසොන් මාමා අලවන්ගුවකින් ගොනාට දමල ගහල. ඔවුන් දෙදෙනා ලඟට යද්දී ගොනා නාහෙන් ලේ දමමින් බිම වැටිලා . අලවංගුව උගේ බඩ හරහා පාසා කරගෙන ගිහින් තිබුණා. මෘදු මොලොක් හිතක් ඇති ගයාන් මේ දැක විශාල ලෙස කනගාටු වුනත් විලිසොන් මාමා තමා කල දේ ගැන අහංකාර වුනා.

“ ඔය අහිංසක සතා බේරන්න පුලුවන්ද කියල ඉක්මනින් දොස්තර ගෙන්වලා බලන්න. “ ඔහු තිලිණට විධාන කළා.

“ චික් අද නම් මහ ජරා දවසක්” වේදනාවෙන් ඇඳට ගිය ගයාන් එහි පෙරලුනා.

( ලබන සතියට )