සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb-like-beg


04 කොටස

වෙලාව උදේ පහයි දහයට පමණ වේ. ගයාන් පිබිදී සිටියත් ඔහු තවම ඇඳේ සිටී. ඔහු පසෙකින් අනීෂා ගුලිවී නිදා සිටී. ඇගේ එක අතක කොට්ටයකි. ඔහු පසෙකට හැරී ඇයව තුරුල් කරගෙන නළල සිප ගත්තේය. නිදි මතෙන්ම අනීෂා ඔහු වෙත හැරුණාය. ඉක්බිති ඔහුගේ පපුව බදාගෙන යලිත් ගුලිවී සැපට නිදන්නට විය. ඇයට හරි හමන් ලෙස නිදා ගන්නට ලැබෙන එකම දවස ඉරිදාය. සතියේ ඇය වඩාත්ම කැමති දවසද ඉරිදාය.

අරුණට පළමු නැගිටින ගයාන් හැමදාම ව්‍යායාම කළේය. සාමන්‍යයෙන් ඉරිදාට ඔහු සිරුර විවේක ගන්වයි. නමුත් නියමිත වෙලාවට පිබිදීම ඔහුගේ ලක්ෂණයකි. හය වෙනතුරු ඇඳේ වැතිරීගෙන හෙතෙම අනාගතය ගැන කල්පනා කළේය.

අනීෂා ගෙවන්නේ අතිශය කටුක දිවියකි. තමා ගෙවන්නේද එවැනිම ජීවිතයකි. ඔහුගේ ගොවිපොළ Break even point එක පැන එදිනෙදා වියදම් පියවා ගන්න තත්වයට පත් වූයේ මේ නොබෝදාය. ඒ ගොවිපොළ, ඔහුගේ මුළු මහත් සිහිනය, ඒ  දුෂ්කර ගම් පියසේ මිනිසුන්ගේ ජීවිතයේද බලාපොරොත්තුව වී ඇත. සාර්ථක වීම හැර වෙනත් මගක් ඔහුට නැත. අනීෂා එහි පදිංචියට පැමිණීමට සතුටු නැත. දරුවෙක් තනිව හදන බැවින් තමා ආර්ථිකව ස්වාධීන විය යුතු බව ඇය ගේ මතයයි. ගොවි පොළ කුඩා කල සිට ඔහුගේ හීනයයි. දෙදෙනාට වෙන් වීමටද නොහැකිය. මේ අයුරින් දහසකුත් එකක් කරදර මැද කෙසේ හෝ ඉදිරියට යා යුතුය. මාවතක් කවදා හෝ පෑදෙනු නොවේද ඔහු සිතුවේය.

කුඩා නෙතුකි ගැන ඔහු වඩාත් පරිස්සම් විය. ඇය වෙනුවෙන් කල යුතු සියල්ල අනීෂා කලද ඇගේ කාර්යබහුල කම සමග ආදරය මගහැරෙන බව ඔහුට සිතේ. ඒ වෙනුවෙන් කල හැකි පිලියමක්ද නැත. රූමතියක් වන අනීෂා ගැන පැතිරී ඇති නරක ආරංචි නිසා ඇය දිනපතා කරදර වලට ලක් වේ. ඒ ගැනත් ඔහුගේ සිත වද වේ. දෙතන සිටිද්දීම ලොකු විවාහ මංගල්ලයක් ගෙන ප්‍රසිද්ධියේ විවාහ වීම විසඳුමක් නොවේද ඔහු සිතයි.

එයට අනීෂා කැමති නැත. එයට වඩා ඔහුගේ මව අනීෂා විවාහ කර ගත්තොත් වස බොන බවට දිවුරා පොරොන්දු වී සිටියි. දැඩි හිතක් ඇති ඇය අනීෂා  තම පුතාගේ ජීවිතේ සතුට ලෙස නොපෙනේ. බාගදා තමා විවාහ වුනොත් තමාගෙන් පලි ගැනීමට ඇය ඇත්තටම වස පානය කරනු ඇත. එසේ වුනොත් වෙන තත්වය ඔහුට සිතාගත නොහැක. අම්මා සහ සිය ආදරය අතර තනි වුන ඔහු සංවේගයට පත් විය. අනීෂා හැම විටම ඔහුගේ අධ්‍යන කටයුතු වලට නොපැකිලී උපකාර කළාය. ඔහුගේ ඇති ගැටළු කිසිවක් ඇය ගණන් ගත්තේද නැත. තමාට ඇඟේ එල්ලී සිටින සාමාන්‍ය ගැහැනියක් සමග ආදරය කල නොහැකි බව ඔහු දනී.

වැඩකට වැටුන විට එය හැර වෙන කිසිවක්ම ඔහුට මතක නැත. ඔහු කවදාවත් වැඩ අතරතුර අනීෂා ගැන සොයා බැලුවේ නැත. ඒ ඔහුට එසේ කිරීම අසීරු නිසාය. තමාගේ රෝග තත්වය තේරුම් නොගත් ගැහැනියක් සමග ජීවිතය අපායක් වනු ඇත. අම්මා මෙය තේරුම් නොගනී. කන්‍යා භාවයක්…… රෙද්දක් මත තැවරුණ ලේ බින්දුවක් සමග යහපත් අනාගතයක් ගොඩ නැගිය නොහැකිය. යහපත් අනාගතයක් ගොඩනැගිය හැක්කේ ප්‍රයෝගික , තමාට ආදරය කරන හැම දේටම වඩා තමාගේ පෞර්ෂ ආබාධ ගැන තේරුම් ගන්නා අනීෂා වැනි පරිනත ගැහැනියක් සමග නොවේද ?

ගයාන් කල්පනා සාගරයේ තනි වී සිටින අතරතුර හයේ බෙල් එක වැදුනේය. ඇය පිබිදී බෙල් එක ඔෆ් කළාය. ඊයේ රාත්‍රියේ වේදනාව ඇයට අමතක වී තිබුණි. ඔවුන් තිදෙනාම ගෝල් ෆේස් වෙත ගියහ. රිය පැදවූයේ අනීශාය. නෙතුකි පිටුපස අසුනේ වාඩි වී නිදි කිරමින් සිටියාය. තිදෙනාම නැගී එන ඉරු එලිය සමග හැල්මේ ඇවිද්දහ. ඔවුන් උදේ ආහාරය ගත්තේ අසල තිබුන ස්වභාවික ආහාර විකුනන්න ඇති කඩයකිනි. එතන පරිසරයද සුන්දරය. කුඩා නෙතුකි ඉඹුල් කිරිබත් කැට දෙකක්ම කෑවාය. ගයාන් ඉන්න දවසට ඇය ගොඩක්ම කැමැති වූයේ රසවත් ආහාර රාශියක් කන්න ලැබීමත්, අම්ම එක්ක කල නොහැකි ගොඩක් දේවල් කල හැකි නිසාත්ය. තුන් දෙනාම එදා දවසම විනෝද වූහ. අවසානයේ ගයාන් පිටත් වන විට ඔවුන් දෙදෙනා ජීප් රිය නොපෙනී යන තුරුම බැල්කනියට වී බලා සිටියහ. තව වෙහෙසකර සතියක ඇරඹුම. සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත් අනීෂා ගෙට ගියාය. නෙතුකි දිගටම බලාගෙන සිටියේ ඉක්මනින් යලිත් සිකුරාදා උදා වෙනු ඇතැයි සිතමිනි.

ගයාන්ගේ මවු කරුණාවතී මැණිකේ කුස්සියේ පඩිය උඩ වාඩි වී ගවොම් පොටින් කඳුළු පිස දැමුවාය. ඇගේ ළඟ පුටුවක වාඩි  වී සිටි සැමියා ඇගේ හිස අතගෑවේය.

“ ඔයා දැන් දුක් වෙලා වැඩක් නැහැනේ . අපි හරි නම් ඒ දරුවා ගැන හිතන්න ඕනේ නේද ?” ඔහු සිහින් හඬින් අසයි.

“ අපේ මහත්තයා ..මේ ලෝකේ වෙන ගෑනු නැතුවද ? මොන යක්ෂ දිෂ්ටියකින්ද අපේ පොඩි පුතා මේ නාකි ගෑනිට වහ වැටුනේ ?”

“ දැන් වුන දේ වෙලා ඉවරයි. මෙහෙම කරදර කරන්න ගියොත් අපිට පුතා සදහටම නැති වෙනවා. මොකක් හරි හිතුවක්කරකමක් කර ගනීවි නෝනා “

“ මම කොහොමද අපේ මහත්තයා ඔය දඩාවතේ ගිය ගෑනි අර හිඟන කෙල්ල එක්ක ගෙට ගන්නේ ?”

“ ඒ ළමයාගේ වරදක් නැහැනේ හාමිනේ. ගොඩක් උගත්. ලස්සනයි. හම්බ කරනවා. පුතා ආදරෙයි . වෙන මොනාද මේ මැරිලා යන ජීවිතේ..පුතාගේ සතුට නෙවේද නෝනා වටින්නේ ? “

“ ගුණවතී මිස්ලගේ පුතා බැන්දේ ඇමරිකාවේ ඉන්න කෙල්ලෙක්. අපේ අයියගේ පුතා බැන්දේ රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක්ගේ එකම දුව. අනේ මම කොච්චර හීන දැක්කද මැණික් හින්නේ ලොකු ආරච්චි පරම්පරාවෙන් කසාදයක් කොරන්න. තේ අක්කරම කීයක්ද දෙවියනේ. ලොකු එකා අරහේ සුද්දියක් බැන්දා. ඒක නම් කමක් නැහැ කියමු. අඩුම ගානේ ළමයෙක් එල්ලාගෙන ආවේ නැහැනේ …” යලිත් ඇය හිසේ අත් ගසාගෙන වැළපෙයි.

“ මම ගිය සතියේ කාලි දේවාලේ පොල් ගැහුවා. කපු මහත්තයා කීවේ ඕකි දවස් දාහතරෙන් ඉවරයි කියල. දැනටම මාසෙකුත් පහු වුණා. ඊයෙත් පුතා එහෙ ගිහින්. මම විලිසොන් ට කතා කරලා බැලුවා. ඔය යසට ගිහින් තියෙන්නේ හොර ගෑනියි , අවජාතක කෙල්ලවයි බලන්න”

සැමියාගේ මුහුණේ නැගුනේ මදහසකි. “ මේ වෙද්දී නම් පොල් ඉතින් කී දාහක් ගහන්න ඇතිද ? ඇත්තෝමයි අපේ නෝනා හැම පෝයටම සිල් ගන්නවා. ඔය තරහා වෛරේ හිතෙන් අහක් කර ගන්නේ නැද්ද ?” ඇසුවේ මේ අප්‍රසන්න මාතෘකාව කතා කිරීමට රුචිකර නොවූ බැවිනි.

සම්මානීය පරිපාලන නිලධාරියෙක් වූ ගාමිණි ගුණසේකර මහතා සෙමෙන් කුස්සියෙන් මිදී සිය ඔෆිස් කාමරයට ගියේය. මේ විකාර ගැටළු ඔහුට රුචිකර නැත. ඔහුට අවැසි වූයේ මේ දිනවල ඔහු කරමින් සිටි පොත ඉවර කිරීමයි. සෙමෙන් සිය අතීතය මෙනෙහි කල ඔහු තම දෙමාපියන් ගැන කල්පනා කළේය.

ගාමිණී ගුණසේකර මහතා තරුණ කල පරිපාලන විභාගය සමත් වී දිසාපති වරයෙක් ලෙස පත්වීම් ලබා මහවට ගියේය. ඔහුගේ විශ්ව විද්‍යාලීය පෙම්වතිය රූපා ඔහුගෙන් වෙන් කර ගයාන්ගේ මවට විවාහ කලේ ඔහුගේ දෙමාපියන් විසිනි. ලොකු දේපොලක් සහිත වුවද විධිමත් අධ්‍යාපනයක් නොලත් ඇය සමග ජීවිතය ගෙවීමට පටන් ගෙන දැන් වසර 35 කටත් වැඩිය. තමාගේ කළ දවස ගෙවිලාය. රාජකාරිය සහ නිබන්ධන අතරේ ගෙවුන ජීවිතයේ යම් හිස් කමක් නොවිනිද ? ඔහු කල්පනා කළේය. ඒ හිස්තැන නිතරම ඔහුගේ දෙනෙතින් පවා විද්‍යමාන විය. මේ වයසේදී පවා ඇතැම් විට ඔහු සිතින් රූපා මතක් කරයි. එවිට ඔහුගේ සිත කිසියම් සැහැල්ලුවකින් පිරේ.

ඇය බාගදා මිය ගොස් සිටිනු ඇතිවාට සැක නැත. ආරංචියක් වත් නොලැබුනේය. දේපොළ වල මහන්තත්වයෙන් තමාගේ පවුලේ සියලු දෙනා අතහැරීමට ඔහුට බල කලේ බිරිඳ විසිනි. රූපා විවාහ කර ගත්තා නම් මේ තත්වය කෙසේ වනු ඇතිද ඔහු නිකමට කල්පනා කළේය.

“ මහත්තයා… අන්න අර පොල් වත්තේ ආපහු හොරු පැනලාලු. ඔය පොත් ගුල්ම බදාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් ගිහින් බැලුවොත් නරකද ?” බිරිඳගේ හඬින් වර්තමානයට පිවිසි හෙතෙම සුසුමක් හෙලා නැගිට්ටේය.

තමාගේ දෙමාපියන් තමාට කල අපරාධය නැවත  කිරීමට නොවේද මේ අමන ගැහැණිය සැරසෙන්නේ ? ඔහුට දත් සැපිනි.

“ මේ ගෑනිට ඕනේ එයාගේ ලොකුකම විතරයි. දරුවට හෙන ගැහුවත් කමක් නැහැ. ලෝකෙට පෙන්වන්න පූච්චානම ලොකුයි. “

( ලබන සතියට )